බීජ හිඟයකට විසඳුම් සෙවීම පහසු නැහැ

587

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ සේවයේ ප‍්‍රධානී, අතිරේක අධ්‍යක්ෂ
 ආචාර්ය ලක්මිණි ප‍්‍රියන්තා


 සල්ලි තිබුණා කියලා වෙනත් කෘෂිකාර්මික යෙදවුමක් ගෙනෙනවා වගේ බීජ ගෙනෙන්න බෑ. ඇතැම් බීජ මිලදී ගන්නාවිට වසර දෙකකට පමණ කලින් ඇනවුම් කරන්න ඕනෑ. ඒගොල්ල හදල තමයි අපිට එවන්නේ. සමහර බීජ වසරේ හදන්නේ එක කාලයකට විතරයි. අනෙක් කාලවල ඒ ගස්වල මල් පිපෙන්නේවත් නෑ. අනිත් එක ගෙනන කුමන බීජයක් වුණත් අපේ පරිසරයට ගැළපෙනවාද, ප‍්‍රතික‍්‍රියාව කොහොමද යනාදිය බලන්න ඕනෑ. ඒකටත් කාලයක් යනවා. ඒ නිසා අජීවී යෙදවුමක ප‍්‍රශ්නයක්  නිමාකරන විධියට බීජ හිඟයකට  විසඳුම් හොයන්න බැරිවෙයි.

බීජ හිඟයකට විසඳුම් සෙවීම පහසු නැහැ

ගොවියාට තම වගා කටයුතු සඳහා අවශ්‍ය යෙදවුම් අතර තිබෙන දෙයක් තමයි බීජ. අන් යෙදවුම් වලට සාපේක්ෂව බීජයට යම් වැදගත්කමක් ඔබ දකිනවාද?

 යෙදවුම් අතර තියෙනවා ජලය, හිරුඑළිය පාංශු පෝෂක වගේ දේවල්. බීජ කියන්නෙත් එක යෙදවුමක්. ඒ විතරක් නෙවෙයි මෙය තමයි එකම ජීවී යෙදවුම. අනිත් සියල්ල අජීවී දේවල්. ඒ වගේම බීජය හරහා තමයි යම්කිසි වගාවකට හෝ ගොවියාගේ මනාපය පරිදි අස්වැන්නේ ගති ලක්ෂණ රැගෙන එන්නේ. ඒ කියන්නේ ප‍්‍රභේදයේ ලක්ෂණ. අනික් යෙදවුම් ශාකය ජීවත් කරවනවා පමණයි. වෙනත් යෙදවුම් පරිහරණයේ කාර්යක්ෂමතාව පවා බීජය තුළ ලියවී ඇති තොරතුරු මගිනුයි නිර්ණය කරන්නේ. ඒ නිසා මෙය තමයි ගොවිතැනේ වඩාත්ම වැදගත් යෙදවුම.

බීජ හිඟයකට විසඳුම් සෙවීම පහසු නැහැ


බිත්තර වී සැපයීම අතින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හොඳ තැනක ඉන්න බව පෙනෙනවා. එළවළු බීජ හා අතිරේක බෝග වලටත් දෙපාර්තමේන්තුව එවැනිම ජවයකින් ක‍්‍රියාත්මක වෙනවාද?

 වී ගොවිතැන ගැන විවාදයක් නැති බවයි ඔබ කියන්නේ. අතිරේක බෝග සම්බන්ධයෙනුත් කාර්යක්ෂම සැපයීම් යාන්ත‍්‍රණයක් අපිට තිබෙනවා. හැබැයි මෙතනදී පොඩි වෙනසක් ගැන කිව යුතුයි. දැන් හොඳට ජලය තිබෙන සුවදායක කාලයකදී කුඹුරු හිමියන් වැඩි දෙනෙක් වී තමයි වවන්නේ. එතකොට අතිරේක බෝගවල බීජ පසුපස ඔවුන් යන්නේ නෑ. ඒ නිසා අපේ නිෂ්පාදනයත් ඉතුරු වෙනවා. නමුත් ජලය හිඟ තත්ත්වයක් ආව කියමුකෝ. කුඹුරුවලත් අතිරේක බෝග හදනවා. එතකොට හදිසියේ බීජ ඉල්ලූමක් එනවා. අපි සතුව තිබෙන තොග ඉක්මනට ඉවර වෙලා බීජ හිඟයක් ඇතිවෙනවා. එය බාහිරයට පෙනෙන්නේ අපි වගකීම ඉටුකෙරුවේ නැති විධියට. එළවළුවල තියෙන්නෙත් ඔවැනිම තත්ත්වයක්. දේශීයව නිර්දේශිත ප‍්‍රභේදයන්ගේ බීජ අපි හදනවා. එත් යම් හේතු මත ගොවියා ආනයනික බීජ වෙතට ඇදී යනවා. එතකොට ඉල්ලූම යන්නේ ඒ පැත්තට. සමාජයට පෙනෙන්නේ දේශීය බීජ හොඳ නැති හැටියටයි.

 ඇයි එළවළු ගොවියා පෞද්ගලික අංශය ගෙනෙන ප‍්‍රභේද පසුපසම යන්නේ ? බඩඉරිඟු වැනි දේ සම්බන්ධයෙනුත් එහෙමමයි. ඒකට හේතුව එම ප‍්‍රභේද ගැන තියෙන කැමැත්තද? එහෙම නම් රාජ්‍ය අංශයට බැරි ඇයි ගොවීන් කැමති බීජ හදලා ඉල්ලූම දේශීය ප‍්‍රභේද වෙතට හරවා ගන්න?

 මේ පිළිතුරේ පැති දෙකක් තිබෙනවා. එකක් තමයි සමහර බීජ වර්ග අපිට හදන්නම බෑ. උදාහරණයක් හැටියට බොහොමයක් උඩරට එළවළු වර්ග. කැරට්, බීට්, ලීක්ස්, ගෝවා වගේ දේවල්. ඉතින් ඒවා ආනයනය කරන්නම වෙනවා. අනෙක් පැත්ත වශයෙන් අපිට හදන්න පුළුවන් ඒවා ගනිමුකෝ. අපි බීජ හදන්නේ ශාක අභිජනකයන් විසින් බිහිකළ නිර්දේශිත බෝග ප‍්‍රභේදයන්ගේ බීජ. මේ බෝග ප‍්‍රභේද නිපදවන්නේ මෙරට තිබෙන ජෛව විවිධත්වය එකිනෙක කලවම් කරලා. ඉතින් යම්කිසි බෝගයක් සම්බන්ධයෙන් වෙන රටවල වගේ නෙවෙයි අපිට තිබෙන ජෛව විවිධත්වය සීමිතයි. ඒ ටික සමගනේ වැඩකරන්න වෙන්නේ. ඒ නිසා නිපදවෙන ප‍්‍රභේද අතරත් ලොකු විවිධත්වයක් නෑ. වෙන රටවල එහෙම නෙවෙයි. විවිධත්වය විශාලයි, ඒ නිසා නිරන්තරයෙන් නව ගති ලක්ෂණ සුසංයෝගයන් සහිතව අමුතු අමුතු ප‍්‍රභේද වෙළඳපොළට එනවා. බලන්නකෝ වෙළඳපොළේ තිබෙන ආනයනික එළවළු ප‍්‍රභේදවල විසිතුරු බව. අපිට එවැනි පුළුල් පරාසයක් බිහිකරන්න ප‍්‍රමාණවත් විවිධත්ව පදනමක් නෑ. ඒ නිසා සීමාසහිත ලක්ෂණ මිශ‍්‍රණයක් තමයි දේශීය ප‍්‍රභේද සමග ගැවසෙන්නේ. ආනයනය සීමා කෙරුවොත් ගොවියා වැඩිපුර අපේ ප‍්‍රභේද දෙස බලාවි වෙනත් විකල්පයක් නැති නිසා.

 පිටරටින් ගෙනත් අපේ පසට මුසුකරන ද්‍රව්‍යවල ගුණාත්මය නොහොත් ප‍්‍රමිතිය ගැන පසුගියදා ලොකුවට කතා වුණා. බීජ කියන්නෙත් එවැනිම දෙයක්. බීජ සමග සේනා දළඹුවා ආවා කියලත් ඒ කාලේ ඇතැමුන් චෝදනා කෙරුවා. විදේශ බීජයක් ගොවිබිමට නිදහස් වීමට කලිනුත් යම් ආරක්ෂක පියවර ගන්නවාද?

 අනිවාර්යයෙන්ම. අමතක කරන්න එපා ශ‍්‍රී ලංකාව කියන්නේ ¥පතක් බව. අපි සාගරයෙන් වටවෙලා ඉන්නේ. අපිට වඩා විශාල ඔස්ටේ‍්‍රලියාව පවා මහාද්වීපයක් වුණත් සාගරයෙන් වටවී තිබීමේ වාසිය ගන්නවා. ඔවුන් තම රටට යමක් ගෙන ඒමේදී දැඩිව අනුගමනය කරනවා නිරෝධායන නීති. ඒ හරහා ඔවුන් ආරක්ෂා වෙනවා. වෙනත් රටවල් සමග ගොඩබිම හරහා සම්බන්ධ රටවලට මේ වාසිය නෑ. සතුන් මගින්, සුළෙඟ් පාවෙලා එහෙම රටකින් රටකට වල්පැලෑටි බීජ, පළිබෝධකයින් එහෙම එන්න පුළුවන්. ඉතින් අප සතු එම ස්වභාවික ආරක්ෂාවට අමතරව අපි ශාක ද්‍රව්‍යයක් රැුගෙන එන කෙනාගෙන් ශාක ආරක්ෂණ සහතිකය ඉල්ලනවා. එය අදාළ රටේ සිට රැුගෙන ආ යුතුයි. ඊට අමතරව අන්තර්ජාතික බීජ පරීක්ෂණ සංගමය මගින් මේ බීජ තොගයේ හානිකර වල්පැළෑටි නැතිබව කිව යුතුයි. අලූත්ම බීජ වර්ගයක් නම් මීට අමතරව අපි පර්යේෂණ මට්ටමට පවා ගිහිල්ලා රෝගවලට පාත‍්‍රීතාවය පවා බලනවා. බීජ සමග සේනා දළඹුවා ආවා කියලා ඇතැමුන් ඒ කාලේ කියපු කතාවල තේරුමක් නැතිබව දැන් සමාජයට තේරිලා ඉවරයි. ඒ විහිළු කතා ගැන කතා නොකර ඉඳිමු.

 දේශීය ප‍්‍රභේද සමග දේශීය බීජ සංරක්ෂණය කිරීම සඳහා මොකක්ද රටේ තිබෙන වැඩපිළිවෙළ?

 ගන්නෝරුවේ පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේ සංචිත තුළ වගාදර්ශ 16500 ක් පමණ ගබඩා කර තිබෙනවා. ගොවීන් සතුවත් ප‍්‍රජා බීජ බැංකු තිබෙනවා. ඔවුන් පළාතේ වැඩිපුර වවන ප‍්‍රභේදයන්හි සංචිතයක් නඩත්තු කරන අතර වාරයේ අවශ්‍යතාව අනුව අපෙනුත් සාම්පල ඉල්ලාගෙන ගුණනය කරනවා.

 ගොවි ජනතාව අතරත් ඒ කියන්නේ දෙපාර්තමේන්තුව කතාකරන විධියේ ගුණාත්මක බීජ තිබෙනවාද ?

 නිවැරදි ක‍්‍රමයට බීජ සාදා ගැනීමට දැන් ගොවි ජනතාව දන්නවා. අපි පුහුණු වැඩසටහන් පවා පවත්වනවා. ප‍්‍රභේදයක් කලවම් නොවන විධියට නියම දුරකින් හුදකලා කරගෙන, වගාවේ හොඳම ගස්වලින් විතරක් බීජ අරගෙන වැඬේ කරන්න ඔවුන්ට පුළුවන්. ඒ විතරක් නෙවෙයි තමා සතු වගා දර්ශයේ ගති ලක්ෂණ නිවැරදිව සඳහන් කරලා, අපේ අනුමැතිය මත ලේබලයක් ගහලා අලෙවි කරන්නත් ක‍්‍රමවේද සකසා තිබෙනවා.

 පොහොර හිඟයක් ආවත් සල්ලි තිබේනම්, තිබෙන රටකින් ගෙනත් හෝ ඉතා ටික කාලයකින් එම ප‍්‍රශ්නය විසඳන්න පුළුවන්. බීජ නැති වුණොත් හදිස්සියට එහෙම කරන්න බැරිබව ඇතැමුන් කියනවා. ඔබත් එකඟද?

 සියයට සීයක් එකඟයි. සල්ලි තිබුණා කියලා වෙනත් කෘෂිකාර්මික යෙදවුමක් ගෙනෙනවා වගේ බීජ ගෙනෙන්න බෑ. කලින් කිව්වානේ මේ තමයි වැදගත්ම එමෙන්ම එකම ජීවී යෙදවුම. ඇතැම් බීජ මිලදී ගන්නාවිට වසර දෙකකට පමණ කලින් ඇනවුම් කරන්න ඕනෑ. ඒගොල්ල හදල තමයි අපිට එවන්නේ. සමහර බීජ වසරේ හදන්නේ එක කාලයකට විතරයි. අනෙක් කාලවල ඒ ගස්වල මල් පිපෙන්නේවත් නෑ. අනිත් එක ගෙනන කුමන බීජයක් වුණත් අපේ පරිසරයට ගැළපෙනවාද, ප‍්‍රතික‍්‍රියාව කොහොමද යනාදිය බලන්න ඕනෑ. ඒකටත් කාලයක් යනවා. ඒ නිසා අජීවී යෙදවුමක ප‍්‍රශ්නයක් නිමාකරන විධියට බීජ හිඟයකට විසඳුම් හොයන්න බැරිවෙයි.

 ඔබගේ කරුණු අනුව මට නම් තේරෙන්නේ ආහාර සුරක්ෂිතතාවයට ඉදිරියෙනුයි බීජ සුරක්ෂිතතාව තියෙන්නේ ? ඒ වගේම පසුගිය කාලේ රටේ පොහොර හිඟයක් තිබුණා. අස්වැන්නට එය බලපෑ බව කියවෙනවා. බීජයේ ගුණාත්මයටත් එය බලපෑවා විය හැකිද?

 අනිවාර්යයෙන්ම ආහාර සුරක්ෂිතතාවයට ඉදිරියෙනුයි බීජ සුරක්ෂිතතාව තියෙන්නේ. පොහොර හිඟය අස්වැන්නට බලපෑම ගැන මම විද්‍යානුකූල උත්තරයක් දෙන්නම්. වගාවට පොහොර ප‍්‍රශ්නය බලපෑ බව තවම විද්‍යානුකූලව ඔප්පුකරලා නෑනේ. එහෙම වුණානම් එය බීජවල ගුණාත්මයටත් බලපානවා. ඒක ඕනෑම කෙනෙකුට තේරෙන සරල කතාවක්නේ. බීජ හැදුනේ මන්දපෝෂණය තිබෙන ගහක නම් ඒ බීජ හොඳට හැදෙන්නේ නෑනේ. එතකොට ඒවා නිසි කාලයක් ගබඩා කරන්න බැරිවෙනවා. මගදී මියයාවී. බීජ ප‍්‍රරෝහණය වුණත්, ළපටි පැළයේ පෝෂණ අවශ්‍යතා සපුරාගන්න බැරිව උපදින දරු පරපුර දුර්වල වේවි. බීජ හදනකොට ගෙඩි හෝ කරල් ඉදෙන තුරු වගාව හොඳ තත්ත්වයෙන් පවත්වාගන්න වෙනවා. දෙපාර්තමේන්තුව පොහොර නිර්දේශ හදලා තියෙන්නේ අස්වැන්න වශයෙන් මගදී කඩාගෙන විකුණලා වගාව අවසන් කරනවා කියන උපකල්පනය මත. ඒත් බීජ හදනකොට තව ටිකක් කල් ශාක ජීවත් කරවිය යුතුයි. එහෙනම් නිර්දේශයෙන් එහාට තවත් පෝෂණය ලබාදිය යුතුයි. පාරිභෝජන අස්වන්නටත් පෝෂණය මදිවුණා කියල කවුරු හරි කියනවනම්, අනිවාර්යයෙන්ම ඊට වඩා වැඩි බලපෑමක් බීජ ගුණාත්මයට සිදුවිය යුතුයි විද්‍යාත්මක මූලධර්ම වලට අනුව.

 කතාවක් තියෙනවා ගෙවතුවල වවන්න ඕනෑ අපේ සාම්ප‍්‍රදායික ප‍්‍රභේද කියලා. හයිබි‍්‍රඞ් ප‍්‍රභේද අපේ ගෙවතුවලට අකැපද?

 හයිබි‍්‍රඞ් ප‍්‍රභේද හදලා තියෙන්නේ බොහෝවිට වැඩි අස්වැන්න අරමුණු කරගෙන. ඉතින් ඒ නිසා ඒවාට වැඩි පෝෂණයක් වුවමනායි. ගෙවත්තේ වගාවලට අපි බහුලව පොහොර දමමින් නෙවෙයිනේ නඩත්තු කරන්නේ. එතකොට හයිබි‍්‍රඞ්වලට තමන්ගේ කුසලතාව පෙන්නන්න බෑ. රළු පරිසරයන්හි හැදෙන දේශීය ප‍්‍රභේද වලට තමයි ගෙවත්ත හොඳට ගැළපෙන්නේ. ඒ නිසා වෙන්න ඇති ඔයවැනි කතාවක් හැදිලා තියෙන්නේ. ඒත් හොඳ සරු පසක් තියෙන ගෙවත්තක, සඳළුතලයක තිබෙන පොහොර දමමින් වවන බඳුනක, හයිබි‍්‍රඞ් හදනවා නම් වාසි වැඩියි. අස්වැන්න වැඩිපුර ලැබෙනවානේ. ඒ මිසක් ගෙවතු වලට හයිබි‍්‍රඞ් අකැප නෑ.

 ඔය හයිබි‍්‍රඞ් ප‍්‍රභේද හදන්නේ ජාන වෙනස්කම් කරලාද? ඒවා ශරීරයට අගුණද? මේවා සමාජයේ කතාවෙන කරුණු

 මේවා කිසිදු විද්‍යාත්මක පදනමක් නැති ප‍්‍රබන්ධ කතා පමණයි. මේ ගැන කතාකළ යුත්තේත් මම නෙවෙයි. ශාක අභිජනනය පිළිබඳ විද්වතෙක්. මාධ්‍යයටත් වගකීමක් තිබෙනවා කවුරුන් හෝ රටේ කෘෂිකර්මාන්තයට බලපාන ප‍්‍රකාශයක් කොතැනක හෝ කළවිට එයට ප‍්‍රසිද්ධියක් දීමට කලින් ප‍්‍රකාශය කළ තැනැත්තා ඊට සුදුසු විෂයානුබද්ධ දැනීමක් තිබෙන කෙනෙක්ද කියලා බැලීමට. එහෙම බලලා ප‍්‍රසිද්ධ කෙරුවත් වරදින තැන් තිබෙනවා. ඕනෑම කෙනෙකුට අතපසුවීම්, වැරදීම් වෙන්න පුළුවන්නේ. නමුත් ලොකු හානියක් වෙන්නේ විෂයානුබද්ධ නොවන කෙනෙක්ගේ ප‍්‍රකාශයක් ජනගත කිරීමේදී.

 සාකච්ඡා කලේ:
 සනත් එම්. බණ්ඩාර,
 සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය

advertistmentadvertistment
advertistmentadvertistment