බුධ සඳුගේ නිවසට සැපත් වෙයි

4710

තර්කයට, බුද්ධියට, වචනයට, කාරක ග්‍රහයෙකු වන බුධ ග්‍රහයා තමාගේ සතුරු රාශියක් වූ කටක රාශියට 2024.06.29 දහවල් 12.27 ට ගෝචර වෙයි. එය කෙසේදැයි බලමු. කුම්භ ලග්න ලංකා කේන්ද්‍රය තුළ 8 අධිපති 6ට යෑම තුළ සරල යෝගය පවතින අතර ඒ හේතුව නිසා රජය සමහර අවස්ථාවලදී බුද්ධිමතුන්ගෙන් උපදෙස් ලබා ගන්නා බවක්ද පෙනේ.

මෙදින තත්කාල ලග්නය වශයෙන් කන්‍යා ලග්නයත්, මිථුන නවාංශකයත් යෙදී තිබුණි. ලග්නාධිපති බුධ අයස්ථානය හෙවත් 11 වැන්නට යෑම තුළ ලැබීම් වලට මෙන්ම බුද්ධිමතුන්ට යහපත් වෙයි. එසේම 12 අධිපති මෙන්ම රාජ්‍යකාරක රවි 22 දෙර්කාණාධිපතිට අයත්ව තිබීම මත රජයේ අභ්‍යන්තර ගැටුම්, ගැටලු වර්ධනය වීමක්ද පෙන්නුම් කරයි. ඒ අනුව ඉදිරි දින 21 තීරණාත්මක විය හැක. එසේම බුධ ජල රාශියක ගමන් කිරීම තුළ යම් යම් ප්‍රදේශ වලට වර්ෂාපතන පෙන්නුම් කරන අතරම ජල ගැලීම් තත්ත්වයත් හා ගමනාගමනවලට බාධා ඇති කරයි. එමෙන්ම සරසවි ශිෂ්‍යයන්ට, පාසල් සිසුන්ට ඉදිරි දින 21 යම් යම් කරදර, හිරිහැර පවා ඇති කෙරේ.

බුධගේ ග්‍රහ ගෝචරය ඉදිරි දින 21 ඒ ඒ ලග්න වලට බලපාන අයුරු කෙසේදැයි අප බලමු.

මේෂ ලග්නය – මේෂ ලග්න හිමියන්ගේ බුධ හතර වැන්නට ගෝචරය යහපත් බවක් පෙන්වයි. මේෂ ලග්න හිමි අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ට මෙම දින 21 යහපත් වේ. විදෙස් ගත වීම බලාපොරොත්තුවෙන් සිටි ඔබට එම කටයුත්ත සාර්ථක වන බවක් ද වේ. ලැබීම් අතින් හොඳයි. තරමක් ආවේගශීලී වීමට පිළිවන.

වෘෂභ ලග්නය – වෘෂභ ලග්න හිමියන්ගේ බුධ තුන්වැන්නට ගෝචර වීම බුද්ධිය මෙහෙයවා කටයුතු කරන අයට ඉතා යහපත්ය. එසේම ලේඛන කලාවේ නියැලී සිටින අයට ද ඉතා යහපත්ය. ඒ අනුව ඉදිරි දින 21 වෘෂභ ලග්න හිමියන්ට ද යහපත් ප්‍රතිඵල උදා කරයි.

මිථුන ලග්නය – මිථුන ලග්න හිමියන්ගේ බුධ දෙවැන්නට හෙවත් ධනස්ථාන ගත වීම යහපත් වුවද දසවැන්නේ සඳු සමඟ රාහු සිටීම මත රැකියාවේ අර්බුදකාරී තත්ත්වයක් ඉදිරි දින 21 කාලය තුළ ඇති කරයි.

කටක ලග්නය – කටක ලග්න ඔබට බුධ ගෝචර වීම යහපත්ය. බුද්ධිය මෙහෙයවා කටයුතු කරන අයට ඉතා හොඳයි. නමුත් ඔබට 2025 මාර්තු 30 වන තුරුම අෂ්ඨම ඒරාෂ්ඨක අපල තත්ත්වයක් පවතින හෙයින් එදිනෙදා කටයුතු වලදී ඉවසීමෙන් කළ යුතුව ඇත.

සිංහ ලග්නය – සිංහ ලග්න ඔබට ජුනි 29 සිට දින 21 ක් ලැබීම් වලට බාධා අවහිරතා ඇති කරයි. වියදම් සහිතයි. විටෙක ආවේගශීලී බව මතු කරයි.

කන්‍යා ලග්නය – කන්‍යා ලග්න ඔබගේ කේන්ද්‍රයේ බුධ හෙවත් ලග්නාධිපති 11 වැන්න හෙවත් අයස්ථාන ගතව පිහිටීම ඉතා යහපත්ය. ලැබීම් වලට හොඳයි. නමුත් ඔබ විවාහ වී ඇති අයෙකු නම් පවුල් සංස්ථාව තුළ අඩදබර ඇති කරයි. සමස්තයක් ලෙස සලකන විට කන්‍යා ලග්න හිමියන්ට බුධගේ ගෝචරය ඉතා යහපත් වේ.

තුලා ලග්නය – තුලා ලග්න ඔබගේ භාග්‍යස්ථානයට අයත් බුධ කර්මස්ථාන ගත වීම රැකියාවේ උසස්වීම්, තනතුරු ලැබීමට පවා ඔබට වාසනාව පවතින දින කිහිපයකි.

වෘශ්චික ලග්නය – වෘශ්චික ලග්නය හිමි ඔබට බුධ නමවැන්නේ ගෝචර වේ. බාධක ස්ථානයට ගෝචර වීම තුළ යම් යම් බාධක තත්ත්වයන්ද ඇති කෙරේ. ඒ අනුව ඉදිරි දින 21 ක කාලය කරන කියන කටයුතුවල බාධක ඇති කරයි.

ධනු ලග්නය – ධනු ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ බාධක බුධ ග්‍රහයා අට වැන්නට පැමිණේ. මේ නිසා රැකියාවේ ප්‍රශ්න, විවාහ ප්‍රශ්න පැන නගී. ඉවසීමෙන් කටයුතු කළ යුතු දින කිහිපයකි. ඔබ විසින් මේ කාලය තුළ ධාර්මිකව කටයුතු කිරීමෙන් අපල සමනය කර ගත හැක.

මකර ලග්නය – මකර ලග්න හිමි ඔබගේ කේන්ද්‍රයේ බුධ භාග්‍යස්ථානයට අධිපති වේ. රෝග ස්ථානයටත් අධිපතිය. බුධ සතුරු රාශියක් වූ හත් වැන්නට ගෝචර වීම තුළ පවුල් සංස්ථාව තුළ යම් යම් ගැටලු ඇතිවීමට ද පිළිවන. සිතේ චංචල බව ඇති කරයි. ශනිගේ ගෙවෙන ලග්න ඒරාෂ්ඨකයක් පවතින හෙයින් ඉවසීමෙන් කටයුතු කිරීම එවිට සුබ ඵල ලැබිය හැක.

කුම්භ ලග්නය – කුම්භ ලග්න හිමි ඔබගේ බුධ රෝගස්ථානයට වන හය වැන්නට ගෝචර වෙයි. මෙසේ පැමිණෙන්නේ අටවැන්නාධිපතිය. සතුරන් පරාජය කර ජයග්‍රහණය ලැබිය හැක. අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ට ඉතා යහපත් දින කිහිපයකි.

මීන ලග්නය – මීන ලග්න ඔබගේ කේන්ද්‍රයේ පස් වැන්නට බුධ පැමිණේ. පාසල් ශිෂ්‍යන්ට අධ්‍යාපන කටයුතු ආදියට යහපත් වෙයි. ශනිගේ ලග්න ඒරාෂ්ඨක අපලයක් ඇතත් උත්සාහය මත කටයුතු කිරීමෙන් සහ දැහැමින් කටයුතු කිරීමෙන් බාධක ජයගනු හැකි වනු ඇත.

බුධ සඳුගේ නිවසට සැපත් වෙයි

සමස්ත ලංකා වෘත්තීය ජ්‍යොතිෂවේදීන්ගේ සංගමයේ ලේකම්
ආචාර්ය. පී.කේ.තරංග කුමාර
077 796 2658

advertistmentadvertistment
advertistmentadvertistment