බිලියන 2.9 ක මූල්‍ය පහසුකමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය කල් යයි ද?

348

අප මුහුණ දී සිටින ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය හමුවේ රජය නිල වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඉල්ලා ඒ සඳහා එම අරමුදල සමග තවමත් සාකච්ඡා කරමින් සිටී. එම අරමුදලෙන් මූල්‍ය පහසුකමක් ලබා ගැනීම සඳහා කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇති කර ගැනීම එහි පළමු කඩඉමයි. ඉන් පසුව තිබෙන්නේ ඒ සඳහා එම අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමයි. එය වඩාත් දුෂ්කර වී ඇත්තේ මෙවර අප එම අරමුදලේ සහාය ඉල්ලා ඇත්තේ අපගේ ණය තිරසාරභාවය නොමැති තත්ත්වයක් යටතේ නිසාය. ඒ නිසා අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලබා

ගැනීමට අපගේ ණය තිරසරභාවය ඇති කර ගැනීම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් ඇති කර ගැනීමට සිදු වේ. ඒ සඳහා මේ වන විට අපගේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති අතර එහිදී චීනය, ඉන්දියාව සහ ජපානය යන රටවල් තීරණාත්මක ය. චීනය සහ ඉන්දියාව මේ සඳහා පහසුවෙන් එකඟ වනු ඇති ද යන ප්‍රශ්නය මතුව තිබේ. මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය අපට ලැබීම තවත් කල් යයි ද? එසේ මෙය කල් ඇදීමෙන් අපට කවර තත්ත්වයකට මුහුණ දීමට සිදු වනු ඇති ද? මේ ප්‍රශ්න මේ වන විට මතුව තිබේ.

මේ පසුබිම තුළ බොහෝ දෙනෙක් අයිඑම්එෆ් ණය පහසුකම ගැන කතා කරනු පෙනේ. එනම් අපට ඔය කියන ණය පහසුකම කවදා ලැබෙනු ඇති ද යන්නයි. ඒ සඳහා නිශ්චිත කාලයක් කිව නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ම ප්‍රකාශ කර තිබේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ සැලකිය යුතු ප්‍රගතියක් මෙන්ම මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකා රජය එකඟ වී ඇති කොන්දේසි ඉටු කිරීමට ද ඒ සඳහා අපට සිදු වේ. පසුව ඒ සම්බන්ධයෙන් වන ප්‍රගතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කිරීමට ද අපට සිදු වේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ඉරිදා (30) පස්වරුවේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති ශ්‍රී ලංකා තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ 32 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් මෙසේ ප්‍රකාශ කළේය.

“අපි ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කළ යුතුයි. ඒ සඳහා අපිට ණය ලබාදුන් අය සමඟ සාකච්ඡා කිරීමට අපිට සිදු වෙලා තිබෙනවා. ඒ සඳහා මූලින්ම මම බටහිර සහ ජපාන ණය දෙන්නන්ගෙන් සමන්විත පැරිස් සමාජය සමග සාකච්ඡා ආරම්භ කළා. අපිට ණය ලබාදෙන ප්‍රධාන රටවල් 03න් එක් රටක් වන ජපානය තමයි පැරිස් සමාජයේ ඉන්නේ. අපිට ණය දෙන අනෙක් ප්‍රධාන රටවල් දෙක වන චීනය සහ ඉන්දියාව ඒ අතර නැහැ. චීනය ප්‍රථමයෙන්ම බංකොලොත්භාවය කළමනාකරණය සම්බන්ධයෙන් කටයුතු කළේ සැම්බියාව සමඟයි. මම හිතන්නේ ඉන්දියාව පළමුව එය සිදු කරන්නේ ශ්‍රී ලංකාව සමගයි. මම මේ වන විටත් ජපානය සමඟ සාකච්ඡා ආරම්භ කරලයි තිබෙන්නේ. ඉන් පසුව ඉන්දියාව සහ චීනය සමඟත් සාකච්ඡා කර තිබෙනවා. එකිනෙකාට බලපාන ද්විපාර්ශ්වික ගැටලු පිළිබඳ සාකච්ඡා කරන අතරම එය විසඳා ගන්නේ කෙසේද යන්න පිළිබඳ පොදු වේදිකාවකට පැමිණිය යුතුයි.

අපිට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර නොවැම්බර් මාසය මැද වන විට ගිවිසුමකට එළැඹ, දෙසැම්බර් මාසය මැද වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමට හැකි වුවහොත් ඉතා වාසිසහගත තත්ත්වයක් උදාකරගත හැකියි. චීනයේ පක්ෂ සම්මේලනයෙන් පසුව මේ පිළිබඳ අවධානය යොමුව තිබෙන නිසා මෙය සාර්ථක කර ගැනීමට පුළුවන් වෙයිද කියා මම දන්නේ නැහැ. එසේ නොවුණහොත් ජනවාරි මාසය වන විට එය සාර්ථක කර ගැනීමට අපි ඉලක්ක සහගතව කටයුතු කළ යුතුයි.”

ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ විශේෂයෙන් චීනය සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන තවම නිශ්චිතභාවයක් නොමැති බවයි. ඒ සඳහා අපට ප්‍රමාදයක් ඇති වුවහොත් මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම ද ප්‍රමාද වෙයි. ඒ අනුව අපට මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම ලැබීමට ප්‍රමාද වෙයි. එවිට සිදු වන්නේ අපට උග්‍ර විදේශ විනිමය අර්බුදය සමග ගත කිරීමට සිදුවෙන දුෂ්කර කාලය තවත් දිගු වීමයි. මේ නිසා මේ මොහොතේ ඉතාම තීරණාත්මක කරුණක් වන්නේ අපගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය වේගවත් හා සාර්ථක කර ගැනීමයි. ජනාධිපතිවරයා කියන පරිදි සෑම රටක්ම, සෑම ආයතනයක්ම දන්වා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් යම් සැලැස්මක් සකස් කර ගන්නා ලෙසයි. 2019 වසර අග වන තෙක් එවැනි සැලැස්මක් සහිත වැඩපිළිවෙළක් මූල්‍ය අරමුදල සමග අපට තිබුණත් එය පසුව පත් වූ ගෝඨාභය රාජපක්ෂ රජය ඉදිරියට ගෙන ගියේ නැත. ඉන් පසු සිදු කළ විශාල බදු කප්පාදුව ඇතුළු අදූරදර්ශී තීරණ ගණනාවක් මෙන්ම අනපේක්ෂිතව ඇති වූ කොරෝනා අර්බුදය නිසා ද අපගේ ආර්ථික තත්ත්වය නරක අතට හැරීම සිදු විය. එම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නැවත සාකච්ඡා ආරම්භ කිරීමට අපට සිදුවූයේ රට බංකොලොත් වීමත් සමගය. මේ නිසා යහපාලන රජය මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන පැවති වැඩසටහන දිගටම යන්න දුන්නා නම් අපට 2019 අගදී විශාල බදු කප්පාදුවක් සිදු කිරීමට ඉඩක් නොලැබෙන බව ද කිව හැකිය. කෙසේ හෝ කොරෝනාව සහ අදූරදර්ශී රාජ්‍ය පාලනයේ සහ ආර්ථික කළමනාකරණයේ විපාකවලට රටවැසියාට දැන් මුහුණ දීමට සිදුව තිබේ. තවත් කලක් මුහුණ දීමට ද සිදුවනු ඇත. එහිදී අපට අයිඑම්එෆ් සමග එකඟ වී දියත් කරන වැඩපිළිවෙළ හැර රට මුහුණ දී සිටින ආර්ථික හා විනිමය අර්බුදයෙන් මේ රට ගොඩ ගැනීමට රජයට පුළුල් ආර්ථික සැලසුමක් ඇති බවක් නම් පෙනෙන්නට නැත. එය කනගාටුවට කරුණකි.

● උද්ධමනය අඩු වෙයි

ගිය සතියේ (ඔක්තෝබර් 27 දින) ‘ආර්ථික ඇසින් ’ ලිපියෙන් මේ ලියුම්කරු සඳහන් කළේ මෙතෙක් කල් දිගටම වැඩි වූ උද්ධමනය අඩුවනු ඇති බවයි. ඒ අනුවම කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 69.8 සිට ඔක්තෝබර් මාසයේ දී සියයට 66.0 ක් දක්වා පහළ ගොස් තිබේ. ඔක්තෝබර් මාසයේ දී උද්ධමනය මෙලෙස පහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික පහළ යෑම් හේතු වූ අතර මේ අනුව ආහාර කාණ්ඩයේ උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 94.9හි සිට 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 85.6 දක්වා සහ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 57.6හි සිට 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 56.3 ක් දක්වා ද පහළ ගොස් ඇත.

පසුගිය මාසවල දිගින් දිගටම වේගයෙන් උද්ධමනය ඉහළ ගිය බව අපි දනිමු. ඒ අනුව 2021 ඔක්තෝබර් මාසයේ සිට දක්නට ලැබුණු උද්ධමනය අඛණ්ඩව ඉහළ යෑමේ ප්‍රවණතාව ගිය මාසයේ සිට වෙනස් වී ඇත. පැවැති උද්ධමන තත්ත්වය අධි උද්ධමනයක් කරා යනු ඇති බවට අදහස් ඉදිරිපත් විය. එසේ වූවා නම් ජනතාවට පමණක් නොව ව්‍යාපාර ආයතනවලට පවා මීටත් වඩා අමාරු තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇත. කෙසේ හෝ උද්ධමනය සියයට 70 ක් දක්වා ඉහළ ගොස් දැන් නැවත අඩු වී ඇත. මෙසේ සෑහෙන කලකට පසුව ප්‍රථම වතාවට උද්ධමනය අඩු වීම විශේෂත්වයකි. මේ උද්ධමනය අඩු වීමේ ප්‍රවණතාව දිගටම පවතිනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. උද්ධමනය වේගයෙන් වැඩි වන විට එම තත්ත්වය මර්දනය කිරීම සඳහා මහ බැංකුවට සැලකිය යුතු ලෙස පොලී අනුපාත වැඩි කිරීමට සිදු විය. එසේම මෙහි අනිත් පැත්ත ද අනාගතයේ සිදුවනු ඇත. එනම් උද්ධමනය ක්‍රමයෙන් අඩු වීමත් සමග මහ බැංකුව විසින් ක්‍රමයෙන් සිය දැඩි මූල්‍ය ප්‍රතිපත්තිය ලිහිල් කරමින් පොලී අනුපාත ද ක්‍රමයෙන් අඩු කරනු ඇත. එහෙත් මෙය වහාම සිදුවෙන දෙයක් නොව ක්‍රමයෙන් සිදුවන දෙයක් වනු ඇත.

● 2023 අයවැය

2023 මූල්‍ය වර්ෂයට අදාළ අයවැය ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ නොවැම්බර් 14 වැනිදායි. අයවැය විවාදය සඳහා යෝජිත වැඩසටහන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස ගිය සතියේ ඉදිරිපත් කළ අතර එකී වැඩසටහන සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලැබිණි. එම වැඩසටහන මෙසේය.

● අයවැය කථාව (විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම) : 2022-11-14

● අයවැය දෙවන වර කියවීමේ විවාදය : 2022-11-15 දින සිට 2022-11-22 දින දක්වා (දින 07කි.)

● අයවැය කාරක සභා අවස්ථා විවාදය : 2022-11-23 දින සිට 2022-12-08 දින දක්වා (දින 13කි)

● ඡන්ද විමසීම : 2022-12-08

පොහොට්ටුවේ පාර්ශ්ව විවිධ කොටස්වලට කැඩී ගොස් තිබේ. එම ඇතැම් කණ්ඩායම් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරනු පෙනේ. මේ ඇතැම් කණ්ඩායම් ඉදිරි අයවැයේ දී ඊට සහාය නොදෙන බවක් ද ප්‍රකාශ වී ඇත. මේ වන විට පොහොට්ටුවේ සැබෑ ජනවරමට බොහෝ කැළැල් සිදුවී ඇත. ලක්‍ෂ 69 ක් ඡන්දය දී පත් වූ ජනාධිපතිවරයා වෙනුවට අද බලයේ සිටින්නේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ සහයෙන් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාය. ඔහු මහජන වරමක් ඇතිව ජනාධිපති ලෙස පත් වූවෙක් නොවේ. එය රටම දන්නා කරුණකි. මේ නිසා වර්තමාන ජනවරම බොහෝ විකෘතියකට ලක්ව ඇති බව රහසක් නොවේ. මේ නිසා අප නම් සිතන්නේ රට කිසියම් දුරකට ස්ථාවර තත්ත්වයකට පත් වීමෙන් පසුව මැතිවරණයකට යා යුතු බවයි. උපරිම ලෙස මහජන සහාය සහ මහජන විශ්වාසය ඇතුව මේ ආර්ථික අර්බුදයෙන් මිදීමට අපට එමගින් වැඩි ශක්තියක් ලැබෙනු ඇතැයි සිතිය හැකිය. මේ පසුබිම තුළ පොහොට්ටුවේ බෙදීම නිසා ඔවුන්ගේ ඡන්ද ප්‍රමාණයක් අයවැයට නොලැබෙනු ඇත. මේ තත්ත්වය නිසාදෝ ආණ්ඩුව අයවැයට ලැබෙන ඡන්ද ගැන යම් සැලකිලිමත් වීමක් සිදුව ඇත. ඒ අනුව හදිසි වෛද්‍යමය අවශ්‍යතාවයකදී හෝ රජයේ ඉතා හදිසි කාර්යයන් සම්බන්ධයෙන් වන අවස්ථාවකදී හැර, අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව රැස් වන දිනවලදී සහ අයවැය විවාදය පැවැත්වෙන කාලසීමාව තුළදී විදේශගත නොවිය යුතු බවට ද අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව මගින් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබාගෙන ඇත. එහෙත් අද වන විට රටේ සැබෑ ජනමතය පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ඔළු ගෙඩිවලින් නිරූපනය නොවේ. මේ නිසා අප නම් සිතන්නේ මේ අයවැය සම්මත කර

ගැනීම කෙසේ වෙතත් රට ගොඩ ගැනීමට අයිඑම්එෆ් එක කියන කියන පදයට නටනවාට වඩා රජයට පුළුල් සැලසුමක් තිබිය යුතු බවයි.


ණය ගැටලුවෙන් ගොඩ ඒමට රටම උත්සාහයක යෙදිය යුතුයි – අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

බිලියන 2.9 ක මූල්‍ය පහසුකමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය කල් යයි ද?

රුපියල බාල්දු වී ජීවන වියදම දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි සියලු දෙනා පිළිගත යුතු බවත් කුමන තනතුරක් දැරුවත් ජනතාවට යථාර්ථය පැවසිය යුතු බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

රුපියල බාල්දු වූ අවස්ථාවක ඇතිවන ආර්ථික පසුබැස්මේ අවාසිය ජනතාවට සෘජුව දැරීමට සිදුව තිබෙනවා. මේ නිසාම යම් යම් යෝජනා නැවත සලකා බලා වෙනසකට භාජනය කළ යුතු කාලය දැන් එළැඹ තිබෙනවා. නමුත් ඉදිරියේදී රුපියල කෙතරම් බාල්දු වේදැයි සැකයක් ඇති කරගත යුතු නොවන අතර වත්මන් රජය හැකි උපරිම සවිය ආර්ථිකයට යොදා තිබෙනවා.

රටේ දුෂ්කර ම කාල පරිච්ඡේදය ඉදිරි මාස කිහිපය ඇතුළත ලිහිල් කර ගැනීමට හැකි වෙතැයි විශ්වාසය කරනවා. රට හමුවේ ඇති ජාත්‍යන්තර ණය ගැටලුවෙන් ගොඩ ඒමට මුළු රටම එකාවන්ව විශාල උත්සාහයක යෙදිය යුතුව තිබෙනවා.

පසුගියදා පැවැති සමස්ත ලංකා හාබර් සහ ඩොක් කම්කරු සමිතියේ 77 වැනි සංවත්සර මහා සභාව අමතමින්.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
shyam.divaina@ gmal.com

advertistmentadvertistment
advertistmentadvertistment