බිස්නස් ඉවරයි… එක දිගට කඩ වැහෙන ‘ නෝ මනී ‘ වෛරසයක්

303

දැනටමත් කඩසාප්පු විශාල ප්‍රමාණයක් බංකොලොත්

මේ කතාව කරළියට පැමිණෙන්නේ දෙහිවල නගරය මුල්කර ගනිමින්ය. එය කාගේ කාගෙත් අවධානයට යොමුවිය යුතුය. ඊට හේතුව බවට පත්වන්නේ දෙහිවලින් මතුපිටට පැමිණෙන මෙම කතාව ඉදිරි දිනක රටේම කතාව බවට පත්වීමේ අවධානමක් පවතින හෙයින්ය. එබැවින් දෙහිවල නගරය කේන්ද්‍රකොට ගනිමින් ව්‍යාපාරික කටයුතු කරන ව්‍යාපාරික ප්‍රජාව විසින් පෙන්වාදෙන මෙම අනතුරු හැඟවීම තුළ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා කර්මාන්ත ආදියේ අනාගත හැඩතල හඳුනාගත හැක. එය කිසිසේත්ම යහපත් නැත. දෙහිවල නගරය ආශ්‍රිතව අප කළ සොයාබැලීමකදී එය මැනවින් පසක් විය. දෙහිවල එක්සත් වෙළෙඳ හා කර්මාන්ත සංගමයේ සාමාජිකයන් කීපදෙනෙක් හා එම සංගමය නියෝජනය නොකරමින් ව්‍යාපාර කටයුතුවල නිරත තවත් ව්‍යාපාරිකයන් කීපදෙනෙක් සමග සිදුකළ කතාබහක් තුළ අනාවරණය වූවේ මේ වන විටද දෙහිවල නගරය කේන්ද්‍ර කරගනිමින් පවත්වාගෙන ගිය වෙළෙඳ ව්‍යාපාරික ස්ථාන රැසක් වසාදමා ඇති බවත් ඉදිරියේදී තවත් ව්‍යාපාරික ස්ථාන රැසක් වැසී යෑමේ අවදානමක් පවතින බවත්ය. ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉදිරියේදී මෙම තත්ත්වය රටපුරා ව්‍යාප්තවීමේ අවදානමක්ද පවතින බවත්ය.

කොළඹ මහ නගර සභාවට පමණක් දෙවැනි වන දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ‘හදවත’ බඳු දෙහිවලින් ඇසෙන කඩසාප්පු වසා දැමීමේ කතාව අප විසින් කල්තබා ලියා තබන්නේ අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා දැමීමෙන් ඵලක් නොවන බව ප්‍රත්‍යක්‍ෂ කරගත් වටපිටාවක හිඳිමින්ය. පාසල් නිල ඇඳුම් මැසීමේ කර්මාන්තයක නිරත පුද්ගලයෙකු ලෙස දශක කීපයක් මුළුල්ලේ දෙහිවල නගරය කේන්ද්‍රකර ගනිමින් ව්‍යාපාරික කටයුතු සිදුකරන සරත් පීරිස් මහතා තම ව්‍යාපාරික කටයුතුවලට අමතරව දෙහිවල එක්සත් වෙළෙඳ හා කර්මාන්ත සංගමයේ වත්මන් සභාපති ධූරය හොබවනු ලබන්නේය. මෙම හෙළිදරව්ව පිණිස ඔහුගේ මැදිහත්වීම වැදගත් වූවේ නගරයේ ව්‍යාපාරික ප්‍රජාව සහ ඔහු අතර වන සම්බන්ධතාවය ඉතා සමීප සම්බන්ධතාවයක් වීම හේතුවෙන්ය. දෙහිවල නගරය ව්‍යාපාරික වශයෙන් යම් කඩාවැටීමකට ලක්ව ඇත්දැයි අප විසින් ඔහුගෙන් සිදුකළ විමසුමට පිළිතුරු ලබාදෙමින් සරත් පීරිස් සඳහන් කර සිටියේ මෙවැන්නක්ය.

‘සංගමයක් වශයෙන් ගත්විට දෙහිවල නගරයේ ව්‍යාපාරිකයන් වගේම විවිධ කර්මාන්තවල නිරත විශාල පිරිසක් අපේ සංගමයේ සාමාජිකත්වය දරනවා. ඒ වගේම කොළඹ නගරයට සමීපව පිහිටි නගරයක් ලෙස දෙහිවල ආශ්‍රිතව විශාල වෙළෙඳ සැල් ප්‍රමාණයක් හා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත රැසක් මේ ප්‍රදේශය මුල්කර ගනිමින් පවත්වාගෙන යනවා. දෙහිවල කියන නම ඇහුන ගමන් සත්තුවත්ත මතකයට එනව වගේම දෙහිවල කිව්ව ගමන් මතකයට එන ව්‍යාපාරික නාමාවලියකුත් තිබුණා. නමුත් මේ වනවිට ඒ නාමාවලිය ටිකෙන් ටික ජන මනසින් මැකිලා යනවා. අද වනවිට ඒ ව්‍යාපාරික ස්ථාන බොහොමයක් ක්‍රියාත්මක තලයේ නැහැ. යම් යම් හේතූන් මත ඒවා වසාදමන්න ඇති කියල උපකල්පනය කරල ඒ පිළිබඳව කතා නොකර මේ වනවිට නගරයක් ලෙස දෙහිවල ව්‍යාපාර කටයුතු ගැන කතා කළොත් ගතවූ මාස කීපය තුළ පමණක් ව්‍යාපාරික ස්ථාන හතළිහකට ආසන්න ප්‍රමාණයක් වසාදමන්න ඒ ඒ ව්‍යාපාරික ස්ථාන හිමිකරුවන් විසින් කටයුතු කරල තිබෙනවා. පවතින ආර්ථික රටාව තුළ තම තමන්ගේ ව්‍යාපාරික කටයුතු තවදුරටත් ඉදිරියට කරගෙන යන්න බැහැ කියන මතයේ තමයි ඔවුන් ඉන්නේ. එහෙම නැතුව ඔවුන් වෙනත් ආදායම් මාර්ග හොයාගෙන ගිහින් කියන එක එයින් අදහස් වෙන්නේ නෑ.

ඇත්තටම මගේ ව්‍යාපාරය ගත්තොත් මම කරන්නේ පාසල් නිල ඇඳුම් මහන එක. සේවක සේවිකාවන් විශාල පිරිසක් සහිතව තමයි ඒ කටයුත්ත දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ආවේ. කොළඹ හා තදාසන්න පාසල් රැසක පාසල් නිමි ඇඳුම් මැසීමේ කර්මාන්තයට එදා ඉඳලම දෙහිවල ප්‍රසිද්ධියට පත්වෙලා තිබුණා. නමුත් අද වනවිට ඒ කටයුත්ත විශාල කඩා වැටීමකට ලක්වෙලා ඉවරයි. ඒකට හේතුව තමයි නිමි ඇඳුම් කර්මාන්තය සඳහා අවශ්‍ය නූල් පන්දුවේ සිට සෑම අමුද්‍රව්‍යයක්ම තුන් හතර ගුණයකින් මිල ඉහළ යෑම. අමාරුවෙන් හරි අපි කීපදෙනෙක් හැරුණු කොට ඒ කර්මාන්තයේ නිරත විශාල පිරිසක් තම තමන්ගේ වෘත්තියෙන් ඉවත් වෙමින් ඉන්නවා. මේක බරපතළ තත්ත්වයක්. මහා පරිමාණ නිමි ඇඳුම් කර්මාන්තවලට යම් යම් සහන දුන්නත් පාසල් දරුවන්ගේ කමිසෙ කලිසම මහල කීයක් හරි හොයාගත්ත මිනිස්සු අද පාරට වැටිල ඉවරයි.

දෙහිවල කේන්ද්‍ර කරගනිමින් පවත්වාගෙන ගිය එක්තරා ක්‍ෂේත්‍රයක් එලෙස කඩා වැටීමට ලක්වෙමින් පවතින වටපිටාවක් තුළ බේකරි නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්තයක් පවත්වාගෙන යන චන්දන නානායක්කාර අදහස් දක්වමින් පවසා සිටින්නේ ප්‍රදේශයේ බේකරි කර්මාන්තයද වැසීයෑමේ බරපතළ අවදානමක් පවතින බවත්ය.

බිස්නස් ඉවරයි… එක දිගට කඩ වැහෙන ' නෝ මනී ' වෛරසයක්

‘තිරිඟු පිටි ආශ්‍රිත’ නිෂ්පාදන සම්බන්ධයෙන් කතා කළොත් ඒ ආශ්‍රිත නිෂ්පාදන වැඩියෙන්ම අලෙවි වන්නේ කොළඹ හා ඒ අවට ප්‍රදේශ තුළයි. දෙහිවල කියන්නේ ඒ ප්‍රදේශවලින් එකක්. විශාල ජන ඝණත්වයක් සහිත ප්‍රදේශයක් ලෙස බේකරි නිෂ්පාදන සඳහා කවදත් දෙහිවල හා ඒ අවට හොඳ ඉල්ලුමක් පැවතුණා. ඒ හේතුවෙන් මෑත දශක දෙක තුනක කාලය අතරතුර මේ කර්මාන්තයට විශාල පිරිසක් යොමුවීමේ ප්‍රවණතාවයක් පැවතුණා. නමුත් අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. ප්‍රදේශයක් වශයෙන් ගත්විට මේ ප්‍රදේශය ආශ්‍රිත බේකරි නිෂ්පාදන කර්මාන්තය කඩා වැටීමකට ලක්වෙමින් පවතිනවා. ඒක මතුපිටට පෙනෙන්නේ නැහැ. මොකද අමාරුවෙන් හරි තම තමන්ගේ ව්‍යාපාරික කටයුතු කරගෙන යන පිරිස විසින් පාන් ටික බනිස් ටික කොහොම හරි වෙළෙඳපොළට දාන හින්ද කර්මාන්තයේ ඇත්ත තත්ත්වය මතුපිටට එන්නේ නැහැ. නමුත් විධිමත් සොයාබැලීමක් සිදු කරනවා නම් ඇත්ත නැත්ත හරියටම හොයාගන්න පුළුවන්. වෙනත් ආදායම් මාර්ගයක් සහිත අයෙක් බේකරි කර්මාන්තයේ නිරතව ඉන්නව නම් අමාරුවෙන් හරි ඒ අයට පමණක් මේක තවදුරටත් කරගෙන යන්න පුළුවන්. නමුත් එකම ආදායම් මාර්ගය බේකරි නිෂ්පාදනය පමණක් නම් ඔවුන්ට මේ තියෙන අමුද්‍රව්‍ය මිල ගණන් එක්ක බිස්නස් එක ඉදිරියට කරගෙන යන්න බැහැ. තොග වෙළෙඳපොළ පිහිටි පිටකොටුවට විනාඩි කීපයක් ඇතුළත ගිහින් බඩු ටික ගේන්න පුළුවන්කම තිබෙන දෙහිවල හා ඒ අවට බේකරි නිෂ්පාදකයන්ගේ අද දවස මෙහෙම නම් මේ තත්ත්වය ඉදිරියේදී මුළු රටටම බලපානවා. ඒක කාටවත් නවත්වන්න බැහැ. බේකරි නිෂ්පාදන ආශ්‍රිත අමුද්‍රව්‍ය මිල ගණන් පහත දැම්මොත් මිසක මේකට වෙන විසඳුමක් පේනතෙක් මානයකවත් නැහැ.

එම අදහස් දැක්වීමෙන් අනතුරුව හෙට රට මුහුණදීමට නියමිත අනතුර පිළිබඳව දෙහිවල මුල්කර ගනිමින් අදහස් දක්වා සිටියේ දෙහිවල එක්සත් වෙළෙඳ කර්මාන්ත සංගමයේ සම ලේකම් ධම්මික කොඩිතුවක්කු විසින්ය. ඔහු අවධාරණය කර සිටින්නේ කලක් මෙරට ප්‍රධාන නගරයක්ව පැවති දෙහිවල නගරය ක්‍රමයෙන් අවප්‍රමාණය වීම ආරම්භ වන්නේ හේතු කීපයක් මුල්කර ගනිමින් බවය. ලොකු වාණිජ වටිනාකමක් තිබුණු නගරයක් ලෙස කාලයක් තිස්සේ දෙහිවල ප්‍රසිද්ධියට පත්වෙලා තිබුණා. නමුත් අද ඒ තත්ත්වයේ වෙනසක් දකින්න ලැබෙනවා. ව්‍යාපාර කඩාගෙන වැටෙනවා. දෙහිවලට එහෙම නරක කල දවසක් උදාවෙද්දී තමයි රටේ ආර්ථික අර්බුදයක් හටගන්නේ. ඒක දෙහිවලට පමණක් නොවෙයි මුළු රටේම දකින්න ලැබෙන තත්ත්වයක්. නමුත් නගරයක් ලෙස දෙහිවලට ඒ අර්බුදය තදින් දැනෙන්න ගන්නව. ඒකට එක හේතුවක් තමයි අවිධිමත් නගර සංවර්ධනය. නගරයක් සංවර්ධනය කරන එක හොඳයි. නමුත් දෙහිවල සම්බන්ධයෙන් ඒ හොඳ දෙය මෙතෙක් සිද්ධ වුණේ නැහැ. ගුවන් පාලමක් ඉදිකළා. නමුත් කලින් සැලසුම් කරපු ආකාරයට එය සිද්ධ වුණේ නැහැ. නගරයේ වාහන තදබදය අවම කරන්න ගුවන් පාලමක් ඉදිකිරීම තුළ අන්තිමට සිද්ධවුණේ එදාටත් වඩා අධික වාහන තදබදක් හට ගැනීම පමණයි. නගරයක් වශයෙන් ගත්තොත් බස් නැවතුම් පොළක් නැහැ. ත්‍රිවිල් රථ ගාලක් නැහැ. එපමණක් නොවෙයි ප්‍රසිද්ධ වැසිකිළි පද්ධතියක්වත් නැති නරගයක් තමයි දෙහිවල කියන්නේ. බඩුවක් මුට්ටුවක්
ගන්න එන පාරිභෝගිකයන්ට තමන්ගේ වාහනයවත් නතරකර තබන්න තැනක් නැහැ. මේව පිළිබඳව ව්‍යාපාරිකයන් වශයෙන් අපි අදාළ ආයතන, පුද්ගලයෝ දැනුවත් කළත් විසඳුමක් නැහැ. මෙන්න මේවත් දෙහිවල නගරයේ කඩසාප්පු වැසී යෑමට ප්‍රබල වශයෙන් බලපෑව. ඊට අමතරව අද තිබෙන විදුලිය, ජල ගාස්තු ගත්විට ව්‍යාපාරික ස්ථානවලින් අය කිරීම අසාමාන්‍ය ලෙස ඉහළ දාල තිබෙනවා. ඒවට හරි විසඳුම් ලබාදෙන්න බලධාරීන් අසමත් වුණොත් දෙහිවල නගරයේ හෙට දවස මීටත් වඩා අඳුරු වෙයි කියල තමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ.

අපගේ කතාබහ පිණිස දීර්ඝ කාලයක් තිස්සේ දෙහිවල නගරය මුල්කර ගනිමින් ව්‍යපාරික කටයුතුවල නිරත තවත් බොහෝ දෙනෙක් එක්වූහ. ඔවුන් සියලුදෙනා අවධාරණය කර සිටියේ පවතින ආර්ථික දුෂ්කරතා මුල්කර ගනිමින් දෙහිවලින් ආරම්භ වී තිබෙන මෙම කඩාවැටීම ඉදිරියේදී රටේ සෑම නගරයක් කරා ලංවීමේ අවදානමක් පවතින බවත් දැනටමත් දෙහිවල නගරයේ කඩ සාප්පු විශාල ප්‍රමාණයක් එහි ගොදුරු බවට පත්වී ඇති බවත්ය. රජයට කිසිදු බරක් නැති සාමාන්‍ය ව්‍යාපාරිකයන් වන ඔවුන්ගේ ගැටලුව වගකිවයුතු පාර්ශ්වයන් විසින් වටහා නොගන්නේ නම් කොළඹට ආසන්නව පිහිටි දෙහිවල නගරය දිනෙන් දින ගරා වැටෙන බවත් වැඩිදුරටත් පෙන්වාදුන් ඔවුන් අවසන් වශයෙන්ද සඳහන් කර සිටින්නේ ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තරවද ප්‍රසිද්ධියට පත් දෙහිවල ජන ජීවිතයට අත්‍යාවශ්‍ය විසඳුම් කඩිනමින් ලබාදීම තුළ පමණක් මෙම ගරාවැටීම නතර කළ හැකි බවය.

රුවන් ජයවර්ධන
ඡායාරූප: ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment