බිලියන 16 ක පොහොර මගඩි ගැන සී.අයි.ඩී.යට පැමිණිලි

84

ගුණාත්මක බවින් තොර කාබනික පොහොර මිලදී ගැනීමේදී හා බෙදා හැරීමේදී ඇති වූ රු. බිලියන 16 කට ආසන්න රාජ්‍ය මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් ජාතික ගොවිජන එකමුතුව ඊයේ (19දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේය.

මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පවත්වන ලෙසද එම සංගමය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබේ.

දැනට ගොවීන්ට ලබාදී ඇති පොහොර යෙදවුම් සඳහා ගෙවන මහාභාණ්ඩාගාරයේ මුදල් ආරක්‍ෂා කරගත යුතු බවත් ඒ වෙනුවෙන් ජාතික මිල කමිටුවකින් මිල තීරණය කරන තෙක් සැපයුම්කරුවන්ට මුදල් ගෙවීම නතර කරන ලෙසත් ජාතික ගොවිජන එකමුතුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.

රු. බිලියන 16 ක් පමණ වටිනා කාබනික පොහොර තොග මිලදී ගැනීම නිවැරදි ජාතික මට්ටමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් බැහැරව සිදුකිරීමෙන් ඉදිරියේදී විශාල නීතිමය ගැටලු ඇති විය හැකි බවද ජාතික ගොවිජන එකමුතුව කළ එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.

සියලු අණපනත් හා මුදල් රෙගුලාසි අභිබවා යමින් සිදුකරන ලද හා දැනට සිදුවෙමින් පවතින රු. බිලියන 16 ක් පමණ වූ මූල්‍ය වංචාවට වගකිව යුතු ඇමැතිවරයා හා නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන රජයට අහිමි වූ හා වංචාකර ඇති මුදල් ආපසු අයකර ගැනීමට වහා ක්‍රියාකළ යුතු බවත් දැනට සිදුවෙමින් පවතින වංචා, බෙදාහැරීම වහාම නතර කළ යුතු බවත් ජාතික ගොවිජන එකමුතුව තම පැමිණිල්ල මගින් අවධාරණය කර තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment