බුරුතු පිටින ලොක්කෝ මාට්ටු වෙන දැරිය අපයෝජනයේ අලූත්ම හෙළිදරව්ව

603

* කෝටිපති ව්‍යාපාරිකයන් දේශපාලකයෝ වෛද්‍යවරු ඇතුළු ඉහළ වෘත්තිකයෝ ඒ අතර
 

ගයාන් සමරසිංහ

මොරටුව ලක්ෂපතිය ප‍්‍රදේශයේ පදිංචි රජිව් නමැති මුදලට කාන්තාවන් විකුණන තැරව්කරුවකුට පහළොස් හැවිරිදි දියණිය, තම නැගණිය සේ පවසමින් මුදලට විකිණීම සඳහා ලබාදුන් සිද්ධිය මෙරට ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පසුගිය දිනවල පත්විය. සමාජයේ විවිධ අය ඒ පිළිබඳව බොහෝ කතාබස් කළහ. එම නිසා පොලිසියේ ද වැඩි අවධානයක් මෙම සිද්ධිය වෙත යොමු විය.

එම හේතුව නිසා ගල්කිස්ස පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කළහ. එහිදී මෙම බාලවයස්කාර දැරියව සමාජයේ පිළිගත යුතු මට්ටමේ වෘත්තීන්වල නියැලෙන පුද්ගලයින් පවා ලිංගික කටයුතු සඳහා මිලදී ගෙන ඇති බව දැනගන්නට ලැබුණි. එලෙස මිලට ගත් පිරිස සොයා පොලිස් නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ. එ අනුව මෙම ලිපිය ලියන මොහොත වන විටත් සැකකරුවන් තිස් දෙනෙකු පමණ පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි.

එලෙස අත්අඩංගුවට ගත් පිරිස් අතර මැණික් ව්‍යාපාරිකයකු, චීවරධාරියකු, නැවක කපිතාන්වරයකු, ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයින් සහ මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ද සිටියහ.

මෙම සිද්ධියේ 29 වන සැකකරු ලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා ගැන සමාජයේ බොහෝ අය යළි කතා කිරීමට පටන් ගත්හ. ඒ ඔහු මාලදිවයින් ජාතිකයෙක් නිසාය. ඔහු මාලදිවයින් හිටපු රාජ්‍ය මුදල් ඇමැතිවරයා ද වේ.

මාලදිවයිනේ හිටපු මෙම මුදල් ඇමැතිවරයා නමින් මොනමනි අසාමිලි නම් වේ. මොහු මාලදිවයිනේ ඩිරාගු ආයතනයේ සභාපති, මාලදිවයිනේ ජාතික තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන ප‍්‍රධානි ඇතුළු තනතුරු හොබවා ඇති අතර මෙරටට පැමිණ ඇත්තේ ශිෂ්‍ය වීසා ලබාගෙනයි.

පසුගියදා තහනමට ලක්වූ ලංකා ඇඞ් නමැති වෙබ් අඩවිය හරහා පළ වූ දැන්වීමක් හරහා මෙම දැරිය අඳුරාගෙන අපයෝජනය කර තිබේ. ඔහු එලෙස දැරිය අපයෝජනය කර ඇත්තේ දැනට මාස හතරකට පමණ ඉහතදී කොල්ලූපිටිය ප‍්‍රදේශයේ හෝටලයක් තුළදීය. ඒ අනුව සැකකාර එම මාලදිවයින් ජාතිකයාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 16 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

බාලවයස්කාර දැරිය එලෙස අපයෝජනය කළ 29 වැනි සැකකරුට එලෙස දඬුවම් ලැබුණු අතර 30 වැනි සැකකරු ද පසුගිය දින අත්අඩංගුවට ගත්තේය. එම තිස් වැනි සැකකරු එසේ මෙසේ පුද්ගලයකු නොවේ. ඔහු මෙරට හෘද රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකි.

අපයෝජනයට ලක්වූ දැරියගේ ජංගම දුරකථනය පරීක්ෂා කරන විට ”ඩොක්ටර් දිමුතු” යනුවෙන් දුරකථන අංකයක් තිබුණි. එම දුරකථන අංකය පිළිබඳ වැඩිදුර පරික්ෂා කිරීමේදී සැකකාර මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි විය.

සැකකරු වැලිසර නාවික හමුදා රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ලූතිනන් කමාන්ඩර් ඉන්දික දිමුතු ද සිල්වාය. වයස අවුරුදු 41 කි. මොහු පානදුර බණ්ඩාරගම ප‍්‍රදේශයේ පදිංචි අයෙකි.

කොල්ලූපිටිය යුනිටි ප්ලාසා සාප්පු සංකීර්ණය අසලදී 15 හැවිරිදි දැරිය සැකකරුගේ මෝටර් රථයට නංවාගෙන ගල්කිස්ස වෙරළබඩ පිහිටි හෝටලයක් වෙත රැගෙන ගොස් අපයෝජනය කර තිබුණි. පසුව පොලීසිය එම හෝටලය වෙත දැරිය රැගෙන ගොස් අදාළ කාමරය ද හඳුනාගෙන තිබුණි. මේ සියලූ කාරණා සැලකිල්ලට ගෙන පොලිසිය විසින් සැකකාර වෛද්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කළේය. එහිදී වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සමන් රුද්‍රිගු මහතා මෙසේ පැවසී.

”දැරිය ගැන සලකා බැලීමේදී මෙය සදාචාරාත්මක පිළිගත හැකි දෙයක් නොවේ. මෙම සිද්ධියට අදාළ තරුණිය පවසා ඇත්තේ ඇය 19 හැවිරිදි වියේ පසුවන බවයි. එම නිසා මගේ සේවාදායකයා නොමඟ ගොස් තිබෙනවා. ඔහු රෝහල් දෙකක හෘද රෝග විශේෂඥයෙක් ලෙස කාර්ය බහුල කටයුතුවල නිරත වී සිටින අයෙක්. ඔහු එම ස්ථානයට ගිය බව පිළිගන්නවා. එහෙත් දැරිය බාලවයස්කාර බව ඔහු එම ස්ථානයේදී දැනගන්නවා.”

සැකකරුගේ නීතිඥවරයාගේ කතා අතරතුර මහෙස්ත‍්‍රාත්වරිය අතුරු ප‍්‍රශ්නයක් මෙලෙස විමසුවේය.

”ඒ කියන්නේ මෙලෙස ගණිකා වෘත්තියේ යොදවන්නේ බාලවයස්කාර දැරියක් කියා සැකකරු දැනගන්නවා.”

සැකකරුගේ නීතිඥ – ”ඔව් ස්වාමීනි. ආරක්ෂිත කැමරා දර්ශන බැලූවොත් එය මනාව වටහා ගත හැකිය. එම තැනැත්තිය බාලවයස්කාර දැරියක් බව පෙනී ගිය නිසා ඔහු එම දැරිය සමඟ ලිංගිකව එක් වීමක් සිදුවන්නේ නැහැ. එහෙත් ඔහු ඒ බවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ද පෙලඹෙන්නේ නැහැ.”

මහේස්ත‍්‍රාත්වරිය – ”සැකකරු තමාට උපදෙස් දුන්නේ දැරිය දුටු විට ඇය අවුරුදු 18 ට අඩු දරුවෙක් ලෙස හඳුනා ගත්තා කියා පවසන ලෙසට ද.”

සැකකරුගේ නීතිඥ – ”නැත ස්වාමීනි. දැරියට රූපලාවන්‍ය ආලේපන කර වැඩි වයසක් පෙන්වා තමයි අන්තර්ජාලයේ දැන්වීම් පළ කර ඇත්තේ. ඒකයි මගේ සේවාදායකයා රැවටී ඇත්තේ. මෙම දැරියගේ අප‍්‍රසන්න දුර්ගන්ධයක් හමා තිබෙනවා. ඒ අනුව ඔහු ඇයව ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.”

මහෙස්ත‍්‍රාත්වරිය – ”මෙම ස්ත‍්‍රී දූෂණය සහ දැරියගේ දුර්ගන්ධය අතර තිබෙන තත්ත්වය අධිකරණයට පැහැදිලි නැහැ.”

සැකකරුගේ නීතිඥ – ”ඇයට හැකි අයුරින් ශරීර සෞඛ්‍යය එලෙස පවත්වාගෙන යන්නට ඇති. මගේ සේවාදායකයාගේ දැනීම අනුව නිරීක්ෂණය කරල ඇය බාලවයස්කාර දැරියක් බව හඳුනාගෙන තිබෙනවා. ඉන්පසු ඔහු කිසිසේත් දැරිය හා ලිංගිකව සම්බන්ධ වී නැහැ.”

”මගේ සේවාදායකයාට ඇප දෙන්න. ඔහු විශේෂඥ වෛද්‍යවරයෙක් නිසා රට අතහැර යන්නේ නැහැ. මේ දිනවල පවතින කොවිඞ් වසංගතය නිසා ඔහුට දැඩි වගකීමක් තියනවා. මේ සියල්ල සලකා බලා ඔහුට ඇප ලබා දෙන ලෙස මම ඉල්ලා සිටිනවා.”

මහෙස්ත‍්‍රාත්වරිය – ”සැකකරු සමාජ දුරස්ථභාවය තබාගත් බව මෙම සිද්ධියෙන් හොඳට පේනවා. සැකකරුගේ සමාජ තත්ත්වය ඔහු දන්න තනතුරු අධිකරණයට අවශ්‍ය නැහැ.”

ඉන්පසු ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් පියන්ත සැකකරු පිළිබඳව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේ මෙලෙසින්ය.

”සැකකරු දැරියව මෝටර් රථයට නංවා ගන්නා විට ඇය දරුවෙක් බව පෙනී නැහැ. සැකකරු ඇයව රැගෙන ගිය හෝටලයේ අවන්හලේ කෝපි බොන කොට ඔහුට මේ ඉන්නේ දරුවෙක් කියා පෙනී තිබුණේ නැහැ. පසුව ලිංගික කටයුතු සඳහා කාමරයක් වෙන්කර ගන්නා අවස්ථාවේදී ද ඇය දරුවෙක් බව පෙනී තිබුණේ නැහැ.”

”පසුව එම කාමරය තුළට රැගෙන ගොස් ඇඳුම් ඉවත් කළ පසුවයි සැකකරු ඇය දැරියක් බව හඳුනාගෙන ඇත්තේ. සැකකරු ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙක්. සැකකරු දරන තනතුරු අනුව ඔහුගේ වගකීම සියයට සීයක්ම පැහැර හැර තිබෙනවා. තවද රජයේ සේවකයකු ලෙසත් ඔහුගේ වගකීම පැහැර හැර තිබෙනවා.”

සැකකාර වෛද්‍යවරයා සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු කාරණා සියල්ල සැලකිල්ලට ගත් කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ලෝචනි අබේවික‍්‍රම නියෝග කළේ ලබන මස නව වැනි දා දක්වා සැකකරු බන්ධනාගාර ගත කරන ලෙසයි.

තමාට සිදු වූ දේ සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ 124 වගන්තිය ප‍්‍රකාරව අධිකරණය හමුවේ ස්වෙච්ඡාවෙන් ප‍්‍රකාශයක් කිරීමට අවශ්‍ය බව සැකකරු දන්වා සිටි අතර හොඳින් සිතා බලා එම ප‍්‍රකාශය ලබන නම වැනිදාට ලබා දෙන ලෙස මහෙස්ත‍්‍රාත්වරිය නියම කළේය. බාලවයස්කාර දැරිය අපයෝජනයට ලක් කළ එම සැකකාර විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාට ද අවසානයේ සිදු වූයේ බන්ධනාගාර ගතවීමටයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර වෛද්‍යවරයා සමඟ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඔහුව ද බන්ධනාගාර ගත කළේය.

ඉහළ පොලිස් නිලධාරියකු අප සමඟ පැවසුවේ මෙම සිද්ධියට සම්බන්ධව තවත් පිරිසක් ඉදිරියේ දී අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි. තවද මෙම දැරියව අපයෝජනය කළා යැයි කියන චීවරධාරියාව ද මෙම ලිපිය ලියන මොහොත වනවිටත් අත්අඩංගුවට ගෙන නොතිබිණි.
 

advertistmentadvertistment
advertistmentadvertistment