බිලට පොලු තබා වතුර බෝතලයට සල්ලි ගෙවන මිනිස්සු… ජාතික වගකීමක් පැහැර හරින ජනතාවට පණිවුඩයක්!

278

මණ්ඩලය රැකගැනීමට ජනතාවට පමණක් නොව දේශපාලඥයින්ටද අයිති වගකීමකි

මැති ඇමැතිවරු හතළිස් දෙනෙකු රුපියල් කෝටියකට ආසන්න ජල පොලූ තබා ඇති බව අප පුවත්පත පසුගිය දිනක වාර්තා කළේය. මහජන මුදලින් නඩත්තු වන මැති ඇමැතිවරුන් එසේ නම් සාමාන්‍ය ජනයා ගැන කවර කතාද යන්න කිසිවකු හෝ හිතන්නේ නම් එය පුදුම නොවිය යුතු තත්ත්වයකි.

ඇත්තටම එහි පුදුම විය යුතු තත්ත්වයක් නැත. මැති ඇමැතිවරුන් මෙන්ම සාමාන්‍ය ජනතාවද ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට හිතේ හැටියට කෝටි ගණනක පොලූ තබා ඇත. පසුගිය ඔක්තෝම්බර් මාසය වන විට ජල පාරිභෝගිකයන් මණ්ඩලයට ගෙවීමට ඇති හිඟ බිල්පත් හී වටිනාකම රුපියල් මිලියන 8214 ක් නොහොත් රුපියල් කෝටි 821 තරම් ප‍්‍රමාණයකි. එය සුළුපටු නැත.

මෙම තත්ත්වය මත මණ්ඩලය එදිනෙදා වියදම් පියවා ගැනීමේ බරපතළ ගැටලූවකට මුහුණ දී ඇති බව සඳහන් ය. මෙම ගැටලූවේ අවසානය පාරිභෝගිකයා අභිමුවට පැමිණීම අනිවාර්ය බැවින් සේවාව ලබාගැනීම වෙනුවෙන් විය යුතු සිය යුතුකම ඉටුකිරීම පාරිභෝගිකයාගේ වගකීමක් බව නොකිවමනාය.

2020 වසරේ පෙබරවාරි මාසය වන විට හිඟ ජල බිල්පත් ගාස්තුව වී ඇත්තේ රුපියල් මිලියන 2200 කි. එය 2021 වසරේ ඔක්තෝම්බර් මාසය වන විට රුපියල් මිලියන 8214 දක්වා ඉහළ යෑමට කොරෝනා වසංගතය මෙන්ම වසංගතය තුළ දේශපාලනයේ ඉදිරිය බලන මෙන්ම ලකුණු දා ගැනීමේ අදහසින්, අදහස් දක්වන දේශපාලඥයන්ගේ කතාද ප‍්‍රබල හේතුවක් වී ඇත. කොරෝනා වසංගතය අතර කාලයේදී, ආණ්ඩු පක්ෂයේ දේශපාලකයන් සියලූ දෙනා මහ ඉහළින් පවසනු ලැබුවේ, ”අපි වතුර බිලත් නොගෙවා ඉන්න නිදහස දුන්නා”, ”ගෙව්වේ නැහැ කියලා අපි වතුර බිල කපන්නේ නැහැ” ආදී සහනාධාර මානසිකත්වයේ කතාය. මේ නිසා ගෙවන මිනිසා ද බිල නොගෙවන ආස්ථානයක් දක්වා ඇදී ගියේය. ඒ අතර මධ්‍ය ගණනය කිරීම් අනුව කොවිඞ් සමයේදී ජල බිල ගණනය කිරීම ද ජනතා කෝපයක් බවට සමහර දේශපාලන ව්‍යාපාර පත් කර ගත්තේය. ඒ සියල්ල අවසානයේදී බැර වූයේ ‘මේ අතින් සහන – අනිත් අතින් ගෙවපන්’ යන සහනාධාර මානසිකත්වයට.

ජල සම්පාදන මණ්ඩලය සතුව ජල පාරිභෝගිකයන් ලක්ෂ විසි හතක් වන අතර ඉන් ගෘහ පාරිභෝගිකයන් ලක්ෂ 23 කට වැඩිය. ඔවුන් මිලියන 6000ක් පමණ හිඟ බිල් ගෙවීමට ඇති අතර වාණිජ ස්ථාන හිඟ බිල් ලෙස රුපියල් මිලියන 1400ක් ද, පොලිසිය රුපියල් මිලියන 65ක්, රෝහල් රුපියල් මිලියන දෙසීයක්, පූජනීය ස්ථාන රුපියල් මිලියන 12 ක් ආදී ලෙස ජාතියේ තිබහ නිවන්නා වෙත මේ වන විට පීඩා ලබාදී තිබේ. රුපියල් කෝටි 821 ක පොල්ලක් මණ්ඩලයට තබන ජනතාව මෙන්ම ආයතන මතක තබා ගත යුත්තේ, ඒ සියල්ල තව පරපුරක් තිබහේ තැබීම සඳහා ලබාදෙන දායකත්වයක් ලෙසය.

මේ වන විට විවෘත වෙළෙඳපොළේ ජලය ලීටරයක වටිනාකම රුපියල් හැත්තෑවක පමණ අගයක් ගනියි. එහි අගය කෙතරම් ද කිවහොත් කිරි ලීටරයක වෙළෙඳපොළ මිලෙන් හතරෙන් එකකි. සමාගම් නිපදවන බෝතල් ජලය ලීටරයක් රුපියල් 75කට මිලදී ගන්නා ජනතාව, ජල සම්පාදන මණ්ඩලය ලබාදෙන ජලය ලීටරයකට ගෙවන මිල ශත එකකි. මෙසේ ජලය ලබාදීම අංශ ගණනාවකින් සිදු කරන හානියකි. සහනාධාරය ලබාදෙන්නේ, බීම මූලික කරගත් මූලික අවශ්‍යතාවය සඳහා වුවද එය ඉක්මවා මේ වන විට ජලය නාස්ති කිරීමක් සඳහා මෙම සහනදායි ක‍්‍රමවේදය බලපා තිබේ. ගෑස්, විදුලිය සඳහා ඇති පරිස්සම ජලය සඳහා ජනතාව නොදෙන්නේ මේ අනුවය. අනෙක් අතට විශේෂ ජනතා කාණ්ඩ සඳහා ජල සම්පාදන මණ්ඩලය ලබාදෙන සහනදායි තත්ත්වය ද යළි සැලකිල්ලට ගත යුතු මට්ටමක තිබේ. ජනතාව සිය පසුම්බියෙන් අනවශ්‍ය වියදම් රාශියක් සිදු කරන අතරේ පයිප්පයෙන් ලැබෙන ජලය සඳහා සැලකිල්ලක් නොදක්වන්නේ, එය තමන්ට දැනෙන මානයක් සඳහා පැමිණ නොමැති හෙයිනි.

සමෘද්ධිලාභීන් සඳහා මුල් ඒකක 5 රුපියල් 5 යි.
වතු ජනතාව සඳහා මුල් ඒකක පහ රුපියල් 8 යි.
සාමාන්‍ය පාරිභෝගිකයන් සඳහා මුල් ඒකක 5 රුපියල් 12 යි.

බිලට පොලු තබා වතුර බෝතලයට සල්ලි ගෙවන මිනිස්සු… ජාතික වගකීමක් පැහැර හරින ජනතාවට පණිවුඩයක්!

ලෙස ලබාදෙන ජල සම්පාදන මණ්ඩලය එම ඒකකයක් නිපදවීම සඳහා රුපියල් 50ක පමණ පිරිවැයක් දරණු ලබයි. මේ ජනතාවගේ මූලික අවශ්‍යතාවයකි. එසේ වූ පමණින් එය සහනාධාරයක් ලෙස දිගටම පවත්වාගෙන යා යුතුද යන්න ප‍්‍රශ්නාර්ථයක් මතු වන්නේ පාරිභෝගිකයන්ගේ ක‍්‍රියාකලාපය දෙස බලන කලය. සහනාධාරය යළිත් ගෙවනු ලබන්නේ ජනතාවය. එසේ නොමැතිව සහනාධාර ලබාදීම සඳහා තීරණය ගන්නා ඇමැතිවරයා ඒ සඳහා වග කියන්නේ නැත. සහනාධාර ගංගාවේ දැනට ගිලී ඇති ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ආදිය දෙස බලා, ජල සම්පාදන මණ්ඩලය ද සහන මල්ලට ඇතුළත් කර, තවත් බරක් රටට පැටවීමට ජනතාව ඉඩ නොදිය යුතුය.

ජලසම්පාදන මණ්ඩලය දිගින් දිගටම ජනතාවට සහන ලබාදෙමින් තිබේ. ලබාදෙන ජලයේ සිට බිල් නොගෙවීම වෙනුවෙන් අය කරන ප‍්‍රමාද ගාස්තු දක්වා තත්ත්වය එසේය.

