බුලත් කොළයෙන් එන්න විපක්ෂය පුළුල් සන්ධානයක…

279

මේ ගෙවී යන්නේ 2022 වසරේ අවසන් දින කිහිපයයි. දේශපාලනඥයෝ බොහෝ දෙනෙක් වසරාවසාන නිවාඩුව ගත කරන්නට විදේශ සංචාරයන්වලය. නැත්නම් ගම් බිම් වලට ගොස්ය. සමහරු නුවර, නුවරඑළිය, බදුල්ල, බණ්ඩාරවෙල පළාත්වල නිවාඩු ගත කරන්නට ගොස්ය. පාර්ලිමේන්තුවත් මේ දිනවල නිවාඩු බැවින් දේශපාලන කටයුතු කිසිවක්ම නැති තරම් ය. එහෙත් දේශපාලනය ඇතුළාන්තයේ වූ යම් යම් ක්‍රියාකාරකම්වලට නම් නිවාඩුවක් තිබුණේම නැත.

පසුගිය සති කීපයක් පුරාම අප දුටුවේ අපේ රටේ පිළිගත් දේශපාලන පක්ෂ ගණනාවක් ලබන වසරේ එතැයි බලාපොරොත්තු වන පළාත් පාලන ඡන්දය සඳහා ලක ලැහැස්ති වන ආකාරයයි. එම කටයුත්ත මුලින්ම පටන් ගත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ විදේශගතව සිට යළි ලංකාවට පැමිණි වහාම පුංචි ඡන්දය සඳහා වැඩ පටන් ගත්තේය. අනිකුත් පක්ෂ ඒ අනුව යමින් තම තමන්ගේ දේශපාලන ප්‍රතිසංවිධාන කටයුතු පටන් ගත්තේ ඉන් අනතුරුවයි.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඔවුන්ගේ පක්ෂයේ දෙවැනි සංවත්සරය පැවැත්වීමෙන් පසුව පළාත් පාලන මැතිවරණය සඳහා අවධානය යොමු කළේය. මුලින්ම ඒ ඒ පළාත් පාලන ආයතන සඳහා දිස්ත්‍රික් මට්ටමින් අයැදුම්පත් කැඳෙව්වේය.

පසුගිය සති දෙක තුන ඇතුළත අති විශාල අයැදුම්පත් සංඛ්‍යාවක් සමගි ජන බලවේගයේ කාර්යාලයට ලැබෙන්නට විය. ඉන්පසුව පසුගිය සතිය පුරාම අයැදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවනු ලැබූහ.

ඉන් පසුව සමගි ජනබලවේගය ආසන සංවිධායකවරුන්ගේ විශේෂ රැස්වීමක් කැඳවුණු ලැබීය. මෙම රැස්වීම අමතා විපක්ෂ නායක සජිත් කීවේ තම තමන්ගේ ආසන සඳහා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ ජයග්‍රහණය කිරීමට වෙන වෙනම ව්‍යාපෘති සකසන ලෙසයි. විශේෂෙන්ම ඒ ඒ කොට්ඨාසවල ජන සංයුතියට අදාළ පරිදි ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට යෝජනාකරන සැලසුම් සජිත්ට අවශ්‍ය විය.

ඒ අතර රට පුරා ක්‍රියාත්මක කරන්න “සක්වල” ප්‍රජා සත්කාරක වැඩසටහන සඳහා ද සජිත් සිය අවධානය යොමු කළේය. සක්වල වැඩසටහන මගින් තෝරාගත් ප්‍රජාවන් සඳහා සත්කාරක කටයුතු කිරීම වේගවත් කළ යුතු බව සජිත් ගේ අදහස විය. පළාත් පාලන මැතිවරණය නම් කිරීමට පෙර යෝජිත සත්කාරක කටයුතු කර අවසන් කිරීම ඔහුගේ ඉලක්කය විය.

● විපක්ෂ කණ්ඩායම්
මැතිවරණයට ලෑස්තියි…

ජනතා විමුක්ති පෙරමුණේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන ජාතික ජන බලවේගය ද මේ දිනවල රට පුරා යන්නේ ඕනෑම මොහොතක පැවැත්වෙන මැතිවරණයකට ඉදිරිපත් වන්නට සූදානම ඇතිවය. ඔවුන්ගේ රැස්වීම්වලට හා සම්මන්ත්‍රණවලට පෙර සහභාගි වූවාට වඩා වැඩි සෙනඟක් ඉතාමත් උනන්දුවෙන් යුතුව සහභාගි වන බවක් පෙනෙන්නට තිබිණි. අනෙකුත් පක්ෂ සමඟ සිට දේශපාලනය සම්බන්ධයෙන් පසුගිය දිනවල කලකිරී සිටින බොහෝ පිරිස් ජාතික ජනබලවේගය වටා කඳවුරු බැඳගෙන සිටින බව පැහැදිලි විය. එහෙත් ඔවුන්ට තිබෙන එකම අභියෝගය පෙරටුගාමී පක්ෂයයි. ශිෂ්‍ය හා තරුණ නැඟිටීම්වල මෙන්ම පසුගියදා පැවති අරගලවලදී වැඩි දායකත්වයක් පෙන්නුම් කරන ලද අන්තරය ඇතුළු බලවේග රැසක් පෙරටුගාමී පක්ෂයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වීම ජා ජ බයට ඇති ලොකුම අභියෝගය විය.

මේ අතරවාරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුමක් කරන්නේද කියා පැහැදිලි වූයේ නැත. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශාල වැඩ කොටසක් මේ වන විට වැඩි සද්ද බද්ද නැතුව කරමින් සිටින බව හෙළි වූයේ ඇතුළාන්තයට එබී බලන විට ය.

ඔවුන් පසුගිය දිනවල විපක්ෂයේ සිටින බොහෝ දේශපාලන පක්ෂ එක වහළක් යටට ගෙන එන්නට කතා කරමින් සිටියහ.

පළමුව ඔවුන් හමුවූයේ නිදහස ජනතා සභාවයි. ඩලස් අලහප්පෙරුම, චරිත හේරත්, ඩිලාන් පෙරේරා, ජී. එල්. පීරිස් ඇතුළු පිරිස සමඟ ඔවුන් කතාබහ කළහ. ඉන් අනතුරුව උත්තර ලංකා සභාගයේ විමල් වීරවංශ උදය ගම්මන්පිල රතන හිමි ඇතුළු කණ්ඩායමක් හමුවූහ. ඊටත් පසුව අනුර යාපා ඇතුළු කණ්ඩායමක් මුණගැසුණහ.

මේ සාකච්ඡාවලට පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර, ශාන් විජේලාල්, දුෂ්මන්ත මිත්‍රපාල තිලංග සුමතිපාල සහභාගි වූහ… එහිදී ඔවුන් පෙන්වා දුන් ඉතා වැදගත් කාරණාවක් විය.

“එක්සත් ජනතා නිදහස් සන්ධානය කියන්නේ වාසනාවන්ත පක්ෂයක්. බුලත් කොළේ කියන්නේ වාසනාවන්ත ලකුණක්. ඒ තුළින් ඉදිරිපත් වෙලා 2004 ඉඳලා අපි මේ රටේ ජනාධිපතිවරුන් දෙන්නෙක් දිනවලා තියෙනවා. මහ මැතිවරණ තුනක් දිනලා තියෙනවා. පළාත් සභා විස්සක් පිහිටුවලා තියෙනවා. මන්ත්‍රීවරු 1070 බිහිකරලා තියනවා. ඉතින් මෙහෙම ලකුණක් තියාගෙන මෙහෙම වාසනාවන්ත පක්ෂයක් තියාගෙන තමයි අපි එක එක ලකුණු පස්සේ හිඟමනේ යන්නේ. ඇයි අපිට බැරි එක වහළක් යටට ඇවිල්ලා මේ පක්ෂයෙන් ඡන්දය ඉල්ලන්න. මේක ඉදිරියට ආවොත් පොහොට්ටු, ටෙලිෆෝන්, අලි, මාලිමා ඔක්කොම ඉවරයි. ඉතින් ඇයි අපි ඒක නොකරන්නේ…”

මේ සෑම සාකච්ඡාවක් ම පළමු වටයේදී සාර්ථක විය. පළමුවෙන්ම ආණ්ඩුවෙන් ඉවත් වී සිටින කුඩා කුඩා කණ්ඩායම් ඒකරාශී කරගැනීම ඔවුන්ගේ අරමුණ වූහ. දෙවනුව එකඟතාවක් ඇති කරගත හැකි පක්ෂ සමග සන්ධානගත වීම එහි දෙවන පියවර විය. ඔවුන් පසුගිය සතිය පුරාම එම සාකච්ඡාවේ සිටිමින් වුව පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් අවධානයෙන් යුතුව අයැදුම්පත් කැඳවමින් සිටියහ. 22,000කට අධික අයැදුම්පත් සංඛ්‍යාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද ලැබී තිබීම සැලකිය යුතු කාරණාවක් විය.

● මැතිවරණ එපා
ජනතා සහන දෙන්න

ඒ ආකාරයෙන් සියලුම පක්ෂ ලබන වසරේ මැතිවරණය පිණිස සූදානම් වෙමින් සිටියදී එය පවත්වන්නට එපා කියන කණ්ඩායමක් ද සිටියේය. ඔවුන් පසුගිය දිනක මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත ගොස් පැමිණිල්ලක් කළේ ය.

ඒ සුගත් හේවාපතිරණ ප්‍රමුඛ දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමකි. ඔවුන් ගොස් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට සංදේශයක් භාර දෙමින් විවෘත සාකච්ඡාවක් කළහ…

“මේක මැතිවරණයක් තියන්න වෙලාවක් නෙවෙයි. ප්‍රශ්න ගණනාවක් තියෙනවා විසඳගන්න. ඒවා ඉවර වෙනකන් කරුණාකරලා පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කරන්න එපා.

මේ මැතිවරණයෙන් හදන්නේ රට පුරාම ඉන්න අටදාහක් පිරිසකට රස්සාවල් අටදාහක් දෙන්න. අඩුම මාසික වැටුප රුපියල් 15,000ක් හැටියට ගත්තත් මාසෙකට මේ අයට පඩි දෙන්න විතරක් රුපියල් කෝටි 12ක් යනවා. කොළඹ මහ නගර සභාව වගේ තැන්වල වැටුප් හා දීමනා වැඩියි. නගරාධිපතිවරුන් ට වෙනම දීමනා.

මැතිවරණයක් තියන්න මේ වෙලාවේ රුපියල් බිලියන දහයක් ඕන කියලා මැතිවරණ කොමසාරිස්තුමා ම කියනවා. කන්න බොන්න නැතුව, බිල් ගෙවා ගන්න බැරුව, ණය බරින් මිරිකිලා, ආදායමක් නැතුව හෙම්බත් වෙලා ඉන්න ජනතාවට යම්කිසි සහනයක් දෙන්න මේ මුදල් යොදා ගන්නේ නැතුව අපරාදේ ඡන්දෙකට වියදම් කරන එක නතර කරන්න.

මේ පනත හුඟක් දේවල් සංශෝධනය වෙන්න ඕන. නාමයෝජනා ලැයිස්තුවල 40%ක් අවුරුදු 35 ට අඩු තරුණ නියෝජනයට දෙන්න කියලා 88 – 89 කාලේ පත්කරපු තරුණ අසහන කොමිසමෙන් කියලා තියෙනවා. අද පවතින පනතට අනුව මැතිවරණ කළොත් ඒ වෙනස්කම් වෙන්නේ නෑ. ඒ ඔක්කොම සංශෝධන පනතට ඇතුළත් කරලා පනත හදලා පහුවෙලා මැතිවරණය තියමු… එතකන් ලබන දෙසැම්බරය වන තුරු පළාත් පාලන මන්ත්‍රීවරුන්ට පඩි නොගෙන වැඩ කරන්න කියලා ඉල්ලීමක් කරමු…”

ඔවුන් එසේ කොමිසම හමුවේ කියූ අදහස් එළියට පැමිණ මාධ්‍ය හමුවේ ද අනාවරණය කළහ. කෙසේ වෙතත් මැතිවරණය සම්බන්ධයෙන් රටේත් තිබෙන සාමාන්‍ය ජනතාවගේ මතය පිළිබිඹු වන තැනක් නොවීය.

මේ ප්‍රශ්න මොනවා තිබුණත් කවුරු විවේක ගත්තත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේත් සුපුරුදු ලෙස වැඩ රාජකාරිවල නිරතව සිටියේය.

ඔහු පසුගිය සතිඅන්තයේ නුවරඑළිය බලා පිටත්ව ගියේය. ජනාධිපතිවරයා නත්තල සමරනු ලැබුවේ ද නුවරඑළියේ සිටය. නුවරඑළියට පැමිණ සිටින සංචාරකයන් මෙන්ම විශේෂ අමුත්තන් හමු වී ඔවුන් සමග කතාබහ කරමින් නත්තල් සමරන විට ද නුවරඑළියට මහ වැසි වැටෙමින් තිබිණි.

● ජලයෙන් යටවූ
මහනුවර ඉතිහාසය

වර්ෂාවත් සමඟම මහනුවර නගරය ජලයෙන් යට වූ බව දැනගත් ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් සමන් ඒකනායක හරහා සියලු විස්තර ගෙන්වා ගන්නට උත්සාහ කළේය..

“මහනුවර කියන්නේ බේසමක් වගේ නගරයක්. දැන් මහවැසි වලට ඔරොත්තු දෙන්නේ නැත්තේ ආදරේ කාණු පද්ධති හා කසළ බැහැර කරන පද්ධති පසුකරමින් හැදිලා තියෙන අනවසර ගොඩනැඟිලි නිසා. බෝගම්බර වැව අතීතයේ තිබුණේ අද ඔය හිර ගෙදර, බස් නැවතුම, දුම්රිය නැවතුම්පළ ආදී දේවල් තියෙන්නෙ පහත් බිමේ. පස්සෙ කාලෙක වැව වෙනත් තැනක ඉදිකළා. වැව හැටියට තිබුණු පහත් බිම ගොඩ කරලා වෙනම ගොඩනැඟිලි හැදුනා. එදා ඉඳලා අද වෙනතුරු වෙච්ච පරිසර විනාශය සුළුපටු නෑ…”

මහනුවර ඉතිහාසය දන්න කියන අය කී මේ කතාව නිසා රනිල් ද පුදුමයට පත්විය. කෙසේ වුවත් මහනුවර නගරයෙන් පිට ප්‍රදේශවල ද ගංවතුරෙන් සිදුව ඇති හානිය තක්සේරු කර අවශ්‍ය පියවර ගන්නැයි හේ ජනාධිපති ලේකම්වරයා ඇතුළු දිසාපතිවරුන්ටද නිලධාරීන්ටද උපදෙස් දුන්නේය.

මේ අතර ජනාධිපතිවරයා හා නිලධාරීන් අතර තවත් වැදගත් කතාබහක් ඇති විය…

“පළාත් පාලන මැතිවරණය පවත්වන්න මැතිවරණ කොමසාරිස් ලෑස්ති වෙනවා…” නිලධාරීයෙක් කීවේය.

“මේක නම් සර් රටේ මැතිවරණයක් පවත්වන්න සුදුසු වෙලාවක් නෙවෙයි. අපි මේ දැන් ආර්ථිකය ටික ටික කෙලින් කරගෙන ආවා විතරයි…”

“මැතිවරණයට විශාල මුදලක් වියදම් වෙනවා. ඔය කාලෙ තමයි අපේ රටේ මහ කන්නය කැපිල අස්වනු ගොඩට ගේන්නෙ. අවුරුදු ගාණකට පස්සේ මේ පාර අස්වැන්න ඉතාම හොඳ බවයි පේන්නේ. මේ වෙලාවේ අස්වනු මිලදී ගන්නත් තියෙන සල්ලි මැතිවරණයකට යට කළොත් රටේ ලොකු මුදල් අර්බුදයක් එනවා” මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් එසේ කී කතාව පිළිබඳ ජනාධිපතිවරයා තරමක් සංවේදී විය.

“අයවැයෙන් මැතිවරණ කොමිසමට මැතිවරණයක් සඳහා බිලියන දහයක් වෙන් කරලා තියෙනවා. ඒක ගන්න පුළුවන්නේ,..” ජනාධිපතිවරයා කීවේය…

මැතිවරණයක් තිව්වොත් ඒකට යන වියදම නිසා රටේ ලොකු මූල්‍ය හිඟයක් ඇති වෙනවා… අපි නම් එකඟ නෑ මේ වෙලාවේ ඒ වගේ ලොකු මුදලක් වියදම් කරන්න… “මුදල් අමාත්‍යාංශයෙන් පැමිණ සිටි නිලධාරියා තනිකරම සිය අප්‍රසාදය පළ කරමින් ප්‍රකාශ කළේ ය…

ගල් අඟරු ගැටලුව පිළිබඳව ද සොයා බලන්නට පත්කළ නිලධාරියා ඒ පිළිබඳ විස්තර කීවේය. ජනවාරි පස්වැනිදා වන විට මෙටි්‍රක් ටොන් හැටදාහක් නෞකාවක් පැමිණෙන බවත් එවන් නෞකා තුනක් එම මාසය තුළ පැමිණෙන බවත් නිලධාරියා අනාවරණය කළේය.

මේ අතරතුර ජනාධිපතිවරයා අඹේවෙල ප්‍රදේශයේ ද සංචාරයක් කළේය. කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ගොවිපළේ පාලනාධිකාරිය සමඟ කරන ලද සාකච්ඡාවෙන් අනාවරණය වූයේ සතුන් තව තවත් වැඩි කිරීමට අවශ්‍ය ඉඩකඩ සීමිත බවය.

ප්‍රදේශයේ පවතින රජයේ ඉඩම්වලින් තවත් අක්කර තිහක් ගොවිපළ වෙත ලබා දෙන්නට ජනාධිපතිවරයා තීරණයක් ගත්තේය.

ඉන් පසුව නිලධාරීන් සමග කරන ලද කතාබහකදී ජනාධිපතිවරයාට අන්තර්ජාලයේ සැරිසරමින් තිබෙන එක් තරා වීඩියෝ පට කීපයක් බලන්නට අවස්ථාවක් උදාවිය.

● ආපසු කැරකුණු
මීඩියා කැම්පේන්…

ආශු මාරසිංහට පසුගිය සතියේ ඇති වූ ප්‍රශ්නය සම්බන්ධයෙන් පැතිර ගිය මුල් වීඩියෝවත් ඉන් පසුව ප්‍රසිද්ධ වූ වීඩියෝ පට කීපයත් නැරඹූ ජනාධිපතිවරයා ඒ පිළිබඳ විස්තර කතාබහ කළේය. දෙවන වීඩියෝ පටවලින් හෙළිදරව් වන මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ජනාධිපති රනිල්ට ද හොඳ තක්සේරුවක් තිබිණි…

“හිරුණිකා කාන්තාවක් ගෙනල්ල වීඩියෝ පටයක් ප්‍රසිද්ධ කරලා ආශු මාරසිංහට විරුද්ධව ලොකු කැම්පේන් එකත් කරේ සර්ට මඩ ගහන්න… ඒක තව කෙනෙක්ගේ political campaign එකක කොටසක්..”

“කොහොමහරි දැන් ආශු ඉල්ලලා අස්වුනානෙ. දැන් ඒක ඉවරයි. එයා ඔය චෝදනාවලින් නිදහස් වෙනතුරු ආයෙත් රාජකාරිවලට කිසිම සම්බන්ධයක් කරගන්න එපා…” ජනාධිපති උපදෙස් දුන්නේ අදාළ නිලධාරීන්ට ය.

“දෙවැනි වීඩියෝවෙන් මන්ත්‍රීවරයා හෙළිදරව් වුණත් එකත් එක්ක කැම්පේන් එක ටොනාඩෝ එකක් වගේ අනිත් පැත්තට කැරකිලා ගියා.”

රනිල් ඊට හිනා වුණා මිස කිසිවක් කියන්නට ගියේ නැත.

● ඇල්ලේ හාමුදුරුවෝ
අගමැති කන පුරවයි

පසුගිය සතියේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ පැවැති උපන්දින උත්සවයකට සහභාගි වන්නට ගියේය. උපන්දිනය කෝට්ටේ නාගවිහාරාධිපති කොටහේනේ නාරද හිමියන්ගේ ය. උත්සවය සංවිධානය කර තිබූ දායක සභාව හිටපු අග විනිසුරුවරයකු වන සරත් නන්ද සිල්වා මහතාටත් ජගත් කුමාර ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනකුටත් කෝට්ටේ නගරාධිපතිවරයාටත් ප්‍රදේශයේ ගිහි පැවිදි බොහෝ දෙනකුටත් ඒ සඳහා ආරාධනා කර තිබිණි.

එහිදී ප්‍රධාන පැවිදි අනුශාසනාව කළේ ඇල්ලේ ගුණවංශ හිමියෝ ය.

ඇල්ලේ ගුණවංශ හිමියෝ මෙවන් උත්සව සභාවක අගමැතිවරයා ඇතුළු දේශපාලනඥයන් පිරිවරාගෙන කතා කළේ කලකට පස්සේ ය. කියන්නට දේවල් බොහෝ තිබුණ බැවිනි උන්වහන්සේට මෙය හොඳ අවස්ථාවක් විය.

“අද මේ රටේ ස්වාමීන් වහන්සේලාට අපහාස කරලා උන්වහන්සේලා රටේ ප්‍රශ්න ගැන කතා කරන එක වළක්වන්න ප්‍රබල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. බෞද්ධ ජනතාවට හාමුදුරුවෝ එපා කරන්න සමාජ මාධ්‍යවලින් ලොකු කැම්පේන් එකක් යනවා.

ගමේ ප්‍රශ්න ගැන ගමේ මිනිස්සු ඇවිත් කියන්නේ හාමුදුරුවන්ට. නැතිබැරිකම් කියන්නේ හාමුදුරුවන්ට. හාමුදුරුවෝ තමයි ගමේ අඩුපාඩු, ප්‍රශ්න ටික, නැතිබැරිකම්, උවමනාවන් ටික දේශපාලඥයෝ ළඟට අරගෙන යන්නේ. ඒවා කරගන්න බැරි වුණාම සටන් වදින්නේත් හාමුදුරුවෝ. දැන් හාමුදුරුවොයි ගමේ මිනිස්සුයි තරහ කරන්නයි කුමන්ත්‍රණය. කරුණාකරලා උන්වහන්සේලාට බැණ බැණ ඉන්න එපා.

වැරදි කරන අයත් විසිපහක් තිහක් ඇති. මහණ කරන්න රැවුලයි කොණ්ඩෙයි බාන ගමන් මොළෙත් බාන අය ඇතිනේ.

ඉතින් එහෙම උන්වහන්සේලා වරදක් කරනවා නම් තනියෙන් අපාගත වේයි. ඇයි ඉතින් උන්වහන්සේලාට බැණ බැණ තව කෙනෙක් අපාගත වෙන්නෙ.

දැන් අපිට අහන්න ලැබෙන්නේ බොහොම හිත් රිදවෙන කාරණා. උතුරු නැගෙනහිර ආපහු එක් කරන්න යන කතාවක් කියවෙනවා. ඒ දවස්වල මම නඩුවක් දාලා තමයි ඔය උතුර නැගෙනහිරින් වෙන් කළේ. තීන්දුව දුන්නේ ඔබතුමා… (සරත් නන්ද සිල්වා මහතා අමතමින්) අද ඒවා ආයෙත් එක් කරන්න යන කතාවක් කියනවා… අගමැතිතුමනි ඕන්නැති වැඩ කරල මේ රටේ නැති ප්‍රශ්න ඇති කරන්න එපා. මිනිස්සුන්ට ප්‍රශ්න ඇති කරන්න එපා. මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ.

අද මිනිස්සු ජීවත් වෙන්නෙ බොහොම අමාරුවෙන්. අපි පන්සල්වලට දානෙ නෑ… සමහර අම්මලා පන්සලට ඇවිල්ලා රුපියල් දාහක් දීලා යනවා දානය හදාගන්න කියලා. හාමුදුරුවෝ හත් අට දෙනෙක් ඉන්න පන්සලකට දානයක් දෙන්න අද අපි උපාසක අම්මලාට විදියක් නෑ… එහෙමයි රටේ තත්ත්වය. කරුණාකරලා එහෙම දුක්විඳින මිනිසුන්ගේ ඔළුවට තව තවත් පීඩනය දාන්න එපා. පුළුවන් තරමක් ලයිට් බිල් වැඩි කරල කරලා ආයෙත් වැඩි කරන්න යනවාලු. පන්සල්වල දැන් ලයිට් නිවන්න වෙලා. මිනිස්සු බෝධි පූජා කරන්න හතට අටට එනවා. දහයට 12ටත් එනවා. අපිට බෑ එන්න එපා කියන්න. අද අවුකන පන්සලේ ලයිට් දාගන්න විදිහක් නැතුව අවුකන බුදු හාමුදුරුවෝ කරුවලේ. අපිටත් එහෙමයි. ලබන අවුරුද්දෙ තව සීයට හැටක් වැඩි කරන්න යනවා කියලයි කියන්නේ. කාටද මේ බර දෙන්නෙ. ජනතාවට. දේශපාලනඥයෝ එකෙක්වත් විඳින සැප අඩු කරගෙන තියෙනවාද….

පසුගිය බදාදා දිනයේ ද එවන් හමුවකින් ඇල්ලේ ගුණවංශ හිමියෝ සහ අගමැතිවරයා නැවත වරක් එකට හමුවූහ. එදින කොළඹ පුස්තකාල රාවණා ගාරයේ පොත් පිටවීමේ උත්සවයක් තිබිණි. පොත ගැමුණු විජයරත්න හෙවත් බස් ගැමුණුගේ ය.

එදිනද ඇල්ලේ හිමියෝ මෙවන් කතාවක්ම කියමින් අගමැතිවරයාට අවවාද කරන්නට වූහ.

“මිනිස්සුන්ගේ බිල් වැඩි කරල සල්ලි හොයනවාට වඩා හොඳයි අපි එකතු වෙලා වැඩක් කරමු. අපි මේ වංචා දූෂණ කරන එවුන්ව හෙළිදරව් කරමු.” උන්වහන්සේ කීහ.

දේශපාලනඥයෝ රැසක් ගම්බිම්වල හා විදේශගතව සිටින බැවින් පසුගිය සතියේ දේශපාලන කටයුතු බොහොමයක් දක්නට ලැබුණේ නැත. බොහෝ දෙනා සිටියේ විවේක සුවයෙන් යැයි කීවොත් නිවැරදිය. ඒ අතර නත්තල් සාද අලුත් අවුරුදු සාද ආදියද තිබිණි.

ජනතාවට මොනතරම් අමාරුකම් තිබුණත් අඩුපාඩු තිබුණත් දේශපාලනඥයෝ නම් සුපුරුදු චර්යාවන්හිම සිටින බව බැලූ බැලූ හැම පැත්තෙන්ම දක්නට ලැබෙති.

සතිය අවසන්ය. සතිය සමග මාසයක්ද අවසන්ය. ඒ සමගම අවුරුද්දක් ද අවසන් වී හමාරය. එළඹෙන්නේ තවත් වසරකි. මුළු රටක්ම බලා සිටින්නේ එළඹෙන වසරවත් ජනතාවට හුස්මක් කටක් ගත හැකි නිදහස් වසරක් වේවා කියාය. ජනතාව ඉල්ලන්නේ නිදහසේ තමන්ට තමන්ගේ පාඩුවේ ජීවිතය ගෙවිය හැකි පහසු හා සාමකාමී නිරෝගී වසරක් පමණි.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment