බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදීම රජයේ වගකීමයි – ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමි

107

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන පරිදි බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදීම රජයේ වගකීම බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී, ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

දළදා වහන්සේ වැනි ලෝකවාසී බෞද්ධ ජනතාවගේ නොමද ගෞරවයට පාත්‍ර වූ ශුද්ධ වූ වස්තුවක් මුල් කරගෙන ව්‍යාජ තොරතුරු සමාජගත කරමින් ජනතාව නොමග යැවීමට හා කුපිත කරන්නට කවුරුන් හෝ උත්සාහ කරන්නේ නම් ඔවුන්ට එරෙහිය නීතිය ක්‍රියාත්මක කිරීම රජයේ වගකීම බවත් උන්වහන්සේ කීහ.

ව්‍යාජ දළදා මාලිගාව සම්බන්ධවත් සමාජ මාධ්‍ය ඔස්සේ දළදා වහන්සේට අපහාස කළ පුද්ගලයාට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කරන ලෙස මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සහ දියවඩන නිළමේතුමන් ජනපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබෙන බව ද ඒ සම්බන්ධයෙන් රජය මේ වනවිට නීතිමය ක්‍රියාමාර්ග කඩිනමින් ගෙන තිබෙන බව ද උන්වහන්සේ පැවසූහ.

අතීතයේ පටන් රාජ්‍යත්වයේ සංකේතය ලෙසින් ගෞරවාදරයට පාත්‍රව වර්තමානයේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වැඩවාසය කරන ශ්‍රී දළදා වහන්සේ මුල් කරගනිමින් විවිධ වංචනිකයන් සිදු කරන ප්‍රෝඩාවන්ට නොරැවටෙන ලෙස බෞද්ධ ජනතාවට දැනුම් දෙන බව ධම්මානන්ද නාහිමියෝ ප්‍රකාශ කළහ.
සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment