බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමන

1248

බුදුරජාණන් වහන්සේ පළමුවර ලක්දිව වැඩම කළේ දුරුතු (ජනවාරි) පුණු පොහෝ දිනෙක ය. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ වෙසක් පුණු පොහෝ දිනෙක පස්මරුන් බිඳ සව් කෙලෙස් මුල් සිඳ නසා චතුස්සත්‍යාවබෝධයෙන් ලොවුතුරා බුදුබවට පැමිණ ඇසළ මස පුණු පොහෝ දිනෙක බරණැස ඉසිපතනයේ – මිගදායේ දී දම්සක් පවත්වා, “මහණෙනි!” යි ශ්‍රාවකයන් අමතා: “චරථ භික්ඛවෙ චාරිකං” “සැරිසරා යව් මහණෙනි” යි සිය රහත් සව්වන් ධර්මදූත කාර්යයෙහි යොදවා තමන් වහන්සේ ද උරුවෙල් දනව්වට වැඩම කළහ. එහිදී උරුවෙල කාශ්‍යපයන්ගේ පාපොච්ඡාවක් නිසා එතැනින් නික්ම උතුරුකුරු දිවයිනට වැඩම කොට පිඬු සිඟා ගෙන අනවතප්ත විල ඉවුරෙහි දී එය වළඳා සමවත් සමවැද එයින් නැඟී, බුදු ඇසින් ලොව බලන්නාහු මේ සිරිලක් දිව ද දුටුසේක. එකල මේ හෙළදිව යක්‍ෂ රාක්‍ෂාදීන්ගේ වාසභූමියක්ව පැවැත්තේල. (“යක්‍ෂ” යන්නෙන් හඳුන්වන්නේ දැන් මිනිසුන් සිතන අන්දමේ අමනුෂ්‍ය විශේෂයක් නොව යක්‍ෂ නාමයෙන් සිටි මනුෂ්‍ය විශේෂයක් යැයි ඇතැම් උගත්තු පිළිගනිති.)

ලක්දිවට වැඩම කොට යක් රකුසන් දමනය කොට ඔවුනට යහමඟ පෑමෙන් මෙලකට වන සෙතත්, මතු බුදුසසුන් පිහිටුවීමට මේ දිවයින ශොභන භූමියක් හෙවත් දහම් බිජුවට වපුරන්නට සරු කෙතක් වන බවත්, බුද්ධ ශාසනය ලංකා භූමියෙහි දිගු කලක් මැනවින් පිහිටන බවත්, සිංහලයන් එය රැකැ බලා ගන්නා බවත් තථාගතයන් වහන්සේ දැන වදාළ හ.

මහියංගණයට වැඩම කළ සැටි –

ඉක්බිති මහර්ෂී වූ ඒ තථාගතයන් වහන්සේ බුද්ධත්වයෙන් නවවැනි මස දුරුතු පුණු පොහෝදා මේ දිවයිනට අහසින් වැඩම කොට මහවැලි ගං ඉවුරෙහි මහානාග උයනෙහි – දැනට මහියංගණ ස්ථුපය පිහිටි තැන – ඍධි ප්‍රාතිහාර්ය පා යක් රකුසන් දමනය කොට ඔවුන් තිසරණ පන්සිල්හි පිහිටුවා අභය දී සෙත් පිරිත් වදාරා ධර්මානුශාසනා කොට පෙරළා උරුවෙල් දනව්වට ම වැඩම කළ බව ද්වීපවංසයෙහි මෙන් ම මහාවංසයෙහි ද සඳහන් වේ.

මෑතෙක දී වෙදෙහ නමැති හිමිපාණන් විසින් රචිත “සමන්තකූට වර්ණනා” නමැති පාලි පද්‍ය කාව්‍යයෙහි ද බුදුරදුන් ලක්දිවට වැඩම කළ තුන් වාරයම පිළිබඳව වර්ණනාත්මක වූ ද පැහැදිලි වූ ද විස්තරයක් දක්නට ලැබේ.

සමන් දෙවියන් කළ මහියංගණ චෛත්‍ය –

බින්තැන්න මහත් කදිම සෞන්දර්යයකින් යුත් තැනක්යැ’යි ලියන මහනුවර සමයෙහි (1602 දී) මෙහි සිටි ස්පිල්බර්ජන් නමැති ඕලන්ද අද්මිරාල්තුමා මේ මහියංගණ චෛත්‍යය වර්ණනා කරන්නේ ‘උස්වූ ද, නෙත් සිත් ඇඳගන්නා සේ දර්ශනීය වූ ද සෑයක් හැටියට යි.

1726 දී වැලන්ටයින් නමැත්තෙක් ද “ලංකාව’ යන මැයෙන් ලියූ පොතෙහි බින්තැන්න විස්තර කෙරෙයි. ‘මහා මාර්ගයන්ගෙන් හා කමනීය ගොඩනැඟිලිවලින් ද පූජනීය විහාරාරාමයන්ගෙන් ද ගැවසීගත් මේ බින්තැන්නෙහි උස්වූ සුභ්‍රවර්ණවූ එක් චෛත්‍ය රාජයෙක් පුදුමාකාරයෙන් බබළා දීප්තිමත්වූ මේ චෛත්‍යය දුර සිට බලන්නකුට පෙනෙන්නේ පූජනීය වස්තුවක් හැටියට ය.” යන්නෙන් ඒ මහතා වර්ණනා කරන්නේ මහියංගණ චෛත්‍යය යි. එහෙත් 1848 වනවිට මේ චෛත්‍යය බිඳ වැටුණු බව එමර්සන් බෙනට්තුමා කියයි. මේ සෑය එතුමා දකිනවිට හඳුනාගත නො හැකි තරමට උඩ කොටස බිඳවැටී තිබුණ බව සඳහන් කරයි. 1851 දී, එකල මහියංගණයේ නායක පදවිය දැරූ මහනුවර අස්ගිරි විහාරයේ ඉඳවලුගොඩ ධම්මපාල නායක මාහිමියන් වත්තේගම සුමංගල නායක මාහිමියන්ගේ ද නීලවල කපුලියද්දේ හා රිදීමහලියද්දේ යන පින්වතුන්ගේ ද සහාය ඇතිව මුළු දිවයිනෙන් ම ආධාර ලබාගෙන බිඳවැටුණු කොටසේ වැඩි හරියක් ප්‍රතිසංස්කරණය කරන ලදී. එහෙත් 1875 දෙසැම්බර් 31 වැනිදා නැවත ද සෑය බිඳ වැටුණු විට එකල මහියංගණ විහාරාධිපති අස්ගිරි පාර්ශ්වයේ යටවත්තේ චන්‍දජොති අනුනායක මාහිමියන් ප්‍රතිසංස්කරණ කටයුතු භාරව ක්‍රියා කළ බව පෙනේ. සම්පූර්ණ ප්‍රතිසංස්කරණයක් ලැබූ චෛත්‍ය රාජයා නියම උපදේශයන් අනුව නො තැනුණු නිසාදෝ 1900 දී නැවත බිඳ වැටුණි. 1909 දී යළිත් වරක් ප්‍රතිසංස්කරණ කටයුතු කළ නමුදු සතුටුදායක නොවී ය.

දකුණේ රුහුණු මාගම සිට උතුරේ රජරට පිහිටි අනුරාධපුර ශුද්ධ නගරය බලා යන මහ මාවතෙහි පිහිටා තිබෙන මහියංගණය ඈත අතීතයේ සිට ම රජදරුවන්ගේ ආරක්‍ෂා ස්ථානයෙකි. කඳවුරෙකි. කදිම සෞන්දර්යයකින් හා ශ්‍රී විභූතියෙකින් යුක්තව පැවැති පෙදෙසෙකි.

මහියංගණ යනු බිම්තැන්නයි. ‘මහි’ යන්නෙන් බිමත් ‘අංගණ’ යන්නෙන් තැන්නත් – මළුවත් – කිය වේ. ශබ්ද දෙක එක් වී බිම්තැන්නයි සිද්ධ යි. මෙයම කීමේ පහසුවට බින්තැන්න විය. මේ පැරැණි බිම්තැන්න යන කදිම හෙළසඳ මහියංගණ කියා පාලියට පෙරළුෑ සැටිත් එය ම පසුව මියුඟුණු කියා සිංහලට පෙරළා ගත් සැටිත් තේරුම් ගත යුතුය. බින්තැන්න යන නාමය අද දක්වාත් නො නැසී පවතී. මහනුවර සමයේ දී මීට අලුත්නුවර යන නාමය ද දෙන ලදී.

මහියංගණයේ උපන් බෝසත් කුමරා – තවද, මහියංගණය පිළිබඳ වූ විශේෂ වැදගත් සිද්ධියක් ඔබ විසින් නිති මෙනෙහි කටයුතු. අපගේ බෝධිසත්ව ගුණොපෙත ශ්‍රී සංඝබෝධි කුමරුවන්ගේ ජාතභූමිය වූයේත් මහියංගණයට නුදුරු ‘මයිලඹේ නම් ගමෙක් හිය. පුණ්‍ය ලක්‍ෂණයෙන් හෙබි භාග්‍යසම්පන්න වූ මේ අලාමක පුත්‍රරත්නයගේ අභිවෘද්ධිය හා ආරක්‍ෂාවත් පැතූ පියරජ තෙමේ මුවින් හමන කිරිසුවඳැති කුමරාත් හැර ගෙන ගොස් මහියංගණ විහාරයෙහි රැස් වූ නන්ද මහරහතන් වහන්සේ ප්‍රධාන මහසඟුන් මැද හොවා අත් මුදුන් දී ‘ස්වාමීනි! මාගේ කුමරා මහා සංඝයා වහන්සේ ද බොධිද්‍රැම රාජයාණන්ගේ ද සරණ යන්නේ ය. ඔහු ආරක්‍ෂා කරන සේක්වා! මේ කුමරු නමින් “සංඝබොධි” නම් වේවා! යි කියා කුමරුන් මහසඟනට භාර කළ බව ඉතිහාසයෙන් හෙළි වේ. මහියංගණ චෛත්‍යරාජයාගේ සෙවණෙහි ඉපිද වැඩුණු සිරිසඟබෝ කුමරා මාමා වූ නන්ද මහරහතන් වහන්සේගෙන් ධර්මශාස්ත්‍රොද්ග්‍රහණය කළේ මහියංගණ විහාරයෙහි ය. එහි දැනට ඇති බොධි රාජයා අනුරාධපුර ශ්‍රී මහාබොධින් වහන්සේගේ ම අංකුරයක් බව ද සලකනු ලැබේ. ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ලංකාද්වීපයට වැඩම කිරීම පිළිබඳ පුවත ඇදහිය හැකි ද නො හැකි ද යන්න කලක සිට ම අප රට සමහරුන් අතර – විශේෂයෙන් උගතුන් අතර පවත්නා ප්‍රශ්නයෙකි. මේ ප්‍රශ්නය හුදෙක් ආගම නයින් ම විසඳිය යුතු, විසඳිය හැකි එකක් නොවේ. මෙය බොහෝ දුර ඉතිහාසයෙන් විසඳිය යුත්තෙකි.

ඉතිහාසයෙහි සඳහන් කරුණු –

තථාගතයන් වහන්සේ තුන්වරක් ම මේ දිවයිනට වැඩම කළ බව ලංකා ඉතිහාසයෙහි සඳහන්ව එයි. බුදුබවට පැමිණි නව වන මස මහියංගණයටත්, පස්වැනි මස ලක්දිවට ම ඇතුළු වූ නාග ද්වීපයට ත්, අටවැනි මස කැලණියටත් වැඩම කළ බව ඉතිහාසය කිය යි.

මේ පිළිබඳ තොරතුරු ඇත්තේ දීපවංස හා මහාවංස ඉතිහාස ග්‍රන්ථයන්හි ය. ද්වීපවංසය ද්වීප ඉතිහාසය කියවෙන ආදිම ග්‍රන්ථය (දැනට නො නෑසී ඇති පොත් අතර) හැටියට සලකනු ලබතත් එහි කර්තෘ කවරෙක් දැයි මෙතෙක් දැනගෙන නැත. ග්‍රන්ථ නිර්මාණය ද අසුවල් කාලයෙහි සිදුවී යැයි නිශ්චය වශයෙන් ම නොකිය හැකි වුවත් සතරවන ක්‍රිස්තු ශතාබ්දය අගැ දී ලියවුණු බව ඉතිහාසඥයන්ගේ මතය යි. දීපවංසයේ ම ආ ඇතැම් කරුණු මහාවංසයෙහි වඩා විසිතුරුව, විශද්ව, ව්‍යක්තව කියා තිබෙන බව පෙනේ. මේ ද්වීපවංසය මහාවංස කර්තෘන්ට පමණක් නොව අර්ථ කථාචාර්ය බුද්ධඝොෂ මාහිමියන්ටත් උපකාර වූ බව නිශ්චය වශයෙන් ම කිය හැකි ය. සමන්තපාසාදිකා නැමැති විනය අටුවාව ලියද්දී සංගීති කථා ආදිය විස්තර කරන බුදුගොස් මාහිමියනට දීපවංසය වහල්වුණු බව ‘වූ තම්පි චෙතං දීපවංසෙ’ යන ආදීන් පැහැදිලි ය.

දීපවංස කතුතුමන්හට තම ග්‍රන්ථය ලියන්නට කොයින් කරුණු ලැබුණේ ද? යන ප්‍රශ්නය මීළඟට පැන නැඟේ. බුද්ධඝොෂ මාහිමියන් පැරණි හෙළ අටුවා වහල් කොට ගෙන පාලි අටුවාවන් කළාක් මෙන් දීපවංස කර්තෘන්හටත් “සිංහලට්ටකථා මහාවංස’ ආදී පැරැණි වැදගත් හෙළ අටුවා ඉවහල් වූවාට සැකයක් නැත. මෙසේ බලන කල බුදුරජුන්ගේ ලංකා ගමන පිළිබඳ පුවත දුරාතීතයේ සිට ම මුඛ පරම්පරා වශයෙනුත්, ග්‍රන්ථාරූඪවත් ආ බව ඇදහිය හැකි ය. එහෙත්, මේ ලංකා ගමන පිළිබඳව ශ්‍රී මුඛ පාලියෙහි හෙවත් ත්‍රිපිටකයෙහි කිසිවක් සඳහන් වී නැත. ‘ත්‍රිපිටකයෙහි ආ දෙයක් ම ය අප පිළිගන්නේ’ යැයි කියන්නවුන්හට මේ කරුණෙහි ලා නිහඬ වෙනුවා විනා වෙන කට හැක්කක් නැති බව කිය යුතුය. අටුවා ටීකාගත හැම කියුම් හා පොරණැදුරන්ගේ හැම කීමුත් ‘මිත්‍යාමතය’ යි ඉවත ලන්නට ඉක්මන් නොවන අයට නම් මෙය ප්‍රහෙලිකාවක්වත්, නො ඇදැහිය හැකි දෙයක්වත් නො වනවා ඇත.

(1964 දී ලියන ලද්දකි.)

බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමන

බම්බලපිටිය වජිරාරාමාධිපතිව වැඩවිසූ
අපවත්වී වදාළ
පූජ්‍ය පියදස්සී නාහිමි

advertistmentadvertistment
advertistmentadvertistment