බිල වැඩි කරන්න කෑගහන ඇමැති කංචන පුනර්ජනනීය විදුලිය මෙගාවොට් 10ක්වත් නිපදවා නෑ

99

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික

විදුලි බිල යළි වැඩි කළ යුතු යැයි යෝජනා කරන කංචන විජේසේකර මහතා තමන් බලශක්ති ඇමැති ධුරය දරන සමයේ දී පුනර්ජනනීය විදුලිය මෙගාවොට් දහයක්වත් ජාතික පද්ධතියට එකතු කර නැතැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (6 දා) පැවසීය.

පුනර්ජනනීය විදුලිය සම්බන්ධයෙන් ඇමැතිගේ කාර්ය සාධනය ඔහු වහා රටට හෙළි කළ යුතු යැයිද හෙතෙම කීවේය.

කොළඹ දී ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඔහු මෙසේ ද කීවේය.

කංචන විජේසේකර ඇමැතිවරයා කියනවා එක විදුලිය ඒකකයක් රුපියල් පනස් හයයි ශත හැත්තෑවක් කරන්න ඕනේ කියලා. එහෙම කියන ඔහුම කියනවා විදුලි ඒකකයක සාමාන්‍ය වියදම රුපියල් විසිනවයයි ශත දාහතරයි කියලා. මෙතන වෙනස බලන්නකෝ. මේ වෙනසෙ රහස මොකක්ද කියලා ඇමැති කංචන රටට හෙළි කළ යුතුයි.

පොහොට්ටු ආණ්ඩුව පත් වුණේ 2030 වන විට පුනර්ජනනීය විදුලිය 70% ක් කරනවා කියලා. ඊට අනුව වසරකට මෙගාවොට් හයසීයක් පුනර්ජනනීය විදුලිය නිෂ්පාදනය කළ යුතුයි. ඒ අනුව මාසෙකට මෙගා වොට් 50 ක් පුනර්ජනනීය විදුලි නිෂ්පාදනය කළ යුතුයි. කංචන විජේසේකර බලශක්ති ඇමැති හැටියට පත් වෙලා මාස හතක්. ඔහු හරියට වැඩ කළා නම් මේ මාස 7ට පුනර්ජනනීය විදුලිය මෙගාවොට් 350ක් ජාතික පද්ධතියට එකතු කළ යුතුව තියෙනවා. එහෙම කළා නම් අද ලයිට් කපන්න වෙන්නෙත් නෑ, බිල වැඩි කරන්න වෙන්නෙත් නෑ. තමන්ගේ වගකීම් පැහැර හැරිය ඇමැතිවරයා මිනිස්සුන්ට බර පටවමින් සිටිනවා. අපි ජනාධිපතිවරයාටත් කියනවා මේ ඇමැතිවරයාගේ කාර්ය සාධනය පිළිබඳව අවධානය යොමු කරන්න කියලා.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment