බුලත් කෙළ

1547

පාකිස්තානයේ සිටින ඇතැම් මිනිසුන් මොන ජාතියේ මිනිසුන්දැයි අපට නම් නොතේරේ. එරට පංජාබ් ප‍්‍රාන්තයේ ෆයිසලාබාද් නගරයේ වෙළෙඳසලකට පැමිණි තරුණියන් සිව් දෙනකු නිරුවත් කර පහරදෙන වීඩියෝවක් අන්තර්ජාලයේ තිබේ. තරුණියන් සිව්දෙනා කියන්නේ තමන් වෙළඳසල් හිමියාගෙන් වතුර බෝතලයක් මුදලට ඉල්ලූ විට ඒ සම්බන්ධයෙන් හටගත් කතාවක් දුරදිග ගොස් වෙළෙඳ සලේ සේවකයන් පැමිණ ඔවුන්ගේ ඇඳුම් ගලවා පහරදෙමින් එය වීඩියෝ කළ බවය. තරුණියන් සිව්දෙනා වතුර බෝතලයක් සොරකම් කළ බවත් එයින් කුපිත වූ වෙළඳසල් සේවකයන් තරුණියන්ට පහරදුන් බවත් කඬේ මුදලාලි කියයි. මේ මිනිසුන් වතුර බෝතලයක් සම්බන්ධයෙන් මේ තරමට වනචාරී ලෙස හැසිරීමෙන් ගම්‍ය වන්නේ ලෝක විනාශය බෙහෙවින් ළංව ඇති බවය. විශිෂ්ට ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු විශිෂ්ට මිනිසකු සහ විශිෂ්ට දේශපාලනඥයකු මෙන්ම පාකිස්තානයේ ලොකුම දේශපාලන පක්ෂයේ නායකයා වූ ඉම්රාන් ඛාන්ට පාකිස්තානය හැදීම සඳහා විශාල පරිශ‍්‍රමයක් දරන්නට සිදුවනවා ඇත. ලංකාවේත් නරක මිනිස්සු සිටිති. හැබැයි ඉහත සඳහන් ජාතියේ මිනිස්සු නම් ඉන්නා බවක් දැනගන්නට නැත.

 කෙසේ හෝ වේවා අද අපේ මාතෘකාව එය නොව මෙයය; මහ පාරේ බුලත් කෙළ ගසන අය අත්අඩංගුවට ගෙන නීතිය ක‍්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ. මේ අනුව අද සිට ලේ වමනය දමන්නාක් මෙන් මහ පාරේ බුලත් කෙළ ගැසුවොත් රිමාන්ඞ් කූඩුවේ ලැගීමට බුලත් හපයන්ට සිදුවේ. බුලත් යනු මේ රටේ සංස්කෘතියේ කොටසකි. එහෙත් බුලත් හැපීම මගින් මුඛ පිළිකාව ඇතිවන බව හෙළිවීමත් සමගම එම කොළ වර්ගය සහ බුලත් විටේ සෙසු සාමාජිකයන් වන පුවක්, හුණු සහ දුම්කොළ යනාදිය, ජාතියේ සතුරන් බවට පත්ව ඇත. පුවක්වල සහ දුම්කොලවල ඉතා නරක මත්ද්‍රව්‍ය තිබේ. බුලත් විටක් සැපීමෙන් දෙතොල් රතුකර ගැනීමේ සිරිතක් අතීතයේදී පිටිසරබදව පිහිටි සිංහල බෞද්ධ ගම්මානවල කාන්තාවන් අතර තිබිණ. නිතර නිතර කට රතුකර ගැනීම සඳහා බුලත් සැපීමේ සිරිත පවත්වාගෙන යෑමෙන් මුඛ පිළිකා සෑදුනු විට එම පවුල්වල සිටින සෙසු අයගේ ඇස් රතුවේ. මුඛ පිළිකාව යනු ලෝකයේ ඇති පිළිකා අතර තිබෙන නරකම පිළිකාවකි. බුලත්විට දීර්ඝ වෙලාවක් හක්කේ රඳවාගෙන සිටීමේ පුරුද්ද ඇති අයට මේ පිළිකාව වැළඳෙන අතර එමගින් කම්මුල සිදුරු වී එම සිදුරෙන් ආහාර එලියට පැමිණීම සිදුවෙයි. මේ නිසා බුලත් යනු ආයුර්වේද ඖෂධ සඳහා සහ සිංහල අවුරුද්දට වැඩිහිටියන්ට දීම සඳහා පාවිච්චි කිරීමට පමණක් යොදාගත යුතු භයානක ශාක පත‍්‍රයක් ලෙස සලකා කටයුතු කළ යුතුය. බුලත් යනු මෙයට අවුරුදු විසි පහකට පෙර සිටි තරුණ පරම්පරාව විසින් ප‍්‍රතික්ෂේප කරන ලද සැපිල්ලකි. එහෙත් මේ වනවිට තරුණ පරම්පරාවෙන් සෑහෙන පිරිසක් යළි බුලත්විට සපති. බුලත් විට හපන එකා ගමන් යනවිට පඩික්කමක් ගෙන යන්නේ නැත. එබැවින් ඔහු ජීවත්වන හෝ ගමන් කරන පරිසරය යෝධ පඩික්කමක් බවට පත්වෙයි. ඇතැම් පාරවල්වල, බිත්තිවල, තාප්පවල විශාල බුලත් කෙළ පහරවල් දැකිය හැකිය. සිංගප්පූරුවේ සහ යුරෝපයේ දියුණු රටවල බුලත් කෙළ පහරක් නොව නිකම් කෙළ පහරක්වත් මහා පාරේදී එලියට විද්දොත් එසේ කරන එකාට දඩ ගසනු ලැබේ. දඩය ගෙවීමට බැරිනම් ඒකා හිරේ යා යුතුය.

 ප‍්‍රසිද්ධ ස්ථානවල සිගරට්, බීඩි හෝ සුරුට්ටු දුම් උරණ එක තහනම් කරන නීතියක් ලංකාවේ තිබේ. ලොකුම අවුල වන්නේ කිසිවෙක් හෝ මෙම නීතිය තඹ දොයිතුවකට ගණන් නොගැනීමය. ප‍්‍රයිවට් බස් එකකට නැග්ගොත් ප‍්‍රයිවට් බස් ඩ‍්‍රයිවර්, කොන්දොස්තර යන දෙදෙනා සිගරට් ගහන ආකාරය දැකිය හැකිය. එය දකින මගීහු ධෛර්යමත්ව දුම් පානය කිරීම අරඹති. මෙයට එරෙහිව කිසිවෙක් කතා කළොත් ඒ තැනත්තාට සිදුවන්නේ සිගරට් බොන අයගෙන් තනියෙන් ගුටි කන්නටය. දුම් පානය යනු මාරාන්තික පිළිකාව ඇතිකරන සාධකයකි. නරක බව දැන දැනම දුම් බොන එකාට පිළිකාව හටගැනීම ගැන අපට කිසිදු ප‍්‍රශ්නයක් නැත. අපේ ප‍්‍රශ්නය වන්නේ එවැනි එකකුට පිළිකාව හැදුන විට අපේ බදු මුදලින් බෙහෙත් කිරීමට සිදුවීමය. බේබද්දන්ට සිරෝසිස් වැළඳුනු විටත් බුලත් විට හපන අයට මුඛ පිළිකාව හැදුන විටත් දුම් උරන්නන්ට පෙනහළු පිළිකාව හැදුන විටත් ඔවුන්ට ප‍්‍රතිකාර කිරීමෙන් වැළකී සිටීමේ ප‍්‍රතිපත්තියකට රජය යා යුතුය. මේවා මිනිසුන් සිය කැමැත්තෙන් කරගනු ලබන අනර්ථයන්ය. බුලත්විට කන එකා මහපට ඇඟිල්ලට හුණු ගුලියක් ගෙන ඉන් ස්වල්පයක් අනුභව කර සෙස්ස තාප්පවල ලයිට් කණුවල සහ වැසිකිළි බිත්තිවල උලති. මේවාද සිවිල් වැරදි ලෙස සලකා නීතිය ක‍්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ වගකීම වනවා ඇත.

 Chain Smoking යනුවෙන් පුරුද්දක් ලොව තිබේ. Chain smoker කරන්නේ සිගරට් එකක් නිවෙන විට තව එකක් යනාදී වශයෙන් දිගින් දිගටම සිගරට් ගැසීමය. මෙයින් නිකුත් කරන දුම් ආඝ‍්‍රාණය කරන සමාජයේ සිටින සෙසු අයටද පිළිකා හටගනී. මේ අනුව ප‍්‍රසිද්ධියේ දුම් පානය කිරීම මානව විරෝධී ක‍්‍රියාවක් බවට පත් වන්නේය. අපි මේ සම්බන්ධයෙන්ද ආණ්ඩුවේ අවධානය යොමු කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment