බිස්නස් දිනයක් නොවන ලෝක ළමා දිනය

482

ලෝක ළමා දිනය අදට යෙදී තිබේ. එසේම ලෝක වැඩිහිටි දිනය යෙදෙන්නේ ද අදට ය. වැඩිහිටියකු වන්නේ ළමයා ය. මව්කුසින් බිහි වී ළමයෙකු ලෙස ජීවිතය පටන් ගන්නා මනුෂ්‍යයා වැඩිහිටියකු වූ කල අභාවයට පත් වේ. මෙය සරල රේඛීය තත්ත්වයක් ලෙස ගතහොත් එම රේඛාවේ මුල ළමයාත් අග වැඩිහිටියාත් සිටිනු දැක ගත හැකිය. ළමයා වැඩිහිටියකු වීමෙන් පසු තවදුරටත් මහලු වී අතපය වාරු නැතිව, අසන කියන දෙයක් තේරෙන්නේ නැතිව සිරුරේම මළ මුත්‍ර පහකර ගනිමින් නැවත ළදරුවකු බවට පත් වේ. ඒ නිසා ලෝක ළමා දිනයත්, ලෝක වැඩිහිටි දිනයත් එකිනෙකට සම්බන්ධය. මේ දින දෙකම එක දවසේ යෙදී තිබීම අතිශයින්ම ගැළපේ.

මේ වන විට ලෝකයේ තිබෙන බොහෝ දේවල් උදෙසා දින වෙන් වී ඇත. ලෝක තරුණ දිනය, පෙම්වතුන් සඳහා වූ දිනය, වගා දිනය, අර්තාපල් සඳහා වූ දිනය, ලෝක තිරිඟු දිනය, ලෝක පිළිකා දිනය, ලෝක ක්‍ෂය රෝග දිනය, ලෝක ලාදුරු දිනය යනාදී වශයෙන් අවුරුද්දේ දින 365ටම සෙට්වන පරිදි විවිධ දින ප්‍රකාශයට පත් කර තිබේ. මේ දිනවලින් 75% ක් ම වෙළෙඳාම සඳහා වෙන් වූ දිනයන් ය. උදාහරණයක් වශයෙන් ලෝක පෙම්වතුන්ගේ දිනය යනු විශාල වශයෙන් තෑගි භාණ්ඩ සහ රෝස මල් විකුණන දිනයක්ව තිබේ. මව්වුරුන්ගේ දිනය, පියවරුන්ගේ දිනය යනාදී වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති දවස්වල මහා පරිමාණයෙන් තෑගි භාණ්ඩ සහ සුබපැතුම්පත් අලෙවි කරනු ලැබේ. ලෝක ගුරු දිනය වෙනුවෙන් විවිධ තෑගි ලබා ගැනීමේ අවස්ථාව ගුරුවරුන්ට හිමි ය. ඉහත සඳහන් දිනවලින් බහුතරය අවංක චේතනාවෙන් ප්‍රකාශයට පත්කෙරුණු දින නොවන බව අපගේ පිළිගැනීමය. අප හිතන්නේ මේ සියල්ල බිස්නස් දවස් බවය. එහෙත් ලෝක ළමා දිනය ඉතාම අර්ථාන්විතය. මෙය ප්‍රකාශයට පත් කරනු ලබන්නේ ලෝකය මෙතරම් කුණු වී නැති 1925 අවුරුද්දේ ජිනීවා නුවරදී ය. 1925 ඔක්තෝබර් 01 වැනිදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ළමා සුබසාධනය සඳහා අන්තර්ජාතික සමුළුවක් පවත්වන ලදී. එම දිනය ලෝක ළමා දිනය ලෙස නම් කළ යුතු බවට එදින තීන්දුවක් ගනු ලැබිණ. ඒ අනුව ඇතැම් රටවල් හැම අවුරුද්දකම ඔක්තෝබර් 01 වැනිදා ලෝක ළමා දිනය සමරන්නට පටන් ගත්හ. 1950 දී සෝවියට් සංගමය ලෝක ළමා දිනය යන සංකල්පය පිළිගත් නමුදු ධනවාදී රටවල් සමූහයක් විසින් එක්ව ප්‍රකාශයට පත්කෙරුණු ඔක්තෝබර් පළමුවැනිදා දිනය ලෝක ළමා දිනය ලෙස සැමරීම ප්‍රතික්‍ෂේප කළේය. ඉන් පසුව ඔවුහු ජුනි 01 වැනිදා දිනය ලෝක ළමා දිනය ලෙස ප්‍රකාශයට පත් කළේය. එතැන් සිට සෝවියට් සංගමය යටතේ සහ සෝවියට් සංගමයට හිතවත්ව සිටි රටවල් සියල්ල ම ජුනි 01 වැනිදා දිනය ලෝක ළමා දිනය ලෙස සැමරීමට පටන් ගත්හ. එහෙත් සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු ඒ රටවල් සියල්ල ද ලෝක ළමා දිනය ලෙස ඔක්තෝබර් 01 වැනිදා දිනය සැමරීමට පටන් ගත්හ.

ලෝක ජනතාව තුළ සිටින ළමා සංයුතිය සැලකිය යුතු ප්‍රමාණයක් මහත් සේ දුක් අනුභව කරති. මේ දරුවන් සියලුදෙනා ජීවත්වන්නේ AVARAGE FACILITY ලෙස හැඳින්වෙන සාමාන්‍ය පහසුකම් පවා නොලැබය. ඒ අතර සාමාන්‍ය පහසුකම් නොව, අවම පහසුකම් පවා නොලැබෙන දරුවෝ ලංකාවේ ජීවත් වෙති. මේ දරුවන්ට පහසුකම් දීම සඳහා අවශ්‍ය මිල මුදල් මාපියන් වෙත නැත. එබැවින් මේ දරුවෝ සමාජයේදීත් පාසලේදීත් දුෂ්කරතාවලට ලක්වෙති. ඒ අතර ළමා හිංසනය ද ඉහළ යමින් පවතී. තමන් තම දූ දරුවන්ට පහර දෙන්නේ ඔවුන් හදාවඩා ගැනීම පිණිසත්, ඔවුන්ට ඇති ආදරයත් නිසා බව ඇතැම් මාපියෝ කියති. මෙය ඉතාම මෝඩ කතාවකි. වැඩිහිටියා දරුවෙකුට පහර දෙන්නේ පෙරළා පහරදීමට තරම් ශක්තියක් දරුවා තුළ නැති හෙයිනි. එසේම ආදරයට පහර දෙනවා නම් ආදරය වැඩි වූ විට පිහියෙන් ඇනිය යුතුය. මෙය එක්තරා තර්කයකි. අප කියන්නේ දරුවන්ට ආදරයෙන් සැලකීම ඉමහත් පිංකමක් බවය. ලෝක ළමා දිනයේදී මේ ටික හිතට ගතහොත් ඉතා හොඳ ලෝකයක් නිර්මාණය කිරීමට හැකි වන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment