බිලියනයක ණය ගන්න බැසිල් හෙට ඉන්දියාවට

311

ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකම ලබා ගැනීම සඳහා වන ගිවිසුම් අත්සන් කිරීමට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා හෙට (15 දා* සවස ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව යෑමට නියමිතය.

ශ‍්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ ඉන්දියාවෙන් ලබා ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකමක් ලබා දීමට ඉන්දියානු රජය එකඟතාව පළකර තිබේ.

මේ සඳහා දෙරට අතර ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතව ඇති අතර ඒ සඳහා මීට පෙර මුදල් ඇමැතිවරයා ඉන්දියාව බලා යෑමට නියමිතව සිටියත් කලින් අවස්ථා දෙකකදීම එම සංචාරය අවලංගු විය.

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය එස්. ජයසංකර් මහතා අතර පසුගියදා දුරකථන සාකච්ඡුාවක් පැවැති අතර එහිදී ශ‍්‍රී ලංකාවට හැකි සෑම ආකාරයකින්ම සහාය වීමට ඉන්දියාව සූදානම් බවට ඉන්දීය විදේශ ඇමැතිවරයා සහතිකවී ඇත.

එහිදී සිදුවූ එකඟතාවන්ට අනුව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා හෙට ඉන්දියාව බලා පිටත්ව යයි. මේ සංචාරය ගැන ශ‍්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය පවසන්නේ ඉන්දියාවට එන ශ‍්‍රී ලංකා මුදල් ඇමැතිවරයා පිළිගැනීමට මහත් උනන්දුවෙන් බලා සිටින බවත් එම සංචාරය ඉන්දියාව ශ‍්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන ප‍්‍රයත්නයන් තවත් සවිමත් කරනු ඇති බවත්ය.

ඇමෙරිකානු ඩොලර් බිලියනයක මෙම ඉන්දියානු මූල්‍ය පහසුකමෙන් අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ ලබාගැනීමට නියමිත අතර ඉන්දියාවෙන් ඛනිජ තෙල් මිලදී ගැනීම සඳහා තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 500 ක මූල්‍ය පහසුකමක්ද අනුමත වී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment