බුදුන් වැඩිය මේ රටේ විනාශවලට ග්‍රහලෝක  මුල්වේද?

902

බුදුරජාණන් වහන්සේගේ වැඩම වීම තුන්වරක් සිදුවීමෙන් පාරිශුද්ධත්වයට පැමිණියා වූ මෙම ශ්‍රී ලංකා පුණ්‍ය භූමි තලයම දැන් යක්‍ෂයින් අරක් ගත්තා මෙන් ඉතා අවාසනාවන්ත සිද්ධිවලට පාත්‍ර වෙමින් ඉදිරියට ඇදීම ඉතාම පුදුම සහගතය. එදා අප මහ බෝසතාණෝ උපන් 35 වෙනි අවුරුද්දෙහි වෙසක් මස පුර පසළොස්වක දින මාර පරාජය කොට බුදුබව ලැබීමෙන් පසු සියලුම සත්ව සමූහයාගේ හිතසුව උදෙසා තමන් වහන්සේ ලබා ගත්තාවූ ඒ අමරණීය දහම් ආලෝකය දස දෙස පතුරවා හරිමින් සියලුම මනුෂ්‍ය සමූහයා වෙලාගෙන ඇති ‘තණ්හාව’ නමැති අඳුරු වළාව විනාශ කර දැමීමේ අවශ්‍යතාවය පෙන්වා දෙමින් එම කාර්යය සඳහා දිවි ගමනම කැප කළේය. එදා රජදරුවන් හා මුළු මානව සමාජයම උන්වහන්සේගේ දහම් ආලෝකයේ මානසික තෘප්තිය විඳිමින් ග්‍රහ ලෝකවලට අධිගෘහිත දෙවියන්ගේද පිහිට ලබමින් ධර්මකාමීව නිවහල්ව ජීවත් වූහ.

 නමුත් අද වන විට ශ්‍රී ලංකාව පමණක් නොව මුළුමහත් ලෝකයම මෙම ‘තණ්හාව‘ නමැති අඳුරුවලා රොදෙන් වෙලී අගාධයට වැටෙමින් පවතී. කෙසේ නමුත් බුදුදහම අනුව තණ්හාය ජායතී ශෝකෝ යන දහම් පාඨයේ සත්‍යතාවයද අද වන විට අප ජිවත් වන ශ්‍රී ලංකාවාසී ජනතා මානසිකත්වයට පැහැදිලි විය යුතුය. බුදුරජාණන් වහන්සේ තුන්වරක් වැඩම වීමෙන්  ශ්‍රී ලංකා දේශයේ එදා ඇතිවූ විනීත ගුණගරුක ධර්මකාමී සමාජ පරිවර්තනය අද විශාල වශයෙන් විනාශ වෙමින් පවතී. ජනතාව අතර තණ්හාවට උඩින් ක්‍රෝධය, වෛරය, පළිගැනීම ආදී පාපී සිතුවිලිද පිරී ඉතිරි පවතී.

 බුදුන් වැඩිය දේශය වුවත් ප්‍රාණ ඝාත, සොරකම, ස්ත්‍රී පුරුෂ, ළමා දූෂණ, බොරු කීම, කේලාම් කීම, සුරාව හා මත්ද්‍රව්‍ය පානය මේ ආදී සියලු අගතිගාමී ක්‍රියාවලින් මුළු ලංකා ධරනි තලයම අපිරිසිදුවී ඇත. ප්‍රාණ ඝාතය හා සත්ව හිංසනය බුදුන් වැඩිය මේ ශ්‍රී ලංකා භූමිය තුළ ඉවක් බවක් නැතිවම සිදුවේ. ගැබ් බරින් සිටින එළදෙනුන් සොරාගෙන මස් කරන්නේ ඉතා නින්දිත ආකාරයෙන්ය. බඩ පලා පැටවා එළියට ඇද දමා ඒ පැටවාත් එළදෙනත් එක තැනම මස් කරන්නේ මේ පාරිශුද්ධ භූමිය මත තබාගෙනය. රාහු සෙනසුරු කුජ සතුරු රාශී ගත පුරුෂයන් මෙම පාපකම්වල යෙදෙනු ඇත. සුරා හා මත්ද්‍රව්‍ය පානය කරන ස්ත්‍රීන් තම ලේ කැටි දරුවා පවා මහ මග දමා යන්නේ මෙම ග්‍රහ බලපෑම නිසාය. විෂ්ණු කතරගම ඊශ්වර යන දෙවිවරුන් කෝප වීමත් සමග ඉහත පාපග්‍රහයින් ලංකා කේන්ද්‍රයේ ඒරාෂ්ඨකය කුජ සමග දරුණු වීම මත අද ලේ සොලවන තත්ත්වයකට පත්වී හමාරය. ඒ සමගම මේෂ රාශියේ සතුරු ගෝචර ගමනක සිටින රාහුද තුලාවේ ගෝචරයේ යෙදෙන කේතුද පීඩිත ජනතාවගේ මානසිකත්වය දරුණු කරන්නේ චායා ග්‍රහයන් වශයෙන් සැඟවී සිටය.

 ඒ අතරම 2020 මාර්තු 30 වෙනි දින ගුරු ග්‍රහයා ලංකා කේන්ද්‍රයේ දොළොස්වැන්නේ මකර රාශියේ නීච තත්ත්වයට පත්වීම සමග ශ්‍රී ලංකාව පුරා කොරෝනා වසංගතය පැතිරීමෙන් ජනතාවගේ විනාශය ආරම්භ වූයේ නව රජයේ නැවුම් අවස්ථාවේදීමය. රජයට මෙය දරාගත නාහැකි බලවත් පහරක් විය. අධික ආර්ථික ව්‍යසනයකට මග පෑදුනේය. සෙනසුරු ඒ වන විට 2020 ජනවාරි 24 දින මකර රාශියට එනම් ලංකා කේන්ද්‍රයේ විනාශකාරී දොළොස්වැන්නට පැමිණීමෙන් ලග්න ඒරාෂ්ඨකය ආරම්භ විය. මෙම ග්‍රහමාරු දෙකම මේ රටේ අද පවතින මහා දරුණු ආර්ථික විනාශයට මෙන්ම ජනතා ගැටලුවලට හේතු විය. බුදුන් වැඩිය මෙම දේශයේ බෞද්ධයින් වන හෝ නොවන සමහර බොහෝ දෙනා සිදුකරන බලවත් ඛේදජනක පාපකර්මවල විපාක දඬුවම් දැන් විඳීමට සිදුවී ඇත. මෙය ග්‍රහලෝකවලට සම්බන්ධ විෂ්ණු, කතරගම, ඊශ්වර හා සමන් ආදී දෙවිවරුන්ගේ කෝපවීමක් බව දැන් සිතට නැඟේ. මේ ගැන අද ශ්‍රී ලංකාව තුළ පවතින ප්‍රධාන දේවාලවල දේව ගැති මහතුන් සොයා බැලිය යුතුය. ඒ සඳහා යම් ශාන්තිකර්ම තිබේනම් ඒ ගැන විමසිලිමත් විය යුතුය. තමන් හදා වඩා කවා පොවා දැඩි කළ දරුවෝ දෙමාපියන්ට පවා දැඩි හානි කරන මෙම බෞද්ධ රටේ දෙවියෝ කෝප නොවී සිටීද? ග්‍රහලෝකවලට අරක්ගත් විශ්වය පුරා සැරිසරන දේව කොට්ඨාස කෝප කරන මේ රටේ බෞදධ ජන සමාජය සිදුකරන අනර්ථකාරී බොහෝ ඇතත් අද ඒවා පුන පුනා එළිදැක්වීමෙන් වැළකී සිටීම හොඳ යයි මට සිතේ. මට අවශ්‍ය වන්නේ මෙම ලිපියට අදාළ මාතෘකාව විග්‍රහ කිරීමටය.

 කෙසේ නමුත් පසුගිය පෙබරවාරි 26 වැනිදා සිට මැයි මස 17 වැනිදා දක්වා මකර කුම්භ රාශි දෙක තුළ ගමන් කරන කළහකාරී කුජ ග්‍රහයා කුමක් කරයිද? යන්න විමසිලිමත් විය යුතුය. මැයි 18 වෙනි දින කුජ සමග නැප්චූන් යුධ වැදීමෙන් නැප්චූන්ට ජය හිමිවේ. මේ අනුව රට තුළ පවතින මුදල් ගැටලු තව තවත් අවුල් සහිත වන තත්ත්වයක් උදාවෙන බව පෙනේ.

 2004 දෙසැම්බර් 25 ශ්‍රී ලංකාවට සිදුවූ සුනාමි ව්‍යසනය අප කාටත් අමතක නොවේ. ශ්‍රී ලංකා මුහුදුබඩ තීරය මුල්කරගෙන ජාති ආගම් භේදයෙන් තොරව එක සමානව විලාප දෙමින් සිදුවූ විනාශයද මෙම විශ්වය තුළ අනිෂ්ඨ ක්‍රියාවන්වලට එරෙහි වූ ග්‍රහ බලපෑම්වල ප්‍රතිඵලයකි. 2004 අගෝස්තු 28 දා ගුරු කන්‍යා රාශියට සතුරුවී ගෝචරය සිදුවූයේ ලංකා කේන්ද්‍රයේ අටවැන්න වූ මාරක ස්ථානයටය. ඊට ප්‍රථම 1992 සැප්තැම්බර් 11 දා ගුරු ලංකා කේන්ද්‍රයේ අටවැන්නට ගෝචර ගමන සිදුවිය. වසර 12 කට වරක් ගුරුගේ මෙම සතුරු ග්‍රහ මාරුව ශ්‍රී ලංකාවට අමතක නොවන විපාක ව්‍යසන ගෙන දෙන කාලයකි. ගුරු ග්‍රහය සැමට සෙත සලසන ලෝකෝත්තර ග්‍රහයෙක් වුවත් පාපකර්මවලට විපාක ඇති කරන්නේ රාශි මාරුවීම් අනුව අවස්ථාව ලැබූ විටය. මෙහිදී ලංකා කේන්ද්‍රයේ කන්‍යා මකර රාශි දෙක තුළ ගමන් කිරීම විශේෂ වන්නේ 8 වැන්න හා දොළොස්වැන්න අසුබ ස්ථාන නිසාය. දේව කෝප පවා සිදුවන්නේ ගුරුගේ මෙම ගෝචර තත්ත්වයන් පදනම් කරගෙනය. දෙවියන්ගේත් ගුරු සුරගුරු කියන්නේද ඒ නිසාය.

 කෙසේ නමුත් මෙහිදී මෙය කියවන ඔබට එක් දෙයක් පැහැදිලි කර දිය යුතුය. එනම් බුදුන් වැඩිය මෙම ශ්‍රී ලංකා ධරනි තලයේ උන්වහන්සේ පෙන්වා දුන් පාපකර්ම විපාක දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් ලබාදීමට දුකට අධිපති සෙනසුරුත්, පිනට දහමට ලෝකෝත්තර සිතුවිලි ඇති කරන ගුරුත් නිතරම යුහුසුළුවන බවය. ඒ සඳහා ලංකා කේන්ද්‍රයේ අටවැන්න හා දොළොස්වැන්න යන භාව ස්ථාන උපයෝගී කරගනී. රාහු කේතු යන චායා ග්‍රහ බලපෑම්ද කුජ ග්‍රහයාද කැපීම් කෙටීම්, වෙඩි තැබීම්, ගිනි තැබීම් ආදී දිට්ඨ ධම්ම වේදනීය විපාක දීම සිදුකරනු ඇත. මේ අතර චන්ද්‍රයාද සාගර ජලය කැළඹීම, ගං වතුර හා සුළි සුළං මාර්ගයෙන් දඬුවම් ලබාදෙනු ඇත. කෙසේ නමුත් ග්‍රහ මණ්ඩලයේ සියලුම ග්‍රහයන් මනුෂ්‍යයාගේ මනස දරුණු කිරීමටත්, පාප ක්‍රියා සිදු කිරීමටත්, ධර්මානුකූල වීමටත් ඒ ඒ භාව අනුව හේතුවන බව පෙන්වා දෙමි. ඒ අනුව බුදුන් වැඩිය මේ රටේ විනාශවලට හේතුවන්නේ මිනිස් සංහතියෙන් සිදුවන දරුණු පාප ක්‍රියා බලපෑම් බව කිව යුතුය. ඒ සඳහා විශ්වයේ ග්‍රහ ලෝකවල කිරණ ඉතා තදින් ක්‍රියාත්මක වන බව කිව යුතුය.

ජ්‍යොතීර්වේදී ජේ. ගුණපාල,
170 පාදුක්ක පාර, අරමණාගොල්ල, හොරණ
 දු.අංකය – 0774 347 574

advertistmentadvertistment
advertistmentadvertistment