බුද්ධි ගලනය (2)

1351

(කාණු දිගේ ගලාගෙන පිටරටට යන අපේ බුද්ධිය)

සෑම පැයකටම ලාංකිකයන් තිස් දෙදෙනෙක් ශ්‍රී ලංකාව අත්හැර යන බවත් පසුගිය මාස අට තුළ මේ රටේ වෛද්‍යවරුන් 500 ක් පමණ වෙනත් රටවල රැකියා පිණිස ගොස් ඇති බවත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය කී බව ඊයේ පළවූ මේ කතුවැකියේ මුල් කොටසෙහි සඳහන් විය. රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ජන අරගලය පටන් ගැනීමේ අත්තිවාරම වැටෙන්නේ ද හරියටම මෙයට මාස අටකට පෙරය. ශ්‍රී ලංකාව ආර්ථිකයක් වශයෙන් කඩා වැටෙමින් පවතින බව මේ රටේ ජනයා මීට මාස අටකට පෙර දැනගත් බවත් “පුළු පුළුවන් එකා රට පනිමු” යන තේමාව යටතේ මේ රටේ දොස්තරවරුන් පන්සීයක් ක්‍රියාත්මක වී ඇති බවත් ඉහත සඳහන් රට හැරයෑමේ ක්‍රියාවලියෙන් පැහැදිලි වන්නේය. කෙනෙක් තම මව් රට හැරදමා වෙනත් රටක රැකියාවකට හෝ වෙනත් රටක පදිංචියට යන්නේ කැමැත්තෙන් නොවේ.

පිටරට රැකියාවලට හෝ පිටරට පදිංචියට යන අයගෙන් 80% ක් පමණ එම තීරණය ගන්නේ කරකියා ගැනීමට වෙනත් කිසිවක් නැති තැනය. උදාහරණයක් වශයෙන් මේ රටේ අම්මලා වැඩි දෙනෙක් මැදපෙරදිග ගෘහ සේවිකා රැකියාවට යන්නේ සිය පවුල් ජීවිත ද කඩාකප්පල් කරගෙන ය. රටක් ගොඩනැගීම සඳහා කායික ශ්‍රමය මෙන්ම මානසික ශ්‍රමය ද අත්‍යවශ්‍ය ය. මේ රටේ විශේෂිත වෘත්තීන් හෙවත් වෛද්‍ය වෘත්තිය, ඉංජිනේරු වෘත්තිය, ගුරු වෘත්තිය යනාදියෙහි යෙදෙන අය, රට හැර යෑම බුද්ධි ගලනය ලෙස හඳුන්වනු ලැබේ. ඇමරිකාව හෝ බටහිර යුරෝපය යන ප්‍රදේශවල මානසික ශ්‍රමයටත්, කායික ශ්‍රමයටත් ඉතා හොඳ මිලක් ගෙවනු ලැබේ. මේ රටවල වැඩකරන ජනතාවගේ වැඩ කිරීමේ පහසුකම ද ඉතා ඉහළය. මේ රටවල ආහාර පාන ඉතා උසස් තත්ත්වයේ පවතින අතර ඒ රටවල ජනතාවගේ ආදායමට සාපේක්ෂව එම බඩු මිල ඉතා අඩුය. මේ ආරංචිය 1973 න් පසු ලංකාවට ලැබුණු අතර එතැන් සිට මේ රටේ ජනයාගෙන් වැඩි පිරිස උත්සාහ කළේ රට හැරයනු පිණිසය.

පුහුණු ශ්‍රමිකයන් රට හැර යෑමෙන් ඔවුන්ගේ මව් රටවලට විශාල අර්බුදයකට ලක්වීමට සිදුවේ. මේ පිරිස නැතිව රට ගොඩගැනීමට ඒ රටේ ආණ්ඩුවට නුපුළුවන. එසේ නම් අහිමි වූ ශ්‍රමය මගින් නිර්මාණය වුණු හිඩැස පිරවීම සඳහා පිටරටින් ශ්‍රමය ආනයනය කළ යුතු තත්ත්වයක් හටගනී. අතේ සතේ නැතිව, වැලේ වැල් ද නැතිව සිටින ශ්‍රී ලංකාවට තමන්ගේ රටේ ශ්‍රමිකයන්ට හරි හැටි සැලකීමට නොහැකිව තිබියදී වෙන රටවලින් ශ්‍රමය ගෙන්වා ගැනීම යනු සිහිනයකි. අප මේ කතා කරන්නේ මේ රටේ චීන ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතික ශ්‍රමිකයන් පිළිබඳ මාතෘකාව පැත්තකට දමමිනි. චීන ව්‍යාපෘති සඳහා චීන ශ්‍රමිකයන් මෙරටට පැමිණිය යුතුම ය. චීනය සමග ව්‍යාපෘතියක් පටන් ගන්නා විට එම ව්‍යාපෘතිය සඳහා චීන ශ්‍රමිකයන් බහුලව බඳවාගත යුතු බවට කොන්දේසියක් පවතී. ඒ නිසා නිල ඇඳුම් ඇඳගෙන, හෙල්මට් දාගෙන, රටේ විවිධ ඉදිකිරීම්වල උඩ, පහත දුවමින් සිටින චීන ශ්‍රමිකයන් අපේ රජය විසින් එරටින් ආනයනය කළ ශ්‍රමිකයන් නොවන බව සියලු දෙනා වටහාගත යුතුය.

රටේ ශ්‍රම බලකාය වෙනත් රටවල රැකියාවලට හෝ පදිංචියට යෑමෙන් පහත සඳහන් අර්බුද නිර්මාණය වන බව අප පෙන්වා දෙමු.

  1. අවුරුදු 25 ත් 60 ත් අතර වයසැති ශ්‍රම බලකාය විසින් රටේ ආර්ථිකයට ඉමහත් දායකත්වයක් ලබාදෙයි. එය සිදුවන්නේ එම පිරිස රජයට ආදායම් බදු ගෙවීමෙනි. මෙබඳු ශ්‍රමිකයන් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමවලට අනුයුක්ත නොවන අතර ඇතැම් අයට සේවක අර්ථසාධක අරමුදලේ දායකත්වය පමණක් තිබේ. එබැවින් ඔවුන්ගෙන් රජයට බරක් නැත.
  2. මානසික ශ්‍රමය හෝ කායික ශ්‍රමය පිටරටට ඇදී යෑමෙන් පසු හටගන්නා රික්තය නිසා රටේ නිෂ්පාදන ක්‍රියාවලියේ විෂමතාව අඩුවේ. මේ නිසා රටේ ඉතිරිව සිටින ශ්‍රමිකයන්ට වැටුප් වැඩි කිරීමටත්, දිරි දීමනා දීමටත් රජයට සහ පෞද්ගලික අංශයට සිදුවේ. එහෙත් පුහුණු ශ්‍රමිකයන් වෙතින් ලැබෙන ක්‍ෂමතාව නුපුහුණු ශ්‍රමිකයන් වෙතින් අපේක්ෂා කිරීමට රජයට නොහැක.
  3. කිසියම් රටක මානසික ශ්‍රමය සහ කායික ශ්‍රමය හිඟ බව පිටස්තර ලෝකය දැනගත් විට විදේශික ආයෝජකයින් එම රටට පැමිණෙන්නේ නැත. එයට හේතුව ඒ රටේ ඉතිරිව තිබෙන ශ්‍රමය සඳහා වැඩි පඩි ගෙවීමට සිදුවීමය.
  4. කිසියම් රටක ශ්‍රමයේ රික්තකයක් තිබෙන බව ප්‍රචාරය වූ විට එම රටේ ආර්ථිකය පිළිබඳ ඇති විශ්වාසය හීන වී යයි. එසේම කායික සහ මානසික ශ්‍රමය හිඟ රටවල දළ දේශීය නිෂ්පාදිතය අඩු නිසා එම රටේ ඉතිරිව සිටින ජනතාවගේ ජීවන තත්ත්වය ඉතා පහත් මට්ටමට පත්වේ.

ඉහත සඳහන් කරුණු අප විසින් උපුටා ගන්නා ලද්දේ The Economist සඟරාවෙනි. මේ සඟරාවේ ආර්ථික පර්යේෂණ අංශය ඉතා පුළුල් ය. සමහරවිට එය ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශයටත් වඩා පුළුල් වීමට ඉඩ ඇත. දැනට ශ්‍රී ලංකාව සතුව ඇත්තේ හිස් භාණ්ඩාගාරයකි. සමහරවිට අප සතුව තිබෙන ටොන් තුන්සීයක් පමණ වූ රත්තරන් සංචිතය ද විකුණා දැමීමට සිදුවනවා ඇත. දැනට පවතින ආණ්ඩුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලැබුණේ හිස් භාණ්ඩාගාරයකි. එහි වහල ද සොරුන් විසින් ගලවාගෙන ගොස් ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනගන්නේ හිස් භාණ්ඩාගාරයට ඇතුළු වීමෙන් පසුවය යන්න අපගේ අදහස වේ. කෙසේ වුවද අවසන් වශයෙන් අපට කීමට ඇත්තේ අපේ රටේ බුද්ධිය කාණු දිගේ ගලාගෙන ගොස් දියුණු රටවල ආර්ථික කෙත්වතු සාරවත් කරන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment