බිලියන 80ක බදු පිල්ලි යන්න දී ජනතාවටම බර පටවනවා – ආචාර්ය හර්ෂ ද සිල්වා

92

මත්පැන් කර්මාන්තයෙන් වසරකට සිදුවන රුපියල් බිලියන 80 ක පමණ බදු වංචාව වළක්වන්නට පියවර නොගෙන රජයේ ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා රජය ජනතාව වෙත බදු බර පටවමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

සුරාබදු දෙපාර්තමේන්තුවට මේ වසර සඳහා ලබාදී ඇති බදු ඉලක්කය වන රුපියල් බිලියන 217 න් පසුගිය සැප්තැම්බර් 30 වැනිදා වන විට සම්පූර්ණ කර ඇත්තේ රුපියල් බිලියන 125 ක් බවත් බදු ආදායම අය කර ගැනීම සම්බන්ධව එවැනි ඉලක්ක සපුරාලීමට නොහැකිව, පවතිද්දී මත්පැන් කර්මාන්තයේ සිදුවන බදු වංචා සම්බන්ධව පියවර ගැනීමට කටයුතු නොකිරීම පිළිබඳ තමා විමතියට පත්වන බවත් ඒ මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේ 1 වැනිදා පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය. බදු වංචා කරලා තියන මත්පැන් නිෂ්පාදකයන්ගේ බලපත් ඔක්තෝබර් 31 වැනිදා වන විට අවලංගු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය දවස්වල කිව්වා. නමුත් අද පළවෙනිදා. අපිට නම් මේ වෙනකොට එවැනි දෙයක් සිදුවෙලා කියලා කිසිදු තොරතුරක් වාර්තා වෙන්නේ නෑ. මත්පැන් බෝතලය මත අලවනු ලබන ස්ටිකර් මගින් පමණක් රුපියල් බිලියන 80 ක වංචාවක් සිදු වෙන බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පසුව පාඨලී චම්පික මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව දිගින් දිගටම මේ ගැන අවධානය යොමු කිරීම නිසා අපිට හැකිවුණා මේ ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් අත්අඩංගුවට ගන්න. ඇත්තටම මම ඒ පිළිබඳ පාඨලී චම්පික මන්ත්‍රීවරයාට ස්තුති වන්ත විය යුතුයි.

advertistmentadvertistment
advertistmentadvertistment