බුදුදහම මත ගොඩනැඟුණු ඉන්දු – ලංකා සබඳතා

659

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සංස්කෘතික, ආගමික, භාෂාමය, දැනුම හුවමාරු කර ගැනීම සහ අධ්‍යාත්මික සම්බන්ධතාවල ඉතිහාසය අවුරුදු 2500 ට එහා දිවයයි. ඓතිහාසික මූලාශ්‍ර හෙළි කරන ආකාරයට බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ සිට තෙවරක් ලංකාවට වැඩම කිරීම, විජය රජු ඇතුළු 700 ක පිරිසකගේ සම්ප්‍රාප්තිය, අශෝක රජු දවස මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලක්දිවට බුදුදහම හඳුන්වා දීම ආදී ඓතිහාසික සංසිද්ධීන් රැසක් මුල් කරගෙන රටවල් දෙකෙහි අන්‍යොන්‍ය සම්බන්ධතා වෙන් කළ නොහැකි ආකාරයට වර්ධනය වී ඇත.

මෙම ඓතිහාසික සබඳතාවල වර්තමාන මුහුණුවර ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය අතර 1977 නොවැම්බර් 29 දින නවදිල්ලි නුවරදී ඇති කරගත් සංස්කෘතික සහයෝගිතා ගිවිසුම සඳහන් කළ හැකිය. එය දෙරට අතර ඇති සංස්කෘතික උරුමයන්ගේ වටිනාකම් හුවමාරු කර ගැනීමේ වැඩසටහනක් ලෙසට මෙය හැඳින්විය හැකිය. බුදුදහම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකට සම්බන්ධ කරන යෝධ කුලුනකි. මහා භාරතයේ ප්‍රතාපවත් රාජ්‍ය පාලකයා වූ අශෝක අධිරාජ්‍යයා මිහිඳු මහරහතන් වහන්සේ සහ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ධර්මය ප්‍රචාරය සඳහා යොමු කරන්නේ ශ්‍රී ලංකාවේ පාලකයා වූ දේවානම්පියතිස්ස රජු හා පැවැති සම්බන්ධය පදනම් කරගෙනය. එම අන්‍යොන්‍ය මිතුදමෙහි මහිමය අද දක්වා ලාංකීය සමාජයේ ප්‍රගමනය කෙරෙහි බලපෑම් ඇති කිරීමට සමත් වී ඇත. මෙරට බෞද්ධයකුගේ ජීවිත කාලය තුළදී අත්කර ගැනීමට අපේක්ෂා කරන බලාපොරොත්තු අතුරින් බුදුහිමියන් වැඩසිටි දඹදිව වන්දනාමාන කිරීම ප්‍රමුඛ කාරණයක් වනු නොඅනුමානය.

ඒ අනුව වාර්ෂිකව 50,000 ට අධික ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාව දඹදිව වන්දනාමාන කිරීම සඳහා සහභාගි වන බවට තොරතුරු වාර්තා වේ. ඉන්දීය පුරාවිද්‍යා කැණීම් මගින් අනාවරණය කර ගැනුණු පුරාවස්තු අතර ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශරීරයට අයත් අස්ථි කොටස් ඉතා විද්‍යාත්මකව සොයා ගැනීම අතිශය ප්‍රසාදය දනවන සිත්ගන්නා සුළු කාරණයකි. එරට කැණීම් මගින් සොයා ගැනුණු මෙම අස්ථි කොටස් ලෝකවාසී බෞද්ධයෝ පූජනීය හා වන්දනාමය අර්ථයෙන් “ධාතු” යැයි ව්‍යවහාර කරති. කපිල වස්තු ධාතු නමින් මෙකල හඳුන්වනුයේ ඉහත විස්තර කළ පරිදි බුදු හිමියන්ගේ ශ්‍රී ශරීරය දහනය කොට ශේෂ වූ අස්ථිවලින් එක් කොටසක් ලබාගත් කපිල වස්තුවේ ශාක්‍ය රජ දරුවන් විසින් අදින් වසර 2400 කට පමණ පෙර ඉදිකරන ලද චෛත්‍යය කැණීම් කර සොයා ගත් ධාතු කරඬුවේ තිබුණු සම්බුද්ධ ධාතූන් වහන්සේලාය. මෙම ආගමික හා සංස්කෘතික බැඳියාවේ වටිනාකම තේරුම් ගත් ඉන්දියානු රජය බෞද්ධ උරුමය බෙදා හදා ගැනීම සඳහා කපිලවස්තු සර්වඥධාතු වහන්සේ මෙරට කිහිප වතාවක් වැඩම කිරීමට කටයුතු කරන ලදී.

මෙම සර්වඥධාතු වහන්සේ පළමු වතාවට 1978 දී ලංකාවට වැඩම කරවන අවස්ථාවේ මිලියන බෞද්ධයන්ට එය වන්දනා නමස්කාර කිරීමට හැකි විය. ඉන් අනතුරුව 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ද සර්වඥධාතු වහන්සේ වන්දනාමාන කිරීමට ලාංකික බෞද්ධයන්ට අවකාශ හිමිවිය.

දාලිත් බෞද්ධ ප්‍රබෝධය

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘ ආචාර්ය අම්බෙඩ්කාර්ගේ නම හා බැඳුණු බෞද්ධ පුනරුදය ඉන්දියාව හා බුද්ධ ධර්මය අතර ඇති සම්බන්ධය නව මානයක් කරා ගෙන යනු ලබයි. අම්බෙඩ්කාර් සමග ඔහුගේ අනුගාමිකයන් ලක්ෂ ගණනක් බුද්ධ ධර්මය වැළඳ ගැනීමෙන් පසු මෙම නව ප්‍රබෝධය ඇති වී තිබේ. අම්බෙඩ්කාර් විශ්වාස කළේ දාලිත්වරුන්ට ඉන්දියානු සමාජය තුළ තමන්ට යහපත් ස්ථානයක් ළඟා කර ගත හැකි එකම මාර්ගය බෞද්ධ ආගම වැළඳ ගැනීම බවයි. මෙම ව්‍යාපාරය 1956 දී ආචාර්ය අම්බෙඩ්කාර් විසින් දියත් කරන ලද අතර, ස්පර්ශ නොකළ යුතු කණ්ඩායමක් ලෙසට සමාජය විසින් සලකුණු ලැබූ දාලිත්වරුන් ඔහු සමඟ එකතු වී නවයාන බුද්ධාගම ඇදහීමට පටන් ගත්තේය. 2011 වසරේ සිදු කරන ලද ජන සංගණන වාර්තාවලට අනුව මිලියන 8කට අධික බෞද්ධයන් ප්‍රමාණයක් ඉන්දියාවේ වෙසෙන අතර අම්බෙඩ්කාර්ගේ ජන්ම දින සැමරුම නිමිත්තෙන් අනුගාමිකයන් දහස් ගණන් බුද්ධාගම වැළඳ ගැනීම සිදු වෙමින් පවතී.

බෞද්ධාගම කෙරෙහි අගමැති මෝදිගේ ඇති කැපවීම

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා 2022 මැයි 16 වන දිනට යෙදුණු බුද්ධ පූර්ණිමා හෙවත් වෙසක් උත්සවය නිමිත්තෙන් බුදුන් වහන්සේ උපත ලද ලුම්බිණියේ සංචාරයක නිරත විය. ලුම්බිණියේ මායාදේවි විහාරයේ විශේෂ ආගමික වතාවත්වල නිරත වෙමින් මෝදි මැතිතුමා අග්‍රාමාත්‍යවරයා වශයෙන් සිය පළමු ලුම්බිණි සංචාරය ඇරඹුවේය. ඉන්දීය සහ නේපාල අග්‍රාමාත්‍යවරු දෙපළ ලුම්බිණිය බුදුන් වහන්සේ උපත ලද ස්ථානය බවට පළමු ශෛලමය සාක්ෂිය වන ඓතිහාසික අශෝක කුලුන දැක බලා ගත්හ.

ලුම්බිණි ආරාම පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිත බෞද්ධ සංස්කෘතිය සහ උරුමය පිළිබඳ ඉන්දියානු ජාත්‍යන්තර මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබීමේ උත්සවයට ද අග්‍රාමාත්‍යවරු දෙපළ සහභාගි වූහ. මෙම මධ්‍යස්ථානය නවදිල්ලි ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයට අයත් භූමි භාගයක ඉදිකරනු ලැබේ. මෙය බෞද්ධ වන්දනාකරුවන් සහ සංචාරකයන් සඳහා ධර්ම ශාලා, භාවනා මධ්‍යස්ථාන, පුස්තකාල, ප්‍රදර්ශන ශාලා, ආපන ශාලා සහ වෙනත් පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ මධ්‍යස්ථානයකි. බොදු හදවත් තුළ ඉන්දියාවට ඇත්තේ අද්විතීය ස්ථානයකි. ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර පවතින අවියෝජනීය සබඳතාවය තුළ බුදුදහමට හිමි වන්නේ කේන්ද්‍රීය ස්ථානයකි. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා 2017 මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවති 14 වන ජාත්‍යන්තර වෙසක් දින සැමරුමේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ද සහභාගි විය. බෞද්ධ ක්ෂේත්‍රය තුළ දෙරට අතර තිබෙන ශක්තිමත් සබඳතා තවත් සවිමත් කරමින් අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා බොදු සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක ප්‍රදානයක් ප්‍රකාශයට පත් කළේය. විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර 2022 මාර්තු 28 වන දින මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණ. බෞද්ධ විහාරාරාම ඉදිකිරීම/නවීකරණය කිරීම, ධාරිතා සංවර්ධනය, දෙරට සර්වඥ ධාතු ප්‍රදර්ශනයන් පැවැත්වීම වැනි දේ සඳහා මූල්‍ය සහයෝගය ලබා දීම මෙම ප්‍රදානයේ අරමුණයි.

කුෂිනගර් ගුවන් තොටුපළ

2020 ජූලි මාසයේදී ඉන්දීය රජය කුෂිනගර් ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙසට ප්‍රකාශයට පත් කිරීමට ඉන්දීය රජය විසින් ගනු ලැබූ පියවර දෙරටේ සබඳතා බුදුදහම පදනම් කර ගෙන තවත් ශක්තිමත් වූ අවස්ථාවක් ලෙසට දැක්විය හැකිය.

බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිදු වූ ස්ථානය සඳහා ශ්‍රී ලාංකිකයන් ඇතුළු බෞද්ධ ජනයා වෙත පහසුවෙන් එම බෞද්ධ උරුමයන් වැඳපුදා ගැනීමට අවස්ථා මේ මගින් හිමි විය. බුදුන් වහන්සේ පරිනිර්වාණයට පත් කුසිනාරාව වෙත ශ්‍රී ලංකාවෙන් පිටත් වූ පළමු ජාත්‍යන්තර ගුවන්යානයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශයන් හි භික්ෂූන් වහන්සේලා රැසක් ද වැඩම කළහ.

ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය

කොළඹ පිහිටි ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය ඉන්දියාවේ අධ්‍යාත්මික නායකයකු ලෙසට සැලකෙන ස්වාමි විවේකානන්දතුමාගේ නමින් නම් කිරීමට ඉන්දීය රජය මෑතකදී තීරණය කරන ලදී. මෙම සංස්කෘතික මධ්‍යස්ථානය මගින් දෙරට අතර ඇති සංස්කෘතික සම්බන්ධතා නව මානයකට රැගෙන යයි. සංස්කෘතිය වටිනාකම් හුවමාරු කර ගැනීම සඳහා මෙම සංස්කෘතික මධ්‍යස්ථානය වේදිකාවක් බවට පත් වී ඇති අතර මේ සඳහා බෞද්ධයන් වෙත සමීප වීමට ද විශේෂ වැඩසටහන් ආරම්භ කර ඇත. මෙරට පිරිවෙන් සහ විශ්වවිද්‍යාල වැනි අධ්‍යාපන ආයතන මෙන්ම පූජකවරු සහ විද්වතුන් කේන්ද්‍ර කරගෙන ආගමික සංස්කෘතික වැඩසටහන් මෙම සංස්කෘතික මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගෙන සිදු කරනු ලබයි. හින්දි සහ යෝග පන්ති ද මෙම සංස්කෘතික මධ්‍යස්ථානය හරහා මේ වන විට ආරම්භ කර ඇත.

ඉන්දියාවේ ප්‍රථම බෞද්ධ ප්‍රාන්තය

ඉන්දියාවේ ප්‍රථම බෞද්ධ ප්‍රාන්තය ලෙස ලඩක් ප්‍රදේශය නම් කිරීමට ඉන්දීය රජය කටයුතු කර ඇත. එම ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගෙන් 70%ක් පමණ බෞද්ධයන් බව සඳහන්ය. මුහුදු මට්ටමේ සිට අඩි 9800ක උසින් පිහිටා ඇති අති සුන්දර ලඩක් ප්‍රාන්තය මෙතෙක් පැවතියේ ජම්මු කාශ්මීරයට අයත් ප්‍රදේශයක් ලෙසිනි. වර්ග කිලෝ මීටර 59196ක විශාලත්වයෙන් යුත්, අපූරු දේශගුණයකින් සමන්විත ලඩක් ප්‍රාන්තයේ මාස 06 ක කාලයක් ග්‍රීස්ම සෘතුවද ඉතිරි මාස 06 සීත සෘතුව ද පවතී. ඉන්දීය රජය නම් කළ බෞද්ධ ප්‍රාන්තයේ ජනගහනය 274289ක් ලෙස වාර්තා වේ. ලෙහ් නගැය විශාලතම නගරය ලෙස ප්‍රකට අතර ලෙහ් සහ කාර්ගිල් ප්‍රධාන නගර වේ.

නිදහස් ඉන්දියාවේ රාජ්‍ය ලාංඡනයෙහි නිරූපණය වන්නේ ධර්මාශෝක මහාධිරාජයාණන් විසින් බුදු රදුන් ඉපදුණු, බුද්ධත්වයට පත්වුණු සහ පිරිනිවන් පෑ ස්ථානවල ඉදිකරන ලද සිංහ හිස් තුනක් සහ ධර්ම චක්‍රය සහිත ශෛලමය කුලුනුවල හිසෙහි ප්‍රතිරූපයයි. ඒ අනුව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති අන්‍යොන්‍ය සම්බන්ධතාවල මූල බීජය බුද්ධ ධර්මය මත පදනම් වී ඇති බවත් එය මානව ශිෂ්ටාචාරය පවතින තක් නොනැසී පවතිනු ඇතැයි අනුමාන කළ හැකිය.

ආචාර්ය ජයන්ත ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment