බුද්ධිමත් සංවාදයකට රළ නඟන රැලිති

596

සිංහල කාව්‍ය වංශය සැලකීමේ දී දෙස් විදෙස් කාව්‍ය සම්ප්‍රදායයන් පිළිබඳ විවිධ පර්යේෂණ කරමින්, ඒ සම්ප්‍රදායයන් පිළිබඳ මෙරට පාඨකයා සවිඥානික කිරීමටත්, ඒතුළින් හෙළ කවිය පෝෂණය කිරීමටත් වෙසෙස් මෙහෙවරක් ඉටුකරමින් සිටින ජ්‍යෙෂ්ඨ කවීන්ද්‍රයකු ලෙස ආරියවංශ රණවීර මහතා හැඳින්විය හැකි ය.

“කවි කිහිපයක්” නම් කාව්‍ය කෘතියෙන් කාව්‍යාගමනය ආරම්භ කරන රණවීරයෝ “සම්මිශ්‍රණ”, “ගේ කුරුල්ලෝ සහ වී කුරුල්ලෝ”, “සඳ ඇබින්දක්”, “ඉමක් සහ මලක්”, “අතු ඉති”, “ඔයබඩ වවුල්ලු”, “තිත්”, “ඉම් පෙදෙස්”, “කණිකා”, “එළිමහන් කවි හා ගුහා කවි”, “දොළොස් රළ”, “රළ සමග”, “තුන් පෙති හතර පස් පෙති” (නන්දන වීරසිංහ සමග), “තවමත් මල්” හා “ඉම තව දුර ය” යන කාව්‍ය සංග්‍රහයන් ද “විසිරි මිණි” (ජපන් කාව්‍ය), “ලිලැක් මල් (රුසියන් කාව්‍ය), “මිණි පැමිණි (ජපන් කාව්‍ය), “මඟ දෙපස මල්” (චීන කාව්‍ය) ලෙසින් කාව්‍ය පරිවර්තන කෘති කිහිපයක් ද රචනා කළහ.

බුද්ධිමත් සංවාදයකට රළ නඟන රැලිති

රණවීර රචනා කරන ලද විචාර කෘති අතර “ඇමරිකානු කවියට පෙරවදනක්”, “සංස්කෘතිය හා ගොඩ්සිල්ලාකරණය”, “ටී. එස්. එළියට් නව කවිය”, “බටහිර විචාර විධි” ආදි කෘති ද අන්තර්ගත ය. කවියේ සංක්ෂිප්ත බව හා පදවල රූපකාර්ථවත් ගුණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන රණවීරයෝ ඉතා ක්ෂුද්‍ර ප්‍රස්තුත පාදක කරගනිමින් ප්‍රබල ධ්වනිතාර්ථ දනවන නිර්මාණයන් නිමැවුමට මනා බුහුටියක් දක්වති. සක්නද ප්‍රකාශනයක් ලෙසින් ඔහුගේ අභිනව කාව්‍ය සංග්‍රහය “රැලිති” පසුගියදා ජනගත කෙරිණි.

කෙටි කවි එකතුවක් ලෙස නිමැවුණු මෙම කෘතිය ආරම්භයේ දී ම ආරියවංශ රණවීර ලාංකීය කෙටි කවියේ මූලාරම්භය පිළිබඳ ඉතා පැහැදිලි කෙටි විවරණයක් ගෙනහැර පෑම සුවිශේෂී ය. මෙම පැදි කෘතිය විමර්ශනයේ දී අන්තර්ගත කාව්‍ය නිර්මාණ කාලානුරුපීව පෙළගස්වා තැබීම ද තවත් විශේෂත්වයකි. ඒවා ජීවිතයේ එක් අවධියක සිට ජීවිතාවසාන සමය දක්වා දිවෙන බව මගේ හැඟීම යි. තව ද මෙහි නිර්මාණ බහුතරයක බහුවිධ අරුත් ජනනය වීම නිරායාසයෙන් ම සිදුවන්නකි. රණවීරගේ කවිවල විශිෂ්ටත්වය ද මෙය ම වේ.

“වනමල් යාය
දිරූ වැට
හොඹු ඔබන
ගොන්නු”

‘වනමල් යාය’ යනු සුවඳැති, සිහිලැති සෞන්දර්යාත්මක පරිසරයකි. නමුදු මේ සුන්දරත්වය ආරක්ෂා කරනු පිණිස බැඳි වැට දිරා ඇති බැවින් යන එන ගොනුන් හොඹු ඔබනුයේ එහි සුන්දරත්වය විනාශ කිරීමට ය.

මතුපිටින් පැන නඟින අර්ථය මෙය වුව ද කුටුම්බ ජීවිතය තුළ ‘වනමල්’ නම් යෞවනියන් විය හැකි ය.

ඔවුනගේ එක ම ආරක්ෂකයා වන පියා අසරණ වයෝවෘද්ධයකු වීම අවට සමාජයට වාසි ගෙන දෙන්නකි.

විශේෂයෙන් පුරුෂ පාර්ශ්වය මේ හේතුවෙන් වනමල් වල සුවඳ විඳීමට පෙළඹෙයි. තව ද වයස්ගත පුරුෂයකු විසින් රූමත් තරුණියක විවාහකර ගත් විට ද අප සමාජයේ බොහෝ තරුණ පිරිසගේ ක්‍රියාකලාපය ද එලෙසම ය. මෙම නිර්මාණය ම ලාංකීය දේශපාලනයේ පවත්නා අස්ථාවරත්වය මැනවින් විශද කරයි. චීනය, ඇමරිකාව හා ඉන්දියාව මේ සුන්දර පරිසරය ගිලගන්නට හොඹු ඔබන ගොනුන් වේ. වර්තමාන බෞද්ධ ශාසනයේ මෙන් ම බුද්ධ දර්ශනයේ ඛේදවාචකය ද මෙය ම වේ. වනමල් වැනි සුගන්ධවත් බෞද්ධ දර්ශනය රැකගැනීමට භික්ෂු පරපුර සතු නොහැකියාව හේතුවෙන් මහජනතාව ගිලගන්නා බහු ආගමික හා සංවිධාන රට වට කරගෙන ය. මෙලෙස එකම නිර්මාණයක් තුළ භාවිත කරන රූපකවලින් බහු අරුත් විද්‍යමාන කිරීම හා ඉන් බුද්ධිමය සංවාදයක් මතුකිරීම මෙම නිර්මාණයේ දක්නට ලැබෙන විශිෂ්ටත්වය යි.

කලාව, සංස්කෘතිය, සමාජ හා දේශපාලන ස්වභාවය පිළිබඳ විවිධ අරුත් සම්පාදනය කරන කවියක් ලෙස පහත කව ද සැලකිය හැකි ය.

“සම ගොයමින්
උස් වී බලන
තනි
ගොයම් කරල,
දරා උසුලයි
දැඩි සුළං පහර”

වර්තමාන ලාංකීය කලාව තුළ ඉහත ඛේදවාචකය මම පුද්ගලිකව ම නිරීක්ෂණය කළෙමි. එය වඩාත් කාව්‍ය ක්ෂේත්‍රය තුළ අත්විඳිමි. කල්ලි, සමාගම්වලට රාමු වූ ඇතැම් ප්‍රවීණයන් සමහර නවකයන් පිළිනොගැනීම නිසාවෙන් ඔවුහු සියලු අභියෝගයන් දරා

ගනිමින් ඉදිරියට ගමන් කරති. සමාජයේ ඕනෑම ක්ෂේත්‍රයක සම ගොයමකට වඩා ස්වල්පයක් හෝ උසින් වැඩිව ඇති ගොයම් කරලකට මුහුණපෑමට සිදුවන අභියෝග බොහෝ ය.

“මළ දොළ
පත්ල
ළං ව
පිරික්සා
බලන
දිග් දිගටි
කොක්කු”

නිල් දියෙන් පිරුණු දොළක් සිඳෙන තුරු බලා සිට එහි පතුල විමසන ‘දිග් දිගටි – කොක්කු’ අපට ද සම්මුඛ ය. ඒ මෙරට දේශපාලන අධිකාරිය තුළ ය. කවියා ‘දිග් දිගටි – කොක්කු’ ලෙස එය වඩාත් උත්ප්‍රාසාත්මකව භාවිත කරයි. අතීතයේ සිට ම දේශපාලන අධිකාරිය විසින් මෙරට විනාශ කළ අතර තවත් විනාශ කරන්නට යමක් සොයනුයේ බල තණ්හාව නිසාවෙනි.

“වන වදුල
අන්තිමේ
සමත් ව
ඇත
වසාලන්නට
දාගැබ”

‘දාගැබ’ ලෙසින් කවියා සංකේත කරන්නේ බෞද්ධ දර්ශනය යි. එය වර්තමානය වනවිට විවිධ සමාජ ක්‍රියාකාරකම් නිසා පරිහානියට පත්ව තිබේ. භික්ෂු ශාසනයේ ම කාලක්‍රියා කරන භික්ෂුන්වහන්සේ බහුතරයකගේ ඇවතුම් – පැවතුම් ද එයට මූලිකව ම හේතු වී තිබේ.

කවියකු වශයෙන් ආරියවංශ රණවීර සතු සාහිත්‍ය පෝෂණ අවකාශය හෙවත් කාව්‍ය වපසරිය ඉතා පුළුල් වූවක් බව මින් මනාව සන්නිදර්ශනය වේ. ඒ හේතුවෙන් ම ඔහුගේ නිර්මාණවල පවතින චිත්ත රූප, බහුවිධ අරුත් ජනනය කරයි. හෙට දවසේ ලාංකීය කවියේ උන්නතිය උදෙසා එතුමන්ට තව තවත් නිර්මාණකරණයේ යෙදීමට ශක්තිය ධෛර්යය ප්‍රර්ථනා කරමින් මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි රචනා කළ ‘නූතන ම සිංහල කවිය පිළිබඳ නිරීක්ෂණ කිහිපයක්’ යන කෘතියේ ආරියවංශ රණවීරගේ කාව්‍ය භාවිතය පිළිබඳ එතුමාගේ නිරීක්ෂණය අවසන් ලෙස උපුටා දක්වමි.

“රණවීර වැන්නෝ ඇවිළී ගිනිගන්නා කවියක් වෙනුවට හැදෑරීම, ආභාස, භාෂා පිරික්සුම්, හුදෙකලාව හා ප්‍රධාන වශයෙන් දෘෂ්ටිමය ආස්ථානය පිළිබඳ වැඩි නැඹුරුවක් සහිත කවියක් සම්පාදනයට උත්සුක වූ බව පෙනෙයි.”

● අශෝක කුලතුංග

advertistmentadvertistment
advertistmentadvertistment