බුදුන් වදාළ ගුරු සිසු සම්බන්ධය

713

බුදුරජාණන් වහන්සේ විසින් ගුරු ශිෂ්‍ය සම්බන්ධය පිළිබඳව සිඟාලෝවාද සූත්‍රයේදී සිඟාල සිටු පුත්‍රයාට වදාළහ. සිඟාලෝවාද සූත්‍රයේ විස්තර කෙරෙන ෂඩ් දිශාවන්ගෙන් ගුරු ශිෂ්‍ය සම්බන්ධය සමාන වන්නේ දක්ෂිණ දිශාවටයි. ගුරුවරයා දක්ෂිණ දිශාවට සම කරනුයේ ඔහු ගුරු පූජාවට සුදුසුවන බැවිනි. ගුරුවරයා ශිෂ්‍යාගෙන් පූජා ලැබීමට නම් ඊට ගැළපෙන විෂය හැසිරීම් රටාවක් ගුරුවරයා සතු විය යුතුය. ගුරුවරයා තමාගේ දැනුම චර්යාවෙන් පෙන්වන්නෙකු විය යුතුය.”‍ ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට”‍ යන උපදේශ පිළිපදින්නෙකු විය යුතුය.

සිඟාලෝවාද සූත්‍රයේ දී ශිෂ්‍යයා විසින් ගුරුවරයා කෙරෙහි ඉටුකළ යුතු යුතුකම් පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.

1.ගුරුහු දැක හුනස්නෙන් නැගිටීම,ආචාර පැවැත්වීම
2.ගුරුවරයාට උපස්ථාන කිරීම
3.අවවාදවලට ඇහුම්කන් දීම
4.වතාවත් කිරීම
5.සකසා සිප් සතර ඉගෙනීම

ඉගෙනීම මූල්‍යමය ස්වරූපයක් ගත් වර්තමානයේ දී මෙන් නොව අතීතයේ දී ගුරුවරයාගේ ප්‍රසාදයට ලක්වන සේ ශිෂ්‍යයා හැසිරීම අවශ්‍ය විය. ගුරුවරයාගේ වචනයට අවවාද ආදියට ඇහුම්කන් දීම යනුවෙන් සඳහන් කරන්නේ ගුරුවරයා පවසන දෙය එලෙසින්ම පිළිගැනීම නොවේ. ගුරුවරයා පවසන දේ වුවද විචාර බුද්ධියෙන් යුතුව පිළිගැනීමේ අයිතිය ශිෂ්‍යයාට තිබේ. තමාට යමක් සත්‍යයි,නිවැරදි යැයි නොවැටහේ නම් එය ගුරු ගෞරවය නිසා කිසි විටකත් භාර නොගන්නා ලෙස බුදුරජාණන් වහන්සේ විසින් කාලාමයන්ට උපදෙස් දුන් බව කාලාම සුත්‍රයේ සඳහන් වේ.

තම ගුරුවරයාවගේ මතයට එකඟ නොවී යම්කිසි කරුණක් ගැන තමාගේ මතය බිය සැක නැතිව ඉදිරිපත් කිරීමට ශිෂ්‍යයාට නිදහස තිබිය යුතුය. ශිෂ්‍යයා ස්වාධීන තීරණ ගන්නා පුද්ගලයෙකු කිරීම ගුරුවරයා සතු වගකීමකි. ශිෂ්‍යයාගේ මතය පිළිගැනීම මදිකමක් යයි නොසිතා එය පිළිගැනීම ගුරුවරයාගේ යුතුකමයි. නිදහස් අදහස් ප්‍රකාශනයට ඉඩකඩ තිබිය යුතු බව මෙයින් පැහැදිලි වේ. එපමණක් නොව ගෝලයාගේ අදහස් වුව පිළිගැනීමට ගුරුවරයා සූදානම් වී සිටිය යුතුය.

ශිෂ්‍යයාට ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වීමට වඩා වැදගත් වන්නේ ශිෂ්‍යයාගේ සදාචාර වර්ධනය කිරීමයි. සදාචාර වර්ධනය කරමින් ගුරුවරයා සතු දැනුම උකහාගෙන ඉගෙන ගැනීම ශිෂ්‍යයකුගෙන් ඉටුවිය යුතු යුතුකමකි. ගුරුමුෂ්ටිය ඉතිරි කර නොගෙන සියල්ල ඉගැන්වීම ගුරුවරයකුගේ ස්වභාවය විය යුතුය. එලෙස උගන්වන කරුණු සකසා සිප් සතර ඉගෙනීම ශිෂ්‍යයාගෙන් ගුරුවරයාට ඉටු විය යුතු යුතුකමකි.

දරුවන් යහමග යැවීම හෝ නොමග යැවීම කළ හැක්කේ ගුරුවරයෙකුටයි. අහිංසක කෙනෙකු අංගුලිමාලයෙකු බවට පත්වන්නේද ගුරුවරයෙකු නිසාමයි. සමාජයේ ප්‍රගමනයට සදාචාරවත් දරුවන් සමාජගත කිරීමට ගුරුවරයෙකුට ඇත්තේ විශාල වගකීමකි. ගුරුවරයා ශිෂ්‍යාගෙන් පූජා ලැබීමට නම් ඊට ගැලපෙන විශේෂ හැසිරීම් රටාවක් ගුරුවරයා සතුව පැවතිය යුතුය.

රුවන් පුෂ්පකුමාර
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය
කැලණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment