බුදුදහමයි ලංකාවයි

213

ලක්දිවට වැඩම කළ මිහිඳු මාහිමියන් නිසා රජතුමා ප්‍රධාන රටවැසියන් පිළිගත් ආගම බවට බුදුදහම පත් විය. අංගුලිමාල පිරිත මගින් ලබන ආශීර්වාදයෙන් ජන්ම ලාභය ලබන ශ්‍රී ලාංකිකයන් උපතේ සිට විපත දක්වාත් විපතෙන් පසුවත් බුදුදහම පදනම් කරගත් ජීවන රටාවකට අනුව ක්‍රියා කිරීම දක්නට ලැබෙන සුවිශේෂ ලක්ෂණයකි. අන් කිසිදු ජන සමාජයක් ඇසුරින් මෙවැනි සමාජ ක්‍රමයක් දැකිය නොහැකි වනු ඇත. සිංහලයන්ගේ සම් මස් ඇට නහර ඇට මිදුලු දක්වා කාවැදී ගිය දහම වෙනකක් නොව බුදුදහමයි.

බුදුදහම රාජ්‍ය ආගම මෙන්ම ජාතික ආගම බවට පත්වීම මගින් ලක්වැසියෝ තෙරුවන් සරණ ගිය බෞද්ධයන් බවට පත්වූහ. සසුන කෙරෙහි අප්‍රමාණ වූ පැහැදීමකින් යුක්ත වූ ජනතාව බෞද්ධ ඉගැන්වීම් ජීවිතයට ආලෝකයක් කර ගත්හ. ආගමික සිරිත් විරිත් අගයමින් මහාපාලි දානශාලාව වැනි සුවිශාල දානශාලා ඇසුරින් මහ දන් දීමට පෙලඹුනහ. දන්සල් ඇසුරින් කුසගින්නේ ගමන් බිමන් යන සැදැහැවතුන්ට මෙන්ම මගීන්ට ආහාරපානවලින් සංග්‍රහ කළහ. මහා විහාරයේ සහ මිහින්තලයේ තුන්දහසක් බැගින් වූ භික්ෂූන්ට ද අභයගිරියේ හා ඡේතවනයේ පන්දහසක් බැගින් වූ භික්ෂූන්ට ද සිව්පසයෙන් උපස්ථාන කිරීම නොඅඩුව සිදුවිය.

තම නිවසට පැමිණෙන ආගන්තුකයන් ඉතා සුහදව පිළිගෙන අවස්ථානුරූපීව කෑමෙන් බීමෙන් සිනහවෙන් කතාබහෙන් සංග්‍රහ කිරීමට ලක්වැසියෝ උත්සුක වූහ. තම හිතවතුන් ගැන මෙන්ම අසල්වාසීන්, ගම්වාසීන් පිළිබඳව ද දුක සැප සොයා බැලුහ. විශේෂ කටයුත්තක් උදාවූ අවස්ථාවල ඉදිරිපත්ව අවස්ථාවෝචිතව උදව් කළහ. පංචශීලය සමාදන් වීම දිනපතා අලුයමින් සිදු කළ කටයුත්තකි. ප්‍රාණඝාතය, අදත්ථාදානය ආදී පංච දුශ්චරිත පිළිවෙත් පිළිකුල් කළහ. එය මැනවින් සුරක්ෂිත කිරීමට අවංකවම පෙලඹී ක්‍රියා කළහ. පන්සිල් සුරකින ජන සමාජයක් උදාවීම තුළින් සතා සිවුපාවෝ පවා බියෙන් සැකෙන් තොරව සතුටින් සුවයෙන් දිවි ගෙවූහ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස ඉතා හිතෛෂීව, සුහදව, ඔවුනොවුන්ට ගරු කරමින් ක්‍රියා කළහ. ආරාමය ඇසුරින් දෛනික ජීවිතයේ නිරවද්‍ය, ධාර්මික පැවැත්මට මග පෑදිණි. පෙර දවස ශ්‍රී ලාංකිකයන්ගේ ආගමික සංකේතය වූයේ දාගැබයි. දාගැබ තැනීමේදී පස්ගත් ස්ථානය වැවක් තැනීමට යොදා ගත්හ. ශ්‍රී ලාංකිකයන්ගේ ආර්ථිකය ඉන් සංකේතවත් විය. මහ සයුර පරයන අයුරින් මහ වැව් තැනීමේ තාක්ෂණය බුදුදහමින් ලැබුණ මහඟු දායාදයකි.

වැවයි දාගැබයි – ගමයි පන්සලයි
නිල් ගොයමයි – කහ සිවුරයි

ලක්දිව සතර දිග්භාගයෙන්ම දක්නට ලැබුණ විශේෂ ලක්ෂණයක් විය. භික්ෂුව යනු ආධ්‍යාත්මික සංවර්ධනයට මග පෑදූ මාර්ගෝපදේශකයා පමණක් නොව ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වූ ගුරුවරයා ද විය. නිවැසියන් අතර හෝ ගැමියන් අතර යම් අසමගියක් වී නම් ඔවුන් කැඳවා කරුණු සොයා බලා දෙපාර්ශ්වය සමාදාන කිරීමේ නීති විශාරදයා ද භික්ෂුව විය. දැහැමි දිවිපෙවෙතක් ගතකිරීම පිණිස දැහැමිව උපයාගත් ධනයක් තිබිය යුතුය. ධාර්මිකව ධනෝපායනය කළ යුතු ආකාරය ද බුද්ධිමත්ව ධනය වැය කළ යුතු ආකාරය ද පෙන්වා දුන්නේ භික්ෂුවයි.

දයාව, කරණාව, මෛත්‍රිය, පරෝපකාරය, අවිහිංසාව, ත්‍යාගශීලීත්වය, කෘතවේදීත්වය වැනි උදාර ගුණාංගයන්ගෙන් සමන්විතව අල්පේච්ඡව, සරලව ජීවත්වීමේ පිළිවෙත හඳුන්වා දුන් සමාජ විද්‍යාඥයා වූයේ ද භික්ෂුවයි. ඒ අනුව සිල්වත්කම, ගුණවත්කම, වෘද්ධත්වය, පාණ්ඩිත්‍යය වැනි ලක්ෂණයන්ගෙන් යුක්තවූවන්ට ගරු කිරීමට ජනතාව පෙලඹුනහ. අඹු සැමි, මව් පිය, දු දරු, ස්වාමි සේවක, ගුරු සිසු, ගිහි පැවිදි, සමාජ සංස්ථාවල ධාර්මික පැවැත්ම සඳහා අනුබල දෙන ලද්දේ භික්ෂුවයි.

භික්ෂුව පොදු ජනතාවගෙන් මෙන්ම පාලකයන්ගෙන් ද සම්මානනීයත්වයට පත්වූ අයකු බැවින් උන්වහන්සේගේ උපදේශයන්ට පිටුපා ක්‍රියා කරන්නකු නොවීය. දිවා කාලයේ ගොවිතැන් කටයුතුවල නිරත වූ ජනතාව සන්ධ්‍යා යාමයේ විහාරස්ථාන වටා ඒකරාශි වූහ. බුද්ධ පූජා, බෝධි පූජා වැනි පුද පූජාවන්, ධර්ම දේශනා හා ජාතක දේශනාවන්ට සවන් දෙමින් ගුණ නුවණින් පෝෂණය වූහ. තම කුස තුළ වැඩෙන බිලින්දා පවා බෞද්ධ දරුවකු කර ගැනීම පිණිස ගැබිනි මාතාවෝ දෙවරක් පන්සිල් ගැනීමට පෙලඹුනහ. සෞන්දර්ය කෙරෙහි නැඹුරු වූ ලක්වැසියෝ ආගමික වශයෙන් මෙන්ම කලාත්මක වශයෙන් ඉතා වැදගත් වන කලා නිර්මාණ තැනීමට පෙලඹුනහ. ඒ අනුව චේතිය, චේතිඝර, බෝධිය, බෝධිඝර, පටිමා, පටිමාඝර, ආසන, ආසනඝර, සඳකඩපහණ, කොරවක්ගල්, මුරගල්, පියගැට පෙළ, චිත්‍ර, කැටයම් මූර්ති ආදී සුවිශේෂි නිර්මාණ කිරීමට හෙළ කලාකරුවෝ සමත් වූහ. අලි, කොටි, වග වලසුන් වැනි බිහිසුණු සතුන් ගැවසීගත් ගල්ලෙන් මෙත් කරුණා මුදිතාදී බුදුගුණ විදහා දැක්වෙන සාන්ත සුන්දර බුද්ධ ප්‍රතිමා සහිත විහාර මන්දිර බවට පත් විය. අජීවි කළුගල් වලින් සජීවි අයුරින් රමණීය බුදු පිළිම තැනූහ. ආකාශය පරයන අයුරින් කොත් කැරලි සහිත මහා වෙහෙර විහාර තැනුහ. මෙසේ දුටු දුටුවන් ශ්‍රද්ධාවෙන්, ධාර්මික ප්‍රීති සුවයෙන් යුක්ත වන අසහාය කලා නිර්මාණ බිහිකිරීමට සමත් වූහ.

අනුරාධපුර මහමෙව්නාවේ ජයශ්‍රී මහා බෝධින් වහන්සේ, රුවන්වැලි මහා සෑය, ලෝවාමහ ප්‍රාසාදය, ථුපාරාමය, ජේතවනය, අභයගිරිය, ඉසුරුමුනිය, මිහින්තලයේ අටසැට ලෙන්, කණ්ඨක සෑය, සීගිරිය වැනි කලාත්මක සෞන්දර්යයෙන් යුත් සිද්ධස්ථාන ඉදිවූයේ බුදු සමයේ ආභාෂයෙනි. අනුරාධපුරය, පොලොන්නරුව, දඹදෙණිය, දඹුල්ල, මිහින්තලය, කැලණිය, නාගදීපය, මහියංගනය, තිස්සමහාරාමය, කතරගම වැනි පූජනීය නගර බිහිවූයේ බුදු දහම පදනම් කරගෙනය. දුටුගැමුණු, ගජබා, විජයබා, මහ පැරකුම්බා වැනි ශ්‍රේෂ්ඨ නරෝත්තමයන් මෙන්ම සිරිසඟබෝ, සද්ධාතිස්ස වැනි බෝධිසත්ත්ව ගුණෝපේත රජදරුවන් පහළ වූයේ බෞද්ධ බලපෑම තුළිනි.

සුරනිමල, ථෙරපුත්ථාභය වැනි රණකාමි බුද්ධ පුත්‍රයන් ඇතුළු දසමහ යෝධයන් ද අරිට්ඨ, මලියදේව වැනි සිංහල රහතන් වහන්සේලා ද, සෝමා දේවිය, විහාර මහා දේවිය වැනි වීර මාතාවන් ද, දිඹුලාගල කස්සප, තොටගමුවේ ශ්‍රී රාහුල වැනි ශ්‍රේෂ්ඨ ගත්කතුවරුන් ද, පඬිවරුන් ද, බිහිවීමට බුදු සමය පාදක විය. ජාතක කතා ඇසුරින් චරිතවත් වූ ලක්වැසියන් අනේ අනිච්චං, අබුද්ධස්ස කාලයක්, බුදුවෙන්න ගියත් මාරයෙක් වැනි යෙදුම් සහිත බස් වහරකට යොමුවීම වැනි සිදුවීම් තුළින් ප්‍රකට වන්නේ බුදු සමය ලක්වැසියන් කෙරෙහි කොතරම් ගැඹුරු ලෙසින් බලපා ඇද්ද යන්නයි. ලක්වැසියන්ගේ උපතත්, විපතත්, උරුමයත් බුදු සමය සමග බැඳී පවතී.

දඩල්ල – වාළුකාරාම වෙහෙරවැසි, ශාස්ත්‍රපති,
රත්ගම සුනීත හිමි.

advertistmentadvertistment
advertistmentadvertistment