බුත්තල – කතරගම මාර්ගයට අලි මදිවට කොටිත් ඇවිල්ලා

936

කරදර දෙකක් එක විට පැමිණෙන විටදී අප විසින් අලි මදිවට කොටි යනුවෙන් පවසන වදනක් අප අතර පවතී.

මෙම වචනය සැබෑ කරමින් දෛනිකව බුත්තල කතරගම මාර්ගයේ ගමන් ගන්නා රථවාහන රියැදුරන් තවත් අකරතැබ්බයකට ලක්වෙමින් පවතී.

ඒ රාති‍්‍ර කාලයේ දී බුත්තල කතරගම මාර්ගයේ සැරිසරන කොටි දෙදෙනකු මුල් කරගෙනය. දිවා කාලයේ දී අලි 06 දෙනකු සහ එක් ඇතෙකු මාර්ගයේ සිටිමින් යන එන වාහන නවතා කෑම බලහත්කාරයෙන් ලබා ගන්නා අතර ඇතැම් වාහන වලට පහර දෙමින් අලාභ හානිද සිදු කිරීම මේ වනවිට වැඩි වී පවතී. මෙයට අමතරව රාත‍්‍රී කාලයේ දී දිවියන් (කොටි) දෙදෙනකු ගල්ගේ මාර්ගය ආසන්නයේ සිටිමින් වාහන වෙත කඩාපැන, වාහනවලට යෑමට නොහැකි ලෙස මාර්ගයේ ඇවිද යමින් සිටීම නිසා ජනයා බියට පත්ව සිටී.

විවිධ වූ රාජකාරි කර යතුරුපැදි මතින් යන එන පුද්ගලයන් කීපදෙනකු වෙත මෙම දිවියන් රාත‍්‍රී කාලයේ දී පැන ඇති අතර ඔවුහු අනූ නවයෙන් බේරී ඇත.

මුවන්, මී ගවයන් වැඩි ප‍්‍රමාණයක් මෙම ප‍්‍රදේශයේ සැරිසැරීමත්, ඇතැම් මාලු විකුණන යතුරුපැදිකරුවන් ඉතිරි වන මාළු වනයට මුදාහැරීමත් නිසා දිවියන්ගේ සැරිසැරීම මෙම ප‍්‍රදේශයේ වැඩිවී ඇත.

මේ වනවිටත් මෙම මාර්ගයේ සිටින ඇතා විසින් දිනපතා රථවාහන වෙත පහරදෙන බැවින් යන එන පිරිස් දැඩි කල්පනාකාරීව යන එන ලෙස වනජීවී නිලධාරින්ද දැනුම් දෙති.

කතරගම – සන්දිම දේවපි‍්‍රය

advertistmentadvertistment
advertistmentadvertistment