ජනතාවට බිල් ගෙවීම් සඳහා සහන කාල ලබාදී, සංචාරක කර්මාන්තයට සම්බන්ධ හොටෙල් වැනි කොවිඞ් හමුවේ සංවේදී වූ කර්මාන්ත සඳහා මාස 12 ක් යනතුරු බිල් ගෙවීමට සහන කල් ලබා දීම ද මණ්ඩලය සිදු කර තිබේ.

මෙසේ තිබියදී, ගෙවිය යුතු හිඟ බිල්පත් සඳහා අධිභාර කපා හැරීම් පමණක් සඳහා මණ්ඩලය දරා ඇති බර, රුපියල් මිලියන දාහක් පමණය. එය වාණිජ ණය ලබාදෙන බැංකුවක පරිමාව සේය.

පසුගියදා අයවැය වැය විවාදයේදී, ජල සම්පාදන විෂය භාර ඇමැති වාසුදේව නානායක්කාර මහතා තරයේ ප‍්‍රකාශ කළේ ඉදිරි වසර තුළ, කිසි ලෙසකින්වත් ජල බිල්පත් ගාස්තු ඉහළ දැමීමට රජය සූදානම් නැති බවය. ජලයට අලූත් නමක් එහිදී යෝජනා කරමින් ඇමැතිවරයා පවසා සිටියේ ‘ජලය ජීවිතේ ධවල රුධිරය’ බවය. එසේ නම් මේ ධවල රුධිරය රටට බරක් කර, අනාගත පරපුරේ ලේ සිඳවීමේ අයිතියක් අපට තිබේද…? සටන ඇත්තේ මෙතැනය. ලාමක ගණයෙන් වැඩි කරන්නේ නැහැ’ යැයි පවසනවාට වඩා, ඇත්ත කතාව මේ යැයි කීමේ කොන්දක් පාලකයා සතුව තිබිය යුතුය.

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා දිගින් දිගටම කියා සිටින්නේ, ජල බිල ඉහළ දැමීමට රජයේ කිසිදු සූදානමක් නැති බවය. ඒ භයානක කියමන, ජනතාවගේ අත්පුඩිය බලාපොරොත්තු වනවා ඇතත්, එයින් අවසානයේ සිදු වන්නේ, තවත් අත්‍යවශ්‍ය සේවාවක් රටට, උග‍්‍ර බරක් බවට පත්වීමය. තවම ජල ගාස්තුව තිබෙන්නේ 2012 වසරේදී ලකුණු කළ තැනය. 2014 වසරේදී ජල ගාස්තු නැවත අඩු කරන ලද්දේ, ඉදිරි මැතිවරණයේ කතිරය බලාගෙන විය යුතුය. ඒ වෙනුවට එම පාලක ප‍්‍රජාවට පරාජය අත්වීමම, මෙවැනි සහනාධාර ලබාදීම, නිරර්ථක වැඩපිළිවෙලක් බවට සාධනය කරනවා ඇත.

පවතින වියදම් ඉහළ යෑම ඇතුළු කරුණු කාරණා ගණනාවක් නිසා ජල බිල ඉහළ දැමීම මේ වන විට පවතින්නේ අත්‍යවශ්‍ය තත්ත්වයකය. ජල සම්පාදන මණ්ඩලය අඹර, අඹරා තවමත් අපි ජලය පරිභෝජනය කරනා පාරිභෝකයෝ වී සිටිමු. ඒ අර්ථයෙන් අපට දැනෙනුයේ, ”ඒ මණ්ඩලයණේ… ඉතිං අපිට මොකද …?” මට්ටමක්ය. ඇත්තටම මේ මණ්ඩලයේ අද සිටින විෂය භාර අමාත්‍යවරයා හෙට නැත, නිලධාරීන් ද තව වසර කිහිපයකින් එහි නැත. ඒ තවකාලික පාලක පිරිස නික්ම ගියත් මණ්ඩලය රටේය. ඒ මණ්ඩලය පාඩු ලබා, බුන්නත් වුවහොත්, එහි සත්‍ය අයිතිකරුවෝ වන අපිම පාඩුව ගෙවනවා විනා අන් විස`දුමක්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකයේ නැත. සතයක් ගෙවා, අතින් පාඩු ලබමින් මණ්ඩලය ලබාදෙන ජලය සඳහා අවසාන වගකිව යුත්තා අපය. හැරෙන හැරෙන වාරයක් පාසා, බස් ගාස්තු වැඩිවේ. අනිකුත් සියලූ භාණ්ඩ සහ සේවා, එම ආයතන පාඩු නොලබන තත්ත්වයෙන් පවත්වාගෙන යෑමට නොව ලාභ ලැබීමට සියලූ බිල් වැඩි කර තිබේ. ඒ සියල්ල මූලික අවශ්‍යතා නොවේ. අරක්කු, සිගරට් මිල අහස උසට නැග්ගද, අඩිය ගසා සින්දු කියා ගෙදර යන පුද්ගලයා රහමෙර භාවිතය අත්හරින්නේ නැත. එසේ වුවත් තමන්ගේ අත්‍යවශ්‍ය පානය සඳහා බිල ගෙවන්නට හෝ ඒ මනස් සංවේදී වන්නේ නැත. සහනාධාරය නම් උගුලෙන් ජල බිල ගලවා නොගතහොත්, පිපාසය, නෑම ආදියේ සිට සියල්ලම අඩපන වන දිනය වැඩි ඈතක නැති බව සිහියෙන් අප සිතට ගත යුතුය. ජල බිල කිසිදු පාර්ශ්වයක දේශපාලන අතකොලූවක් නොවන තැනට ජනතාව පත්කර ගත යුත්තේ එහෙයිනි.

පසුගිය දිනවල විදුලිය විසන්ධි වීම හමුවේ, අඹතලේ ඇතුළු ප‍්‍රධාන ජල පිරිපහදු මධ්‍යස්ථාන අක‍්‍රීය තත්ත්වයට පත්විය. පයිප්පයෙන් ඔහේ එනවා සේ වෙනදාට දැනුණු ජලයේ අගය එදා සියලූ දෙනාට දැනුණි. දැනුම්දීමකින් තොරව ජලය ලබාදීම අත්හිටුවීම නිසා එදා ලැබූ අත්දැකීම, තමන් සත්‍යයට මුහුණ නොදීම නිසා තව වසර ගණනාවකින් ජනතාවට නියත ලෙසම දැනෙනු ඇත. ජනතාව කොපමණ අපහසුතාවයට පත් වුවද තමන් ජලය ලබාගන්නා සේවාව වෙනුවෙන් මුදල් නොගෙවා සිටීම තුළ මණ්ඩලය අකර්මණ්‍ය වුවහොත් ඇති වන්නේ, යළි අත දිගහැර මුදල් වියදම් කළද යථා තත්ත්වයට පත් නොකළ හැකි සේවාවකි.

ශ‍්‍රී ලංකාවේ සමස්ත ජල සම්බන්ධතා සංඛ්‍යාව ලක්ෂ 27 කි. එම ලක්ෂ 27 න් සියයට 92 ක්ම ගෘහස්ථ පාරිභෝගිකයෝය. මෙම ගෘහස්ත ජල පාරිභෝගික පිරිසගෙන් සියයට 75 ක්ම මාසයකට ඒකක 25 ට අඩු පරිභෝජන කාණ්ඩයට අයත් වෙති. ඔවුහු කියුබික් ලීටර් මිලියන 42 – 45ත් අතර ජල ප‍්‍රමාණයක් මාසිකව පරිභෝජනය කරති.

පළමුව ආමන්ත‍්‍රණය කළ යුත්තේ මේ ජනතාව වෙතය. සත්‍ය වන්නේ, බිල වැඩිවීමක් මණ්ඩලයට අවශ්‍ය නැති බවය. සතයට වතුර ලීටරයක් ලබාදීමේ හැකියාවක් වයිමාටද නැති කල නියමිත මිලක් ඉල්ලීමේ අවසාන වාසිය, පෙනෙන මණ්ඩලය නොවේ. අපගේ නොපැමිණි හෙට දවසටය. නියමිත මුදල අප තවමත් ගෙවන්නේ නැත. පළමුව නියමිත මිල ගෙවන මහත්වරු, නෝනලා යන වැදගත් ස්ථානයට අප පැමිණිය යුතුය. ඒ අප වෙනුවෙන්මය. දේශපාලන න්‍යාය පත‍්‍රයේ ඇති, ‘සහනාධාර’, ‘මිල අඩු කරනු’, ‘බිල් ගෙව්වේ නැති වුණාට කපන්නේ නැහැ’ ආදිය තවත් උගුල් මිසක ජාතියේ ජල සැපයුමේ සත්‍යය තත්ත්වය නොවේ. එසේ මණ්ඩලය වෙනුවට ඒ වෙනුවෙන් අප පෙරට ආ යුතුය. නො එසේ නම් ගෑස් ටැංකි පිපිරෙන රටේ, පයිප්ප හිස් වන දිනය ද අපි අපිම උදා කර ගන්නවා ඇත.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment