බි‍්‍රගේඩියර් අරුණ ෆයර් කියනවාත් සමග යුද හමුදා නිලධාරීන් වෙඩිතැබුවා – රතුපස්වල නඩුව

779

උද්ඝෝෂණයේ යෙදී සිටි පිරිස අසලට යුද හමුදා කණ්ඩායමක් සමඟ පැමිණි බි‍්‍රගේඩියර් අරුණ දේශප‍්‍රිය ගුණවර්ධන ‘ෆයර්’ කියලා අණකළා. එවිට යුද හමුදා නිළධාරීන් වෙඩි තිබ්බා යැයි පිරිසිදු පානීය ජලය ඉල්ලා රතුපස්වල අවට ජනයා වැලිවේරිය නගරයේදී සිදුකළ උද්ඝෝෂණයට යුද හමුදාව පහරදී වෙඩිතබා තිදෙනකු මියගොස් තවත් පිරිසක් බරපතළ තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැති නඩුවිභාගයේදී සාක්ෂි දෙමින් යාපා අප්පුහාමිලාගේ රොමේස් සංජීව (අවු.36) මහතා එසේ පැවසීය.

මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතාගේ සභාපතිත්වයෙන් නිශාන්ත හපුආරච්චි සහ සහන් මාපා බණ්ඩාර යන ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ ගම්පහ මහාධිකරණයේදී ඉකුත් 13 වෙනිදා එම නඩුව නැවතත් විභාගයට ගැනුණි.

පිරිසිදු පානීය ජලය ඉල්ලා ගම්පහ රතුපස්වල අවට ජනයා වැලිවේරිය නගරයේ 2013 වර්ෂයේ අගෝස්තු මස 01 වෙනිදා හෝ ඊට ආසන්න දිනයකදී සිදුකළ උද්ඝෝෂණයේදී උද්ඝෝෂණකරුවන්ට වෙඩිතබා සහ පහරදී තිදෙනකු ඝාතනය කිරීම, මිනීමැරීමට තැත් කිරීම් ඇතුළු අධි චෝදනා 94ක් යටතේ යුද හමුදාවේ හිිටපු බි‍්‍රගේඩියර් අරුණ දේශප‍්‍රිය ගුණවර්ධන, හිටපු මාණ්ඩලික සැරයන් ඩිංගිරි අරුණගේ සිිරිසේන, හිටපු සැරයන් ලලිත් ගේ‍්‍ර සහ කෝප‍්‍රප් ජේ. එම්. තිලකරත්න යන විත්තිකරුවන් සිව්දෙනාට විරුද්ධව නීතිපති විසින් ගම්පහ මහාධිකරණය හමුවේ අධි චෝදනා 94ක් ගොනුකර තිබේ.

හංස අබයරත්න සහ පද්මලාල් වීරසිංහ ද සිල්වා යන රජයේ අධිනීතිඥ මහත්වරු දෙදෙනා සමග ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ වසන්ත පෙරේරා මහතා පැමිණිල්ල මෙහෙයවූහ.

මෙහිදී වයි. ඒ. රොමේස් සංජීව යන සාක්ෂිකරු මෙසේද පැවසීය.

රතුපස්වල වතුර ගැටලූව සම්බන්ධයෙන් වැලිවේරිය නගරයේ පැවැති උද්ඝෝෂණයට මමත් සහභාගි වුණා. මා වැලිවේරිය නගර මධ්‍යයේ පදිංචිවී ඉන්නේ. එදින උදේ 10ට පමණ උද්ඝෝෂණයට සහය දැක්වීමට මා ගියා. බැලූම්මහර හංදියේ ජල ගැටලූව මුල්කරගෙන උද්ඝෝෂණයක් එදින තිබුණා. බැලූම්මහර උද්ඝෝෂණකරුවන්ට හමුදාවෙන් පහරදීලා කියලා ආරංචි වුණා. මේ පහරදීමේ ආරංචිය සමග ගම්වල පිරිස වැලිවේරිය නගරයට ආවා. හවස් වනවිට විශාල පිරිසක් හිටියා. වතුරවලට සාධාරණයක් කරන්න කියලා උද්ඝෝෂණයේ යෙදී සිටි පිරිස කෑගසමින් සිටියා. පොලිස් නිලධාරීන්ද තැන තැන සිටියා. සවස 05ත් 06ත් අතර කාලයේදී හමුදා පිරිසක් සමඟ නිලධාරියෙකු උද්ඝෝෂණකරුවන් අසලට පැමිණියා. මම යුද හමුදා බි‍්‍රගේඩියර් අරුණ දේශප‍්‍රිය ගුණවර්ධන කියා එයා හඳුන්වා දුන්නා. නගර මධ්‍යයේ ගසා තිබුණු ටෙන්ට් එක ගලවාගෙන එතැනින් ඉවත් වෙන්න කියා බි‍්‍රගේඩියර් අරුණ දේශප‍්‍රිය කිව්වා. එතන හිටපු හාමුදුරුවෝ පැය කාලක් ඉල්ලා සිටියා.

ජේ. ර. නීතිඥ වසන්ත පෙරේරා මහතා: බි‍්‍රගේඩියර්වරයාව දැක්කොත් හඳුනාගන්න පුළුවන්ද?

සාක්ෂිකරු – පුළුවන්. විත්තිකූඩුවේ පළමුවැනියාට ඉන්න කෙනා. (හඳුනාගනී)

සාක්ෂිකරු නැවතත් සාක්ෂි දෙමින්: බි‍්‍රගේඩියර් නිල ඇඳුමින් සිටියේ. එයා වටේට අවි අතැතිව නිලඇඳුම් ඇඳ සිටි යුද හමුදා නිලධාරීන් පිරිසක් හිටියා. බි‍්‍රගේඩියර් ‘ෆයර්’ කිව්ව ගමන් හමුදා නිලධාරීන් උඩට වෙඩි තිබ්බා. විදුලි රැුහැන්වලට වෙඩි වැදිලා ඒවා කඩා වැටුණා. මිනිස්සු සී සී කඩ දිව්වා. හමුදාව හැම පැත්තෙන්ම වෙඩි තියනවා. මගේ නිවස නගරය මැද්දේ තියෙන්නේ. මම අසල කඩයකට දිව්වා. පැය 02ක් පමණ කඩය තුළ සැඟවිලා හිටියා. පැය 02කින් පමණ වෙඩි හඬ නැතිව ගියා. මම කඩෙන් එළියට ඇවිත් ගෙදර ගියා. පසුදා උදේ පාන් ගන්න කඬේට ආවා. හමුදාවේ අය ජල බව්සර් දාලා පාරේ තිබුණ ලේ පැල්ලම් හෝදමින් සිටියා. තවත් යුද හමුදා නිලධාරීන් පිරිසක් හිස් පතරොම් කොපු අහුලමින් සිටියා. වැලිවේරිය නගරය උදේ හුදෙකලා වෙලා තිබුණේ යැයි ඔහු පැවසීය.

පළමු විත්තිකාර බි‍්‍රගේඩියර් වෙනුවෙන් පෙනීසිටින ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා සාක්ෂිකරුවන්ගෙන් හරස් ප‍්‍රශ්න ඇසීය.

ජ. නීතිඥ: පළමු විත්තිකරු උද්ඝෝෂණකරුවන්ට ඉවත්වෙන්න කිව්වද?

සාක්ෂිකරු – ඔව්

ජ. නීතිඥ – කාලයක් ඉල්ලපුවහම දෙන්න බැහැ කිව්වද?

සාක්ෂිකරු -ඔව්.

ජ. නීතිඥ- කාලයක් ඉල්ලපුවහම දේන බැහැ කියපු කතාව බොරු.?

සාක්ෂිකරු – පළමු විත්තිකරු එහෙම කිව්වා.

ජනාධිපති නීතිඥ මහතා සාක්ෂිකරුගෙන් තව හරස් ප‍්‍රශ්න ඇසීය. ඊට පිළිතුරු දීමෙන් අනතුරුව එම සාක්ෂිකරුගේ සාක්ෂිය අවසන් කෙරිණි.

එම සාක්ෂියෙන් අනතුරුව නඩු විභාගයේදී ජූඞ් නිශාන්ත පෙරේරා (අවු: 54) සාක්ෂි දෙමින් යුද හමුදාව උද්ඝෝෂණකරුවන්ට වෙඩි තැබීම පහර දීමට අමතරව ජල බව්සර් උපයෝගි කරගෙන ජලය විදීම සහ දුම් බෝම්බ ගැසූ බව ද පැවසීය.

වැලිවේරිය පල්ලියවත්තේ පදිංචි කැලූම් ප‍්‍රියනන්දන සාක්ෂි දෙමින්-

රැකියාව නිමවී මා නිවසට පයින් යමින් සිටියදී වැලිවේරිය සෙලාන් බැංකුව අසලදී යුද හමුදාව තමන්ටද වෙඩි තැබූ බව පැවසීය. සාක්ෂි අවසන් කෙරිණි.

2013 වර්ෂයේ අගෝස්තු මස 01 දින හෝ ඊට ආසන්න දිනකදී පිරිසිදු ජලය ඉල්ලා රතුපස්වල අවට ජනයා වැලිවේරිය නගරයේ සිදුකළ උද්ඝෝෂණයේ උද්ඝෝෂණකරුවන්ට වෙඩි තැබීමෙන් එච්. ආර්. රවිසාන් පෙරේරා සහ කේ. ඒ. ඞී. අකිල දිනේෂ් මියගොස් තිබුණි. පහරකෑමට ලක්ව පී. ආර්. නිලන්ත කුමාර යන අය මියගොස් තිබුණි.

මාර්තු මස 16 වැනිදාට නඩුව නැවත විභාගයට ගැනීමට නියම විය. තවත් සාක්ෂිකරුවන් 06 දෙනෙකුට මාර්තු 16 වෙනිදාට මහාධිකරණය හමුවේ පෙනීසිටින ලෙසට සිතාසි නිකුත් කෙරිණි. මහාධිකරණය හමුවේ පෙනීසිටි විත්තිකරුවන් සිව් දෙනාට මාර්තු 16 වැනිදාට නැවත මහාධිකරණයේ පෙනීසිටින ලෙසට නියම විය.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment