බිලියන 60ක හිඟ මුදල පියවන්න ඖෂධ සැපයුම්කරුවන්ට බැඳුම්කර

95

ඖෂධ සැපයුම්කරුවන්ට බැඳුම්කර ලබාදීමට කැබිනට් එකඟතාව පළවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

මේ වනවිට රුපියල් බිලියන 60ක පමණ මුදලක් ඖෂධ සැපයුම්කරුන්ට ගෙවීමට තිබෙන බැවින් ඖෂධ සම්බන්ධයෙන් පැන නැගී තිබෙන ගැටලු මගහරවා ගැනීම සඳහා මෙම පියවර ගත් බව ද, ඖෂධ සැපයුම්කරුවන්ගෙන් 90 % ක් පමණ මේ සඳහා කැමැත්ත පළ කර තිබෙන බැවින් ලබන කාර්තුව වනවිට මෙරට ඖෂධ හිඟය 80-90 % කින් පමණ පහළ යනු ඇතැයි ද ඇමැතිවරයා කීවේය. මහනුවරදී ඊයේ (20දා) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ආනයනය කරන ලද ඖෂධ වෙනුවෙන් මුදල් නොලැබීම නිසා සැපයුම්කරුවන් සතු ඖෂධ සැපයීමේ ශක්තිය අඩුවී තිබෙන බවත් බැඳුම්කර නිකුත් කිරීමත් සමඟ එම ගැටලුව පහව යනු ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.

ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලිය දේශපාලන වුවමනාවන් මත අවුල් කිරීමේ වැඩපිළිවෙළක් ඇතැම් වෛද්‍යවරුන්ගේ ද සහාය ඇතිව ක්‍රියාත්මක වන බවත් ඒ පිළිබඳ සියලු තොරතුරු ඉදිරියේදී අනාවරණය කරන බවත් පැවසූ රඹුක්වැල්ල මහතා රෝගීන්ට අවශ්‍ය ඖෂධ නිසි වේලාවට ගෙන්වා දීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛ අරමුණ බවත් කුමන ආකාරයේ බාධා පැමිණියද ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන බවත් කීය.

ලියාපදිංචි නොවූ සමාගම් මගින් ඖෂධ ගෙන්වා තිබෙන බවට සුළු පිරිසක් හඬ නගන බවත් එලෙස ගෙන්වන ලද ඖෂධ භාවිතය හේතුවෙන් රෝගීන්ට යම් ගැටලුවක් ඇති වුවහොත් එහි වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය භාර ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය යටතේ ඖෂධ ගෙනඒමේ ක්‍රියාවලිය සඳහා මාස 06 ත් 12 ත් අතර කාලයක් ගතවන බවත් යුරෝපා සංගමය අනුමත කර තිබෙන ඇමරිකාව, ජපානය වැනි රටවල් පාවිච්චි කරන ඖෂධයක් මෙම ක්‍රියාවලියෙන් බැහැරව ගෙන ඒමෙන් කිසිදු හානියක් සිදු නොවන බවත් ඒ මහතා කීය.

කෙටි කාල සීමාවක් තුළ ඖෂධ මෙරටට ගෙන්වා ගැනීම සඳහා මෙම පියවර ගත් බවත් ඇතැමුන් මෙය විවේචනය කරන්නේ දේශපාලන අවශ්‍යතාව වෙනුවෙන් මිස ජනතා සුබසෙත ගැන සිතා නොවන බවත් හෙතෙම අවධාරණය කළේය.

ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලද සමාගම් මගින් ඖෂධ 186 ක් ගෙන්වීම සඳහා ටෙන්ඩර් කැඳවූ බවත් එයින් ටෙන්ඩර් ඉදිරිපත්ව තිබුණේ ඖෂධ වර්ග තුනක් සඳහා පමණක් බවත් කී ඒ මහතා එවැනි තත්ත්වයක් තුළ ඉතිරි ඖෂධ ගෙන්වා ගන්නේ කෙසේද යන්න ගැටලුවක් වූ බවද ප්‍රකාශ කළේය.

ඖෂධ සමාගම්වලට රජය රුපියල් බිලියන 60 ක පමණ මුදලක් ගෙවීමට තිබෙන බවත් මේ නිසා ඖෂධ ආනයනය කිරීමට සමාගම් ඉදිරිපත් නොවන බවත් කී සෞඛ්‍ය ඇමැතිවරයා අප්‍රේල් මාසය වනවිට මෙම මුදල් ගෙවා ගැටලු විසඳා ගැනීමට අපේක්ෂා කරන බව ද පැවසුවේය.

අත්‍යවශ්‍ය නොවන සැත්කම් සඳහා ලබා දී තිබෙන දින කල් දැමීම මෙයට පෙර ද රටේ සිදුව තිබෙන බවත් ඇතැමුන් මෙවැන්නක් රටේ සිදුවූ ප්‍රථම අවස්ථාව මෙය බවට හුවා දැක්වීමට උත්සාහ කරන බවත් ඇමැතිවරයා කීවේය.

ජනවාරි මාසයේ මෙරට සමස්ත ආදායම රුපියල් බිලියන 145 ක් වුවත් වියදම බිලියන 380 ක් බවත් ඉන් බිලියන 82 ක් වැටුප්වලටත් තවත් බිලියන 27 ක් විශ්‍රාම වැටුප් සඳහාත් බිලියන 16 ක් සමෘද්ධිය වෙනුවෙනුත් වෙන් කළ බව කී ඒ මහතා ඉතිරි වූ මුදලින් බිලියන 10 ක් සෞඛ්‍යයට ලබාදුන් බවද අවධාරණය කළේය.
සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment