බුදුන් අමතක කර සිවුර දමා පැන දිවීම

759

සසර දුකින් මිදී නිවනට පැමිණීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රද්ධාවෙන් ම පැවිදි වන්නට තැත් කරන අය අතර ද කිසිවකුට කීකරු කරගත නො හෙන දරුණු අසත්පුරුෂ පුද්ගලයෝ ද වෙති. ශ්‍රද්ධාව වනාහි කලින් කල අඩු වැඩි වන ඇති නැති වන ධර්මයෙකි. බුද්ධ කාලීන භික්ෂු සමාජය තුළ ප්‍රසිද්ධියට පත් භික්ෂූන් වහන්සේලා දෙවර්ගයකි. එනම්, සමාජයට අර්ථය සිදු කිරීම සහ අනර්ථකාරී කටයුතු කිරීම යනුවෙනි. ජබ්බග්ගිය, සත්තරස භික්ෂූන්, දේවදත්ත, කටමොරතිස්ස, කෝකාලික ආදී භික්ෂූන් වහන්සේලාගේ නම් ප්‍රසිද්ධ වූයේ අයහපත් දේවල් කිරීම හා සම්බන්ධවයි.

“විනයො නාම සාසනස්ස ආයු” විනය නම් ශාසනයාගේ ආයුෂයයි. සම්බුද්ධ ශාසනය පන්දහසක් අවුරුදු පවත්නා පරිදි දේශනා කොට වදාළ චිරස්ථායි ක්‍රියා මාර්ගය විනය නමින් හැඳින්වූවා මෙන්ම, එය අනුගමනය කිරීම, භික්ෂුවංශයේ දියුණුවට මෙන්ම ශාසනයේ පැවැත්මටත් හේතු වන බව වදාළ අවස්ථා රාශියක් විනය ග්‍රන්ථවලින් සොයා ගත හැකිය. භික්ෂු භික්ෂුණීන් ආරක්ෂා කරනු වස් බුදුන් වහන්සේ පනවා වදාළ බොහෝ නීති ඇත්තේ ය. ඒවාට සසුන සිකපදය ලෙස හඳුන්වනු ලබයි. සිකපද පනවන්නා වූ බුදුවරයන්ගේ සසුන් බොහෝ කල් පවතී. ශ්‍රාවකයනට සික පද නො පැන වූ විපස්සී, සිඛී, වෙස්සභූ යන අතීත බුදුවරයන් වහන්සේලාගේ ශාසනයන් වැඩිකල් නො පැවති බවත්, ශ්‍රාවකයනට සිකපද පැන වූ කකුසඳ, කෝණාගම, කස්සප යන බුදුවරයන් වහන්සේලාගේ සසුන් ඒ නිසා බොහෝ කල් පැවති බවත් අප බුදුරජාණන් වහන්සේ විසින් සැරියුත් මහ තෙරුන් වහන්සේට වදාරන ලද බව ආචාර්ය රේරුකානේ චන්දවිමල මහා ස්ථවිරයන් වහන්සේ විසින් රචිත උභය ප්‍රාතිමෝක්ෂය ග්‍රන්ථයේ සඳහන්වේ. එහි මෙලෙසද සඳහන්ව ඇත. “ලෝකයෙහි භික්ෂු පිරිස තරම් නීති ඇති නීතිගරුක තවත් පිරිසක් නැතය යි කිය යුතුය. භික්ෂූන් වහන්සේට විනය නීති නැත්තේ ආශ්වාස ප්‍රශ්වාස දෙක ගැන, ඇසිපිය හෙළීම ගැන පමණය යි කිය යුතුය. හිඳගැනීම,

නිදාගැනීම, ගමන් කිරීම, සිවුරු පිණිස වස්ත්‍ර සැපයීම, සිවුරු කැපීම, මැසීම, පඬු පෙවීම, හැඳීම, පෙරවීම, අතිරේක සිවුරු ලබාගැනීම, දීම, ගැනීම, පරණ සිවුරු සේදීම. පාත්‍රය පිළියෙල කිරීම, පාත්‍ර තබා ගැනීම, පාත්‍රය පරිභෝග කිරීම, පිඬුසිඟා යෑම, අහර පිළිගැනීම, වැළඳීම, අනුන්ට දීම, සෙනසුන් පිළියෙල කිරීම. සෙනසුන් පරිභෝග කිරීම, බෙහෙත් සැපයීම, පිළිගැනීම, පිළිගත් බෙහෙත් තබා ගැනීම, බෙහෙත් වැළඳීම, පාවහන් කුඩ භාජනාදී වස්තූන් පරිභෝග කිරීම, දත් මැදීම, මුවදෙවීම, අත්පා සේදීම, වතුර නෑම, කෙල ගැසීම, මලමුත්‍ර කිරීම, හිසකේ කැපීම, රැවුල කැපීම, කථා කිරීම, ස්ත්‍රීන් ඇසුරු කිරීම, දහම් දෙසීම, ගමෙහි හැසිරීම, රජුන් ඇසුරු කිරීම, ගුරුන් ඇසුරු කිරීම, ගෝලයන් තැනීම, ආගන්තුකයන් කෙරෙහි පිළිපැදීම, තමන් ආගන්තුකයකු වශයෙන් අන්තැනකට ගිය කල්හි හැසිරීම, පැවිදි කිරීම, උපසම්පදා කිරීම, සඟසතු දේ පරිහරණය කිරීම යනාදී නොයෙක් කරුණු ගැන භික්ෂූන්ට සිකපද ඇත්තේය. භික්ෂු පිරිස සම්පූර්ණයෙන් ම ගිහියන්ගෙන් වෙනස් පිරිසක් වන්නේ ඒ සිකපද සමූහය නිසා ය.”

සසර දුකින් මිදී නිවනට පැමිණීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රද්ධාවෙන් ම පැවිදි වන්නට තැත් කරන අය අතර ද කිසිවකුට කීකරු කරගත නො හෙන දරුණු අසත්පුරුෂ පුද්ගලයෝ ද වෙති. ශ්‍රද්ධාව වනාහි කලින් කල අඩු වැඩි වන ඇති නැති වන ධර්මයෙකි. බුද්ධ කාලීන භික්ෂු සමාජය තුළ ප්‍රසිද්ධියට පත් භික්ෂූන් වහන්සේලා දෙවර්ගයකි. එනම්, සමාජයට අර්ථය සිදු කිරීම සහ අනර්ථකාරී කටයුතු කිරීම යනුවෙනි. ජබ්බග්ගිය, සත්තරස භික්ෂූන්, දේවදත්ත, කටමොරතිස්ස, කෝකාලික ආදී භික්ෂූන් වහන්සේලාගේ නම් ප්‍රසිද්ධ වූයේ අයහපත් දේවල් කිරීම හා සම්බන්ධවයි.

වර්තමානයේද අයහපත වෙනුවෙන් කටයුතු කරන චීවරධාරීන් කොටසක් දක්නට ලැබෙයි. බුදුන් අතහැර දේශපාලනය පමණක් කරේ තබාගෙන සිවුර පළිහක් කරගෙන ඩෙඟා නටන පිරිසක් බිහිව ඇති නිසා බෞද්ධයෝ බලවත් සංවේගයට පත්ව සිටින බව කිව යුතුය. ධර්මය නොව කුමාර් ගුනරත්නම්ගේ බණ අසන මේ චීවරධාරීන් සාසනයෙන් පන්නා දැමිය යුතු කාලය එළඹ ඇති බව නම් පැහැදිලිව සටහන් කළ යුතුය. පසුගිය 23 වැනිදා බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයට කඩාවැඳුණු බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් පිරිස ක්‍රියාකළ ආකාරය මෙන්ම එක් චීවරධාරියෙක් සිවුර දමා පැනගිය ආකාරය දකින විට මෙරට බෞද්ධ සමාජයට දැනෙන්නේ කවරක්ද? මෙය බලවත් ඛේදයක් නොවන්නේද?

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිමිවරුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් මහාචාර්ය, පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් ඉතා නිවැරදිව අදහස් දක්වා තිබිණි. එය මාධ්‍ය ඔස්සේද පළවිය. පනාගොඩ යුද හමුදා බෝධිරාජාරාමයේ පැවති සමස්ත ලංකා පිරිවෙන් කෘත්‍යාධිකාරි සහ පරිවේණාධිපති සම්මේලනයේදී උන්වහන්සේ මෙසේ පවසා තිබිණි. “ඊයේ අපි දැක්කා භික්ෂුවකගේ සිවුර ගැලවෙනවා. සිවුර දාලා දිව්වා. ඒ භික්ෂුවට තිබුණා නම් ශ්‍රද්ධාවක්, මහණ වෙච්ච දවසේ ඉඳන් මම ඉදිරියට ආවේ සිවුරේ පිහිටෙන් කියලා හිතුනා නම් මේ සිවුර දාලා යන්නේ නැහැ.” ඇත්තෙන්ම අසත්පුරුෂයා ඔහු තුළ ශ්‍රද්ධාව උත්සන්නව තිබෙන තුරු හොඳ පැවිද්දකු වශයෙන් සිටී. ශ්‍රද්ධාව හීන වූ පසු නැති වූ පසු ඔහුගේ නපුරු ගති මතු කරන්නට පටන් ගනී. සමහර විට එබඳු අය පැවිදි ව පසු කාලයේ දී භාජන ටිකත් බිඳ දමා පන්සලටත් ගිනි තබා පලා ගිය මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේගේ ගෝලයා ගැන ඉතිහාසයේ සඳහන්ව ඇත.

හෝමාගම බෞද්ධ හා පාලි සරසවිය මුදා නොගත් ප්‍රදේශයක් වැනි යයි ප්‍රකාශ කර තිබුණේ පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍ය නෙළුවේ සුමනවංශ හිමියන් විසිනි. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට බුදුන් වැඳීම නයාට අඳුකොළ මෙන් බව කී මහෝපාධ්‍ය හිමියෝ භික්ෂූන් වහන්සේලා 350ක් පමණ සිටින නේවාසිකාගාරයේ බුදු මැඳුරෙහි බුද්ධ පූජාව තැන්පත් කරන්නේ නේවාසිකාගාර පාලක ලෙස කටයුතු කරන ගිහියකු බව පසුගියදා ප්‍රකාශ කර තිබිණි. එසේම මෙහි උග්‍ර නවක වධයක් ක්‍රියාත්මකය. ඇත්තෙන්ම මේ පරිහානියට මූලිකව වගකිව යුත්තේ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයයි. මෙහෙයවෙන්නේ මේ හරහාය. එය සැබවින්ම නවක භික්ෂුන් විනාශ කරන කෙමනකි. එයට අණ දෙන්නේ ගුණරත්නම්ගේ පක්ෂයයි. 2011 වසරේදී පවා මෙවන් අරබුදකාරී තත්ත්වයක් උදාවූ අතර ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තුළ චීවරය පොරවා ගත් සියයට පහකට අඩු පිරිස මත්පැන් හා ගංජා බොමින් ගෙන යන නින්දිත ක්‍රියා කලාපය නිසා විශ්වවිද්‍යාලය පමණක් නොව සංඝ සමාජය ද පිරිහෙන බව එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයක් විසින් එවර ප්‍රකාශයක් නිකුත් කරන තිබිණි. අදත් සිදුවන්නේ එයමය.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ආරම්භ කළේ කුමකටද? මෙම විශ්වවිද්‍යාලය 1981 අංක 74 දරන ආයතන හතරක් වශයෙන් ආරම්භ විය. පසුව 1995 අංක 37 දරන පනතින් ස්ථාපනය කරනු ලැබ හෝමාගම පිහිටුවන ලදි. පනතට අනුව එහි සුවිශේෂී වූ අරමුණු රාශියකි. එහි නිර්මාතෘ පූජ්‍ය මහාචාර්ය වල්පොල රාහුල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙහි පරමාර්ථ සටහන් කරමින්, ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි බුද්ධාගම පතුරුවාලීම සහ ධර්මදූත කටයුතු පෝෂණය කිරීම සඳහා බෞද්ධ ධර්මය සහ විනය පිළිබඳ ශාස්ත්‍රධරයන් පුහුණු කිරීම, ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි පාලි භාෂාව සහ බෞද්ධ දර්ශනය සහ බෞද්ධ සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම සහ වර්තමාන ලෝක සත්වයන්ට ගැළපෙන පරිදි එම අධ්‍යයන ක්ෂේත්‍ර නංවාලීම ආදී පරමාර්ථ සමූහයක් දක්වා ඇත. එහෙත් සිවුරු පොරවාගත් චන්ඩින් පිරිසක් මේ අරමුණු විනාස කර දමන බව පැහැදිලිව පෙනී යයි. එය බලවත් කනගාටුවට හේතුවකි. මහජන මුදලින් පවත්වාගෙන යන මේ විශ්වවිද්‍යාලයෙන් රටට යහපතක් අත්වන්නේද යන්න පැහැදිලිව සිතා බැලිය යුතු කාලය එළඹ තිබේ. මන්ද මේ චීවරධාරීන් නිසා මුළුමහත් සඟ පරපුරේම ගෞරවය විනාශවී යෑමට ඉඩදිය යුතු නැත.

අංගුත්තර නිකායේ තෘතීයික ්භාගයේ අනාගත භය සූත්‍රයේ දී බුදුන්වහන්සේ දේශනාකොට ඇත්තේ කෙදිනක හෝ සංඝ ශාසනය පිරිහෙන්නේ ශාසනය තුළ සිටින සංඝයා වහන්සේම නිසා බව ය. එහි සඳහන් පරිදි එයට හේතු හයක් ද විස්තර කර ඇත. දීඝ නිකායේ සීලක්ඛන්ද වග්ගයේ කේවඩ්ඩ සූත්‍රයේ සඳහන් වන්නේ භික්ෂුවක් කුමන හෝ හේතුවක් නිසා වත් රජකුගේ, කුමාරයකුගේ හෝ ගෘහපතියකුගේ පණිවිඩකාරයෙක් හෝ නියෝජිතයෙක් නොවිය යුතු බව ය. එහෙත් වර්තමානයේ පාරට බැස ඉතාම නොහික්මුණු ආකාරයෙන් ක්‍රියාකරන භික්ෂුන් කටයුතු කරන්නේ බෞද්ධ විරෝධීන්ගේ උපදෙස් අනුව නොවේද?

මෙරට සමස්ත භික්ෂූන් වහන්සේ සංඛ්‍යාව 40,595ක් බව මීට වසර දෙකකට පමණ පෙර ප්‍රකාශ වී තිබිණි. ඉන් උපසපන් භික්ෂූන් සංඛ්‍යාව 19,580 වන අතර සාමණේර භික්ෂූන් වහන්සේ සංඛ්‍යාව 21,015කි. මේ සියලු භික්ෂූන් වහන්සේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම නිකාය තුනක් යටතේ පිළිගත් පාර්ශ්ව 32කට පමණ අයත් වෙති. එමෙන්ම දසසිල් මාතාවෝ 2,168ක් දිවයින පුරා සිටිති. කවරක් නමුත් මේ පිරිස රැක බලා ගන්නේ මෙරට බෞද්ධ ජනතාව විසිනි. යම් සුළු පිරිසක් ශාසන විරෝධීව කටයුතු කරන්නේ නම් ඒ කණ්ඩායමට එරෙහිව රාජ නීතිය යටතේ මෙන්ම අදාළ නිකායෙන්ද යම් දඬුවමක් ක්‍රියාත්මක විය යුතුය. 1946 පෙබරවාරි 13 වැනිදා “භික්ෂුව සහ දේශපාලනය” යන හිසින් විද්‍යාලංකාර පිරිවෙන නිකුත් කළ ප්‍රකාශයේ දැක්වුණේ භික්ෂු ජීවිතයට කැළැල් නොවන පරිද්දෙන් අපේ රට වැසියාගේ යහපතට හේතුවන යම් වැඩ පිළිවෙළක් වේ නම් එහි නම දේශපාලනය වේවා එහි යෙදීමට භික්ෂුන්ට සුදුසු යනුවෙනි. නමුත් දැන් සිදුවන්නේ සිවුර ඉසුරුපායේ ගේට්ටුව අසල දමා පැනදුවන දේශපාලනයකි. එය කිසිසේත්ම භික්ෂුවට නොගැලපේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment