බිලියන දෙකක් උපයන්න මොරගහකන්ද මහවැලි
කලාපවල මැණික් නිධි ගොඩගන්න අවසර

314

රුපියල් බිලියන දෙකක ආදායමක් උපයා ගැනීමට

මොරගහකන්ද දකුණු සහ වම් ඉවුරු මහවැලි කලාපවල පැතිරී තිබෙන මැණික් නිධි ගොඩගැනීමට පියවර ගෙන තිබේ. අක්කර තුන්දහස් දෙසියයක් පුරා මැණික් නිධි පැතිරී තිබෙන බව තාක්ෂණික සමීක්ෂණවලදී හඳුනාගෙන ඇත. නැවත පදිංචි කළ පවුල් දෙදහසක් සඳහා බෙදාදුන් අක්කර හාරදහසක් පුරා සිදුකළ සමීක්ෂණවලදී මැණික් නිධි තිබෙන බව හඳුනා ගෙන ඇතැයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නාඋල ප්‍රාදේශීය කළමනාකරු සංජීව මූණමල්පේ මහතා පැවසීය.

හඳුනාගෙන තිබෙන මැණික් නිධි පරිසරයට හානියක් නොවන ලෙස කැණීමට මහවැලි ගොවි පවුල් දැනුවත් කෙරෙන බවද කළමනාකාරවරයා පැවසීය. මොරගහකන්ද දකුණු සහ වම් ඉවුරු මහවැලි කලාපයේ මහවැලි ගොවීන්ගේ ආදායම් ඉහළ නැංවීමට සහ ජාතික ආර්ථිකයට ඔවුන් දායක කර ගැනීමට අදියර කීපයක් යටතේ දිගුකාලීනව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙන බව පැවැසීය.

2023 වසරේදී මොරගහකතන්ද මහවැලි කලාපයෙන් සොයා ගන්නා මැණික්වලින් රුපියල් බිලියන දෙකක ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ලග්ගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු ඒකාබද්ධ රාජ්‍ය ආයතන වැඩපිළිවෙළක් දැනට සකස් කර තිබෙන බවද ඔහු පැවැසීය.

පළමු අදියරේදී මහවැලි ගොවි පවුල් 500ක් සඳහා කැණීම් බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන ඇත. සාම්ප්‍රදායික පතල් කැණීම් සඳහා පමණක් බලපත්‍ර නිකුත් කිරීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය තීරණය කර ඇත. මහවැලි ගොවිබිම්වලට කිසිදු හානියක් නොවන ලෙස පරිසර හිතකාමී ලෙස පතල් කැණීම් සිදු කිරීමට ගොවීන් දැනුවත් කෙරෙන බවද පැවැසීය.

කැණීම්වලදී හමුවන මැණික් මාසිකව නිශ්චිත දිනයකදී නාඋල ප්‍රාදේශීය කාර්යාල පරිශ්‍රයේදී ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කිරීමට පියවර ගෙන ඇත. සාම්ප්‍රදායික පතල් කැණීම් පිළිබඳව මහවැලි ගොවීන් දැනුවත් කිරීම සහ මැණික් හොර රහසේ අලෙවිය වැළැක්වීමටත් ලැබෙන මැණික්වලට නිශ්චිත මිල රජය මැදිහත්ව ලබාදීමටත් පියවර ගැනේ.

ව්‍යාපාරිකයින් අතළොස්සක් අතර කේන්ද්‍රගතව තිබෙන මැණික් ඒකාධිකාරිය බිඳ දැමීම, පොදුවේ කර්මාන්තයේ නියැලී සිටින්නන්ගේ ආර්ථිය ඉහළ නැංවීම සහ මතුවන මැණික් පිළිබඳව සංඛ්‍යාත්මක තොරතුරු ලබා ගැනීම මේ යටතේ පහසු වන බව සංජීව මූණමල්පේ මහතා පැවසීය.

මාතලේ විශේෂ නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment