බිලිඳු දරුවෝ දිනේවා!

626

(ඔවුහු වැසිකිලි වළවල් තුළට නොයේවා)

ලෝක පරිසර දිනය අදට යෙදී තිබේ. පරිසර දිනය ගැන සහ පරිසරය ගැන පසුගිය අවුරුදු 10 තුළ අපේ රටේ කතා කළ තරමටත් ලියූ තරමටත් වැඩ සිද්ධ වූයේ නම් අද වන විට ලංකාව ලෝකයේ හොඳම පරිසරය ඇති රට බවට පත්වීමට ඉඩ තිබිණ. එහෙත් එවැන්නක් සිදුවී නැත. පරිසරයට සහ භූමියට මහත් සේ ආදරය කළ මිනිසකු ලෙස අපගේ වටහා ගැනීමට ලක්වූ ගෝඨාභය රාජපක්ෂගේ කාලයේදී සිංහරාජ අඩවිය දෙකට පලා ඒ මැදින් ලංකාගමට පාරක් කපන ලදී. පරිසරය ගැන උස් හඬින් පැවැත්වෙන සෑම දේශනයක්ම අවසානයේදී එයට සහභාගි වූ අය හිස් වතුර බෝතල්, හිස් බීම කෑන්, ඉඳුල් සහිත lunch ෂීට්, හප කරන ලද චුයින්ගම්, පිළිස්සුණු සිගරට් කොට ආදිය වපුරා දේශනය පැවැත්වූ භූමිය කා දමති. ශ්‍රී පාද වන්දනා සමයේදී එන ගමන් මග ප්ලාස්ටික් බහාලුම් නිසා විනාශයට පත්වෙයි. ඒවා එකතුකර ප්‍රතිචක්‍රීයකරණය සඳහා යොමුකරන තරුණ පරිසරවේදීන් නොවන්නට ඊළඟ අවුරුද්දේ ශ්‍රී පාද වන්දනාව කරන්නට බෙහෙවින් අපහසුවනවා ඇත. පරිසරය විනාශ කිරීමට එරෙහිව බරපතළ නීති රීති දැනට මේ රටේ නැත. දැනට සිදුවන්නේ මනුෂ්‍යයා විසින් පරිසරය විනාශ නොකරනු ලබන්නේය යන පූර්වාවබෝධය යටතේ කටයුතු කරමින් ඉවසිලිසහගත ලෙස බලා සිට පසුතැවිලි වීමට ආණ්ඩුවට සිදුවීමය. සිංගප්පූරුවේදී මහ පාරේ සිගරට් බිව්වොත් දඩ ගසනු ලැබේ. සිගරට් කොටයක් මහ පාරේ දැමුවොත් පෙරකී දඩය දෙගුණ වේ. ගමන් කරන වාහනයක ඇතුලේ සිටින අය කිසියම් හෝ අපද්‍රව්‍යයක් එළියට වීසි කළොත් සිංගප්පූරු පොලිසිය එම වාහනය පිටුපසින් ගෙදරටම පැමිණ දඩ කොළය ලබාදෙයි. ලංකාවේ එවැනි නීති රීති නැත. පරිසර විනාශය නැවැත්වීමට නම් සිර දඬුවමෙන් පටන්ගෙන එල්ලුම් ගහ දක්වා යන නීතියක් නොව එල්ලුම් ගහෙන් පටන්ගෙන සිර දඬුවම දක්වා යන නීතියක් අවශ්‍යය ය. එවැනි නීතියක් ඇති කිරීමේ අපේක්ෂාවක් ආණ්ඩුවට නොතිබෙන බැවින්ද ලෝක පරිසර දිනය යනු පැල සිටුවීමේ දිනයක් පමණක් ලෙස මේ රටේ ජනයා තේරුම්ගෙන ඇති බැවින්ද මෙතැනින් එහාට ඒ ගැන ලියනු නොලැබේ. මෙතැන් පටන් ඔබ කියවන්නේ බිලිඳු ජීවිත සුරැකීම පිළිබඳ කරුණා ගුණය සහ නීතිය එකට මුසු කිරීමේ කතාන්දරයකි. එම් රටේ වාර්ෂික දරු උපත් සංඛ්‍යාව 14850 ක් පමණ වේ. එම දරුවන්ගෙන් තුන්සීයක් පමණ එක්කෝ මහ මග දමා යනු ලැබේ. එක්කෝ පණ පිටින් වළලනු ලැබේ. එක්කෝ ඉපදුනු සැණින් ගෙල මිරිකා මරාදමනු ලැබේ. නැතහොත් වැසිකිලි වළවල්වලට දරුවා ප්‍රසූත කරනු ලැබේ. එබැවින් මේ බිලිඳු දරුවන් 300 ම වැටෙන්නේ මරණ මංචකයෙහි පිහිටි අවදානම් කලාපයකටය. සමාජයට අනවශ්‍ය ලෙස දෙමාපියන් විසින් හඳුනාගනු ලැබූ දරුවන්ගේ ජීවිත බේරාගැනීම සඳහා දියුණු රටවල ක්‍රමවේදයක් පවතී. එනම් ආණ්ඩුවේ වියදමින් ඒ දරුවන් හදා වඩා ගැනීමය. උදාහරණයක් වශයෙන් ස්කැන්ඩිනේවියානු රටවල ඇතැම් හුදකලා තැන්වල විශාල නිවාස වර්ගයක් පිහිටා තිබේ. මේ නිවාස වටකර ඇති තාප්පයෙහි එකිනෙකට සෑහෙන ඈතින් කවුළු පිහිටුවා ඇත. මේ කවුළු තිර රෙද්දකින් ආවරණය වී තිබේ. මවට සහ පියාට නැත්නම් මවට හෝ පියාට දැරීමට නොහැකි දරු උපතක් සිදුවූ විට කළයුත්තේ මේ කවුළුවක් ළඟට ගෙනගොස් එහි තිරය විවෘත කිරීම පමණි. එවිට එම තිරය පිටුපස තබා තිබෙන ඉතා සුවපහසු කුඩා බාස්කට් එකක් දකින්නට ලැබේ. මව හෝ පියා කළයුත්තේ තමාට අනවශ්‍ය බිලිඳා එම බාස්කට් එකට දමා විදුලි සීනුවක් නාද කිරීම පමණි. එකෙනෙහිම එම කවුළුව වෙතට එන අත් වැසුමක් දැමූ අතක් එම බාස්කට් එක රැගෙන තිරය වසා දමයි. තාත්තා කොහොම වෙතත් මේ තිරය වසන විට අම්මාගේ කඳුළු සියලු වේලි කඩාගෙන පුපුරා ඇද හැලෙන්නට පටන්ගනී. එතැන් සිට මේ බිලිඳා අලුත් නමක් අලුත් උප්පැන්න සහතිකයක් සහ ඉතා දීප්තිමත් අනාගතයක් සහිතව මේ නිවාස තුළ හැදෙන්නට පටන්ගනී. දරුවා එම මධ්‍යස්ථානයට භාරදුන් මවට හෝ පියාට යළි කිසි කළෙකත් දරුවා පිළිබඳ අයිතියක් ප්‍රකාශ කළ නොහැක. ඒවා පාර්ලිමේන්තු අණ පනත්වලින්ම සම්මත කර තිබේ. මේ බිලිඳු සුරැකුම් මධ්‍යස්ථාන නිසා දියුණු රටවල අනවශ්‍ය දරු උපත්වල බෙල්ල මිරිකීම, වැසිකිලි වළට දැමීම, පණ පිටින් වැළලීම, මහමග දමා යෑම වැනි කුණු වැඩ සිදුවෙන්නේ නැත. ශ්‍රී ලංකාවට ද මෙවැනි ක්‍රමයක් හඳුන්වාදෙන ලෙස ඉල්ලමින් මේ පුවත්පත පසුගිය කාලයේදී කතුවැකි ගණනාවක්ම ලියා ඇත. කෙසේ වුවද මෙවැනි ක්‍රියාවලියක් නිර්දේශ කර වසර 2020 දී වැඩපිළිවෙළක් සකස්කරන ලදී. එහෙත් මෙය ක්‍රියාත්මක කිරීමට බැරි තත්ත්වයක් අද මතුවී තිබේ. එයට හේතුව ළමයින් අත්හැර දමා යෑම අපේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වීමය.

මේ සම්බන්ධව ඊයේ උදේ විජයදාස රාජපක්ෂ අධිකරණ ඇමැතිවරයා සමග කෙටි සාකච්ඡාවක නිරත වීමට අපට හැකිවිය. අපගේ යෝජනාව වූයේ රජය විසින් අරඹන ලද හෝ රජය විසින් පිළිගනු ලබන බිළිඳු සුරැකුම් මධ්‍යස්ථාන කවුළුවලදී හැර අනෙක් තැන්වලදී දරුවන් දමා යෑම නීති විරෝධී කාරණයක් බවට පත්කරමින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කළ හැකි බවය. නීතිය යනු රටක ජනසමාජය ආරකෂා කරගැනීම සඳහා තිබෙන ප්‍රධානතම tool එක හෙවත් උපකරණය වේ. ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ උසාවිය යන ආයතන මේ උපකරණයේ පාර්ශ්වකරුවෝ වෙති. නීතියේ හිල් තිබුණොත් එයින් රිංගා යෑමට අපරාධකරුට හැකිය. එම හිල් වසාදැමීම එක දවසකින් සිදුකිරීමට නොහැකි වන අතර එය සිදුකළ හැක්කේ එම හිල්වලින් අපරාධකරුවන් රිංගන ක්‍රමය නිරීක්ෂණය කිරීමෙන් පමණි. බිලිඳු ජීවිත සුරැකුම් මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීමට දණ්ඩනීති සංග්‍රහය හරස් වේනම් එයින් හැඟෙන්නේ බිලිඳු දරුවන් අතහැර දමා පැන යන අයට සහනයක් සැලසීමට දණ්ඩ නීති සංග්‍රහයේ එක් වගන්තියකට පුළුවන් වන බවය. මෙය නෛතික හිලකි. මේ හිල වසා දැමීම ඉතා පහසු කටයුත්තක් බව අපගේ යෝජනාව ක්‍රියාත්මක කිරීමෙන් වටහාගත හැකිවනවා ඇත. බිලිඳු දරුවෝ දිනේවා! ඔවුන්ගේ අනාගතය දීප්තිමත් වන තරමට රටේ අනාගතය දිලිසෙන්නට පටන් ගන්නවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment