බුද්ධාභිවාදනය

118

මහා කවි රබින්ද්‍රනාත් තාගෝර් ලියූ ලිපියක අනුවාදයකි

මාතර ජස්ටින් විජයවර්ධන

අද ලෝකය වෛරයෙන් හා ක්‍රෝධයෙන් වියරු වැටී තිබේ. නොනවත්වා පැවැත්වෙන භේද ඝට්ඨනයෝ භයානකය.

එහි සියලු මාර්ග ඇදව පවතී. ලෝභ ජාලයෙහි එය පැටලී තිබේ. සියලු සත්වයෝ මහත් ශෝක වේදනාවෙන් ඔබගේ පහළවීම බලාපොරොත්තුවෙන් සිටිති.

අනන්ත ජීවිතය ගෙන දෙන්නාණෙනි,

සදාකාලික බලාපොරොත්තුවේ හඬ නංවා ඔවුන් ගලවාලව මැනව. අවසන් නොවන පුෂ්කර මධවෙන් යුත් ප්‍රේම පද්මය ඔබ වහන්සේගේ ආලෝකයෙන් විකසිත කළ මැනැවි.

බුද්ධාභිවාදනය

ශාන්ත වූ මුක්ත වූ උතුමාණෙනි,

ඔබ වහන්සේගේ අප්‍රමෙය්‍ය වූ කරුණාවේ හා පවිත්‍රතාවයේ බලයෙන් මේ ලෝකයේ හදවතේ පවත්නා සියලු කළු පැල්ලම් සෝදාලනු මැනැවි. අමරණීය තුටු පඬුරු ගෙන දෙන්නාණෙනි, අපේ ආත්මානය සේවය කිරීමේ පජාවෙන් නැති කර දැමීමට බලය දුන මැනැවි.

ඤාණ සූර්යයාගේ නව උදාවක ආලෝකයෙහි අන්ධයන්ට තම දර්ශනය ලැබෙන්නටද මළාවූ ආත්මයන්ට ජීවනය ලැබෙන්නයද සැලැස්වුව මැනවි.

ශාන්ත වූ මුක්ත වූ ඔබ වහන්සේගේ අප්‍රමෙය්‍ය වූ කරුණාව සහ පවිත්‍රතාවයේ බලයෙන් මේ පෘථුවි හෘදයේ පවත්නා සියලු කළු පැල්ලම් සෝදාලුව මැනැවි.

සියලු පාපයන්ගේ කාලුෂ්‍යය ඉවත් කළ මැනැවි. ඔබ වහන්සේට ජයවේවා. සදාකාලික ජීවනයේ ආසිරිපැන් ලොවට ඉසිනු මැනැවි.

ශාන්තියේ අභිවෘද්ධියේ ශුද්ධ භාවයේ හා ප්‍රේමයේ උල්පත වූ උත්තමයාණෙනි, ශෝකයේ අන්ධකාරය හා සියලු දුක් ස්වප්නයන් ඥාණ සූර්යයාගේ නව ප්‍රභාතයේ ආලෝකයෙන් දුරිභූත කළ මැනැවි.

දවස මායාවෙන් අඳුරු වී පවතී. මගියා එහෙයින් බියෙන් සැලෙයි. වෙනස් වූ නොයෙක් මාර්ගවල් ජාලයක් වී ඇති හෙයින් හෙතෙම සැකයෙන් බරව සිටී.

ශාන්තියේ අභිවෘද්ධියේ ශුද්ධභාවයේ හා ප්‍රේමයේ උල්පත වන මහා කාරුණිකයාණෙනි, මගැ අනතුරුවලින් මගියා රැක දුන මැනැවි. විපතේ ජාලයට අසුනොවී නිදහසින් සදාකාලික සැපත කරා යාමට මඟ පෙන්වා දුන මැනැවි.

ජස්ටින් විජයවර්ධන සූරීන් විසින් 1980 දී පරිවර්තනය කරන ලද්දකි.

advertistmentadvertistment
advertistmentadvertistment