බුද්ධි ගලනය (1)

5178

සෑම පැයකටම ලංකාවේ පුරවැසියන් 32 ක් විදේශගත වන බවත් පසුගිය මාස 8 තුළ වෛද්‍යවරුන් පන්සීයක් ද ඉංජිනේරුවන් සහ බුද්ධිමතුන් විශාල පිරිසක්ද විදේශවලට ගොස් ඇති බවත් හිටපු කථානායක කරු ජයසූරිය මහතා පවසා තිබේ. අද හෙතෙම සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේත්, ජාතික ආගමික සංහිඳියාව සඳහා වන එකමුතුවේත් සභාපතිවරයාය. හලාවතදී පැවති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ සම්මන්ත්‍රණයකදී ඔහු ඒ බව කියා ඇත. කිසියම් රටක පුරවැසියන් විදේශගත වීම දෙවැදෑරුම් වෙයි. ඉන් පළමුවැන්න නම් ඔවුන් විදේශවලට සංක්‍රමණය වීමය. දෙවැන්න, ඔවුන් රැකියා සඳහා යෑමය. පිට රටවලට සංක්‍රමණය වන්නන්ගෙන් එතරම් ලොකු වැඩක් මව් රටට නැත. සංක්‍රාමිකයා නිතරම කරන්නේ පිට රට රැකියාවක් කරමින් සිය දරු පවුල එහිදී රකිමින් තමන් ඒ රටේ උපයන මුදල ඒ රට තුළම වැය කිරීමය. එහෙත් විදේශ රැකියාවලට යන මනුස්සයා ප්‍රයෝජනවත් සත්වයෙකි. හෙතෙම ඒ රටේ රැකියාවක් කර උපයන මුදල් මේ රටට එවයි. විදේශ විනිමය ලෙස මේ මුදල් නම් කරනු ලැබේ. දැනට මේ රටේ ආර්ථිකය තුළ විදේශ විනිමය උපයන ප්‍රමුඛ අංශ තුනක් තිබේ. ඉන් පළමුවැන්න විදේශ රැකියා කරන අය මෙරටට එවන මුදල්ය. (මෙහිදී උන්ඩියල් වැඩේ ටිකකට අමතක කරමු) ලංකාවට විදේශ විනිමය ගෙනෙන දෙවැනි කණ්ඩායම ඇඟලුම් කර්මාන්තයේ නියැළෙන අය ය. තුන්වනුව සංචාරක ව්‍යාපාරයේ යෙදෙන අයද මෙරටට විදේශ විනිමය එවති. මෙයට කලකට පෙර මේ රටට විදේශ විනිමය ගෙන්වා දුන් ප්‍රමුඛතම කණ්ඩායම වුණේ තේ, පොල්, රබර් පිට රට යැවූ වැවිලිකරුවෝය. ඊට අමතරව සුළු අපනයන බෝග හෙවත් කුළු බඩු වර්ග පිට රට යැවූ අයද මැණික් රට යැවූ අයද මේ රටට සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් එක් කළහ. මෙහිදී මැණික් පිට රට යැවීම යනු කිසියම් ආකාරයක ප්‍රශ්නගත ව්‍යාපාරයක් ලෙස දැක්විය හැකිය. මැණික් වලින් වැඩි හරියක් පිට රට යන්නේ හොර පාරෙනි. සමහරවිට මැණික් ගිල දමා පිට රටවලට ගෙන යෑමත් ඒවා විවිධාකාරයෙන් සඟවාගෙන පිට රටවලට රැගෙන යෑමත් සිදුවිය. මේවා කිසිදු ආකාරයෙන් count නොවන අතර එම මුදල් ලංකාවට ලැබීම පිළිබඳවද කිසිදු assurance එකක් නැත. මැණික් හොරෙන් රට පටවන අය එයින් ලැබෙන විදේශ විනිමය යොදවා ඒ රටින් දේපළ මිලට ගත්හ. නොඑසේ නම් පිට රටවල සිටින සිය දරුවන්ට ඉගැන්වීම සඳහා එම මුදල් පරිහරණය කළහ. ඉතා දීර්ඝ කතන්දරයක් වන මෙය තවදුරටත් විස්තර කිරීම මෙතනින් අත්හිටුවනු ලැබේ. කරු ජයසූරිය මහතා විස්තර කරන්නේ පිට රටවලට සංක්‍රමණය වන අයද, පිට රටවල රැකියා කිරීමට යන අය ගැනද යන්න හරියාකාරව පැහැදිලි නැත. පුරවැසියන් මේ කොයි ආකාරයෙන් පිට රට ගියත් රටට යම් ආකාරයක පාඩුවක් සිදුවෙයි. විශේෂ වෘත්තිකයන් වන වෛද්‍ය, ඉංජිනේරු, විශ්වවිද්‍යාල ආචාර්ය වැනි කණ්ඩායම් සංක්‍රමණය වුණත් රැකියා සඳහා තාවකාලිකව පිට රට ගියත් රටට යම් ආකාරයක පාඩුවක් සිදුවෙයි. ඒ වූකලී විශේෂ වෘත්තිකයන්ගේ හිඟයක් මේ රට තුළ හටගෙන එම වෘත්තිකයන් සේවය කරන අංශ වලින් ජනතාවට සේවය නොලැබී යෑමය.

 මේ අතර බුද්ධිගලනය හෙවත් Brain Drain නමැති මාතෘකාව ගැනද යම් තරමකින් හෝ සාකච්ඡා කළ යුතුය. පෙර ඡේදයෙහි සඳහන් විශේෂිත වෘත්තිකයන් ස්වකීය බුද්ධිය මව් රටේදී මුදාහැරීමෙන් වැළකී පිට රටවලට ගොස් මුදා හැරීම බුද්ධිගලනය යන්නෙහි තේරුමය. මෙයට Human Capital Flight යනුවෙන්ද කියනු ලැබේ. කිසියම් රටක ආර්ථිකය තුළ අංශ කිහිපයක ප්‍රාග්ධන සංකල්පයක් දැකගැනීමට ලැබේ. මනුෂ්‍යයා යනු එකී ප්‍රාග්ධන සංකල්පයේ එක අංශයකි. මනුෂ්‍යයා තුළ බුද්ධිය හා ශ්‍රම ශක්තිය තිබේ. පුහුණු ශ්‍රමය යනු වඩාත් වටිනා ප්‍රාග්ධනයකි. ප්‍රධාන නිෂ්පාදන සාධක ලෙස කාල් මාක්ස් විසින් විස්තර කරන ලද සාධකවලට ශ්‍රමය ද අයත්ය. ශ්‍රමය නැතිව භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය යන සෙසු නිෂ්පාදන සාධක වලින් ප්‍රයෝජනයක් ඇතිවන්නේ නැත. මේ නිසා කායික ශ්‍රමය හෝ බුද්ධිමය ශ්‍රමය කිසියම් රටකින් තවත් රටකට ඇදී යන්නේ නම් එය බරපතළ තත්ත්වයකි. අප විසින් මෙයට පෙර කතු වැකියකින්ද සඳහන් කරන ලද පරිදි බුද්ධි ගලනය හෙවත් විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් බහුල ලෙස ඇදී යෑම පටන් ගන්නේ 1973 දීය. මේ කාලයේදී මේ රටේ කාන්තාවන්ගෙන් සෑහෙන පිරිසක් ගෘහ සේවිකාවන් ලෙස වැඩ කිරීම සඳහා එවකට “ඩුබායි යනවා” නමැති පොදු නමින් හැඳින්වුණු මැද පෙරදිගට ගියහ. ඊළඟට ලංකාවේ වෛද්‍ය විද්‍යාලයෙන් එම්. බී. බී. එස්. උපාධිය ලබාගත් වෛද්‍යවරු එස්. ආර්. සී. එස්. උපාධිය ලැබීම සඳහා මේ රටෙන් නිවාඩු ලබාගෙන එංගලන්තයට ගොස් එහිම පැලපදියම් වූහ. ඉංජිනේරුවන් කළේත් මේ ටිකමය. සමහර ඉංජිනේරුවන්, වෛද්‍යවරුන් මෙන්ම ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන ලංකාවේ විශ්වවිද්‍යාල වලින් උපාධි ලබාගෙන වැඩිදුර පුහුණුව සඳහා ප්‍රංශයට හෝ ජර්මනියට ගොස් එහිම ගල්වූහ. ටික දවසකින් එම රටවලින් පී. ආර්. පහසුකම හෙවත් permanent resident පහසුකම ලබාගත් ඔවුහු විසිට් වීසා හරහා ස්වකීය දරු පවුල එරටට ගෙන්වාගෙන ගල්කර ගත්හ. මේ ආකාරයෙන් නික්ම ගොස් බලගතු යුරෝපීය රටවල පදිංචිව සිටින සමෘධිමත් ලාංකික ඩයස්පෝරාවක් ලංකාවට සිටිති. මිනිසුන් තම රට හැර යන්නේ රටේ සල්ලි නැති නිසාය. මේ ආණ්ඩුවට ආණ්ඩු කිරීම සඳහා ලැබුණු සම්පත් අතර හිස් භාණ්ඩාගාරයක් ද විය. එතැන් සිට කතන්දරය හෙට කියවන්න.

 (ඉතිරි කොටස හෙට)

advertistmentadvertistment
advertistmentadvertistment