බිලියන 10 ක ගෙවීම් ඇරියස්: රසායනාගාර පද්ධතියත් ඛිඳවැටේ

226

රසායනාගාර ප‍්‍රතික‍්‍රීයක ඇතුළු අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් සඳහා බිලියන 10ක පමණ ගෙවීම් පැහැර හැරීම නිසා රසායනාගාර පරීක්ෂණ සහ අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් රැසක් ක‍්‍රමානුකූලව නතරවන තත්ත්වයකට පත්ව තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

මේ පිළිබඳව ඒ මහතා නිකුත් කර ඇති නිවේදනයේ මෙසේ ද දැක්වෙයි.

රසායනාගාර පරීක්ෂණ සිදු කිරීම සඳහා බාහිර සමාගම් මගින් මිලදී ගනු ලබන ප‍්‍රතික‍්‍රීයක ඇතුළු අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් සඳහා ගෙවිය යුතු බිලියන 10ක පමණ මුදලක් නොගෙවීම හේතුවෙන් තවදුරටත් අදාළ සැපයුම් සිදු කළ නොහැකි බව ඇතැම් සමාගම් සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වා ඇත. ඒ හේතුවෙන් කුඩා ප‍්‍රමාණයේ සමාගම් කිහිපයක්ම වසා දැමෙන තත්ත්වයකට පත්ව තිබේ.

රසායනාගාර පරීක්ෂණ සඳහා අදාළ ප‍්‍රතික‍්‍රීයක නොලැබීම මත දැනටමත් සිදු කරමින් සිටින පරීක්ෂණ ප‍්‍රමාණය සීමා කිරීමට සිදුව ඇති අතර, ඇතැම් පරීක්ෂණ නතර කරන තත්ත්වයකට පත්ව තිබේ.

ණය ප‍්‍රමාණය පමණක් බිලියන දහයක සීමාව ඉක්මවා තිබියදී, මෙවර අයවැය මගින් ඒ සඳහා වෙන්කර ඇති සම්පූර්ණ ප‍්‍රතිපාදනය බිලියන හතරකට සීමා කර ඇත. එම මුදලෙන්ද ප‍්‍රතිපාදන යොමු කර ඇති මුදල රුපියල් බිලියනයකට සීමාවී ඇති අතර, පළමු කාර්තුව සඳහා මුදල් ලෙස ලැබී ඇත්තේ රුපියල් මිලියන 200ක් පමණි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ යථාවත් නොකළ තොරතුරු පද්ධතියේ සඳහන් වන ණය මුදලේ ප‍්‍රමාණය පවා බිලියන 4කට වඩා වැඩි අගයක් සටහන් කොට තිබියදී, රුපියල් මිලියන 200ක් මගින් ඉදිරියේදී එම සේවාවන් පවත්වා ගැනීමට නොහැකිව නතර කර දැමීමට සිදුවීම ඉතා පැහැදිලිය.

චමින්ද සිල්වා, ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment