බිලි පූජාව

2234

2022 ජූලි මස 17 වැනිදා ඉරිදා

ගෝඨාභය රාජපක්‍ෂ යනු තනිකරම දේශපාලන ඛේදවාචකයකි. පවුලේ බලය පවත්වා ගැනීම සඳහා රාජපක්‍ෂවරුන් විසින් ඔහු බිලි දෙන ලදි. පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂට ඡන්දය ඉල්ලීම සඳහා අවස්ථාවක් තිබුණේ නැත. එයට හේතුව ව්‍යවස්ථා සංශෝධනයක් මගින් දෙවරකට වඩා ජනාධිපති තනතුරට ඔහු ඉදිරිපත් වීම වැළැක්වී තිබීමය. ඇමරිකානු පුරවැසියකු වූ බැසිල් රාජපක්‍ෂට ද ඒ සඳහා ව්‍යවස්ථානුකූල බලතල තිබුණේ නැත. ගෝඨාභයගේ ඇමරිකානු පුරවැසිකම ඉවත් කර ජනාධිපති ධුරය සඳහා ඡන්දය ඉල්ලනු පිණිස ඔහු ඉදිරිපත් කිරීමටත් අවසානයේදී ඔහුගේ මාර්ගයෙන් රටේ බලය අල්ලා ගැනීමටත් රාජපක්‍ෂවරු ද ලෝභී පිරිස් ද තීන්දු කළහ. ගෝඨාභයගේ දේශපාලන එල්ලුම්ගස සාදනු ලබන්නේ මෙන්න මේ කියන මොහොතේදී ය. ජනාධිපතිවරණයේදී ලැබුණු 69 ලක්‍ෂයක ඡන්දවලින් පසු ගෝඨාභය සම්පූර්ණයෙන්ම නොමග ගියේය. ඔහු කල්පනා කළේ මේ ඡන්ද 69 ලක්‍ෂය ඔහුටම ලැබුණු දෙයක් බවයි. එහෙත් එයින් වැඩි කොටසක් මහින්ද රාජපක්‍ෂගේ ඡන්ද ය. තවත් කොටසක් යහපාලනයට විරුද්ධ වූ අයගේ ඡන්ද ය. ඉතිරි කොටස අද යූඑන්පීයට, හෙට ශ්‍රීලනිපයට, අනිද්දා පොහොට්ටුවට, ඉන් අනිද්දා අනුර දිසානායකට යනාදී වශයෙන් පාවිච්චි වෙන පාවෙන ඡන්ද ය.

ජනාධිපති ජයග්‍රහණයෙන් පසු දිගු කලක් යුද බිමේත් ඉන් පසු ආරක්‍ෂක අමාත්‍යාංශයේත් ජීවත් වීමට පුරුදුව සිටි සරල ගෝඨාභය ඉබේටම පොරක් බවට පත් විය. මෙකී පොර මානසිකත්වය ලේසි කෙළියක් නොවේ. ඔහු අදහස් ලබාගත්තේ ඔහු වටා සිටි වියත් මඟෙන් පමණි. වියත්මඟ යන මේ මහපොළොවේ කකුල් දෙක තබාගැනීමට බැරිව ආකාශයේ ඇවිදමින් සිටි උගත්තු රොත්තකි. මෙවැනි උගතුන්ගෙන් රටකට වැඩක් නැත. අඩුම ගණනේ වතුර හැලියක් උතුරවා ගැනීම සඳහා දර වශයෙන් යොදා ගැනීමටවත් මේ උගතුන්ගෙන් ප්‍රයෝජනයක් නැත. මහපාරේ කාණු කපන කම්කරුවාටත්, වැසිකිළි වළවල්වල අපද්‍රව්‍ය ඉවත් කරන කම්කරුවාටත් ප්‍රායෝගික ජීවිතය තුළ අප්‍රමාණ වියත් බවක් තිබිණ. අපට දැනගන්නට ලැබුණ පරිදි ජනාධිපති ගෝඨාභය කල්පනා කළේ වියත් මඟ තමන්ට රට පාලනය කර දෙනු ඇති බවය. එහෙත් අප කලින් ද කී පරිදි වියත් මඟ යනු පල් මෝඩ කැළකි. ඔවුන්ගේ බුද්ධිය ද වියතකට වඩා උස් වූයේ නැත. මේ අතර ගෝඨාභය ‘ඇම්බුෂ්’ ව්‍යාපාරයක් ආරම්භ කළේය. හිටිහැටියේම ආර්එම්වී එකට කඩාවැදුණු ඔහු එතැන වැඩ ඉතා හෙමින් කෙරෙන බව කියමින් ඒවා ඉක්මන් කරන්නැයි නිලධාරීන්ට දැන්වූහ. එහෙත් ගෝඨාභය ආර්එම්වී එකට ඇවිත් ගොස් තුන් දවසකට පසු නැවත වරක් ආර්එම්වී එක පරණ මන්දගාමී ආයතනය ලෙස නැවතත් ක්‍රියාත්මක විය. ඉන්පසු ගෝඨාභය ගම සමඟ පිළිසඳරක් නමැති වැඩසටහනක් ක්‍රියාත්මක කර ගමින් ගමට යෑමට පටන් ගත්තේය. මෙය මේ රටේ පොදු ජනතාවගේ විහිළුවටත්, සිනහවටත් ලක්වූ ව්‍යාපාරයකි. ජනාධිපති කිසියම් ගමකට ගොස් ගමේ ප්‍රශ්න විසඳන ලෙස නිලධාරියකුගෙන් ඉල්ලූ පරිදි කිසිදු ප්‍රාතිහාරයක් සිදුවන්නේ නැත. නිලධාරියා ඒ වෙලාවට ජනාධිපති දෙස බලා තුනට හතරට නැවී ‘හොඳමයි සර් මං වැඩේ කරන්නම්’ යැයි කීවාට වැඩ සිදුවෙන්නේ නැත. කිසියම් වැඩක් ක්‍රියාත්මක කිරීමට නම් ඒ සඳහා නෛතික ප්‍රතිපාදන සහ මූල්‍ය අවශ්‍ය ය. අපේ රටේ කරන වැඩවලට නෛතික ප්‍රතිපාදන තිබුණත් මූල්‍ය ප්‍රතිපාදන නැත. ඒ නිසා ගෝඨාභයගේ ගම සමග පිළිසඳර ක්‍රමයෙන් අතුරුදන් විය.

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ 2018 අවසන් කොටසේදීය. 2019 මාර්තු වන විට ශ්‍රී ලංකාවට කොවිඩ් – 19 වැලඳින. කොවිඩ් – 19 ඉතා අවාසනාවන්ත රෝගයකි. එහෙත් එය ගෝඨාභයට ලැබුණු වාසනාවකි. කොවිඩ් නිසා අවුරුදු දෙකකට වැඩි කලක් රට වසා තැබීමට සිදුවිය. ඒ නිසා ගෝඨාභය රාජපක්‍ෂ අසමත් නායකයෙකි යන කාරණය එකී වසර දෙකකට වැඩි කාලය තුළ රහසේ පැවතිණ. වැඩේ හරියටම පත්තු වන්නේ කොවිඩ් වසංගතය සුවවී රට ඇරීමත් සමගය. මේ වනවිට ලංකාවේ ධනය නැට්ටටම සිඳී තිබුණි. මහ කන්නය එළැඹෙමින් තිබුණ අතර ඒ සඳහා යෙදීමට අවශ්‍ය රසායනික පොහොර ගෙන්වීමට මහා භාණ්ඩාගාරය සතුව විදේශ විනිමය තිබුණේ නැත. මෙවැනි තත්ත්වයකදී කුමක් කළ යුතු ද යන්න ගෝඨාභයට තේරුණේත් නැත. වහා ඉදිරියට පිනූ වියත් මඟේ උගතුන් සහ තවත් පා ගොයියන් පිරිසක් ජනාධිපතිතුමාට දන්වා සිටියේ කාබනික පොහොර මගින් කුඹුරු වගා කළ හැකි බවය. කුඹුරට කාබනික පොහොර ගැසූ විට ගොයම් ගස් පුවක් ගස් තරම් උස යන බවත්, කරල් නෙළීම සඳහා හෙලිකොප්ටරයක් පාවිච්චි කළ යුතු බවත් එම පල් හොරු කීහ. යුද්ධය පමණක් කර පුරුදු අහිංසකයකු වූ ගෝඨාභය රාජපක්‍ෂ මෙයට රැවටුණේය. එහෙත් යූරියා ගහන්නේ නැතිව ගොයම් ගස් පැළ කර ගැනීමට නොහැකි බවත් ගොයම් ගස් පුවක් ගස් තරම් උස නොයන බවත් පුවක් ගස් තරම් උස යන්නේ පුවක් ගස් පමණක් ම බවත් මේ රටේ සාමාන්‍ය ගොවීහු දැන සිටියහ. ඒ මිනිසුන් පසුගිය අවුරුදු 60 – 70 ම කුඹුර කර තිබුණේ රසායනික පොහොර මාර්ගයෙනි. මේ බව තේරුම් කිරීමට ගත් කිසිදු උත්සාහයකදී ගෝඨාභය සැබෑව පිළිගත්තේ නැත. හිත වෙනස් කර ගැනීමට ගෝඨාභය ගත් සෑම උත්සාහයකදීම වියත් මඟේ පල් හොරු ද, පා ගොයියෝ ද එය වළක්වන ලදී. අන්තිමට රසායනික පොහොර ඉල්ලා ගොවීහු මහපාරට බැස්සාහ. වැටුප් විෂමතා නැති කරන ලෙස ඉල්ලා ගුරුවරු සහ විදුහල්පතිවරු ද මහපාරට බැස්සාහ. රට ක්‍රමයෙන් එකම අල ගොඩක් බවට පත්විය. ස්වල්ප කලකට පසු කාබනික පොහොරවල ප්‍රතිඵල නිකුත් විය. ඒ අනුව කාබනික පොහොර යෙදූ බණ්ඩක්කා කරල් මිරිස් කරල් තරම් කුඩා විය. මිරිස් කරල් කොච්චි කරල් හා සමවිය. වට්ටක්කා සමාන වූයේ කුඩා කැකිරි ගෙඩිවලට ය. ඒ අතර කාබනික පොහොර නැවක් හරවා යැවීම නිසා චීන්නු අප සමග මහත්සේ තරහ වූහ.

ඉහත සඳහන් තත්ත්වයට සාපේක්‍ෂව ශ්‍රී ලංකාව මහත්සේ බංකොලොත් රාජ්‍යයක් බවට පත්ව තිබෙන බව ජනාධිපති ගෝඨාභය දැනගන්නා විට ගෑස් පෝලිම්, තෙල් පෝලිම් යනාදිය ඇරඹී අවසන් ය. ඒ අතර පිටරටින් විදේශ විනිමය මෙරටට පැමිණීම ද නැවතින. මේ තත්ත්වයට අදාළ සමහර සිදුවීම්වල පසුබිම වූයේ ස්ථිර වශයෙන්ම කොවිඩ් – 19 යි. එහෙත් දේශපාලන විරුද්ධවාදීන් විසින් මේ සියලුම වැරැදි සහ අඩුපාඩු ගෝඨාභයගේ සහ රාජපක්‍ෂ සහෝදර සමාගමේ අත්තනෝමතික වැරැදි බව ප්‍රචාරය කර හරින ලදී. ඉන්පසු රට යන්නේ අරගලකරුවන් අතටය. උන්ගෙන් වැඩි දෙනාද පල් හොරු වෙති. මේ එකකුටවත් රටක් පාලනය කිරීම ගැන දැනුමක් නැත. උන් දන්නේ යූටියුබ් සහ ෆේස්බුක් ගැන පමණි. රටක ජාතික ආයතන සාමාන්‍ය පුරවැසියන් විසින් අත්පත් කරගැනීම ඉතාම නරක දෙයකි. ඒ නරක තත්ත්වය හටගන්නේ ගෝඨාභය රාජපක්‍ෂ බිල්ලට දී පොහොට්ටුව ආණ්ඩුව විසින් ස්වකීය ආත්මාර්ථකාමී අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා ගත් කාලකණ්ණි ක්‍රියාමාර්ග හේතුවෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment