බුහුදින යාත්‍රා 60 කට අලාභහානි

248

මුහුදු රළ ගාල්ල ධීවර වරාය තුළට කඩාවැදීම හේතුවෙන් ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ බුහුදින යාත්‍රා 50ක 60ට පමණ අලාභහානි වී ඇති බැව් ගාල්ල ධීවර වරාය කමිටුවේ හා ගාල්ල දිස්ත්‍රික් ධීවර සමුපකාර සමිතියේ සභාපති පී. බී. ගාමිණි මහතා පවසයි.

 උදම් රළ පහරත් සමග ගාල්ල ධීවර වරායේ නැංගුරම් ලා තිබූ බහුදින යාත්‍රා එකිනෙක ගැටීමෙන් බහුදින යාත්‍රාවලට හානිවී ඇති බවද හෙතෙම පවසයි. මින් බහුදින යාත්‍රා 12කට පමණ දැඩි ලෙස අලාභ වී ඇති බව පවසන පී. බී. ගාමිණි මහතා ගාල්ල ධීවර වරායේ කළමනාකාරතුමා විසින් වරාය අධිකාරිය සමග සාකච්ඡා කොට ධීවර වරායේ නැංගුරම්ලා තිබූ බහුදින යාත්‍රා ගාල්ල වාණිජ්‍ය වරායේ නතරකොට තැබීම සඳහා අවස්ථාව ලබා දුන් බවද පවසයි.

 මේ පිළිබඳ අදහස් දක්වමින් පී. බී. ගාමිණි මහතා මෙසේද කීවේය.

 වාරකන් කාලයට මුහුද ගොඩක් සැරවෙනවා. නමුත් වසර 15කට පමණ පසු තමයි උදම් රළ පහර අඩි 04ක් 05ක් පමණ උසට ඇවිත් මේ අයුරින් ගොඩබිමට කඩාවැදුණේ. මෙකට කියන්නේ ඇසළමහේ කුණාටුව කියලා. රළපහර ධීවර වරායට කඩාවැදීම නිසා බහුදින යාත්‍රාවලට හානිවීමෙන් යාත්‍රා හිමියන්ට කෝටි ගණනක අලාභයක් වෙලා තියෙනවා. බෝට්ටු කැඩී බිඳී ගොස් තියෙනවා. මෙවා අලුත්වැඩියා කරගැනීම සඳහා යොදා ගන්නා ගම් බෝතලයක් තිබුණේ රුපියල් 300ක මිලකට දැන් ගම් බෝතලයක් 1500ක් වෙනවා. වෙළෙඳපොළේ ගම් සොයාගන්නත් නැහැ. පයිබර් ඇතුළු අමුද්‍රව්‍යවල මිල විශාල ලෙස ඉහළ ගිහින් තියෙනවා. බහුදින යාත්‍රා රක්ෂණය කරලා තියෙනවා. නමුත් බෝට්ටුව සම්පූර්ණයෙන්ම විනාශ වුවහොත් විතරයි රක්ෂණ වන්දි ගෙවන්නේ. ඒ විදියට තමයි රක්ෂණයත් හදලා තියෙන්නේ යැයි පී. බී. ගාමිණි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 ලලිත් චාමින්ද සහ  එස්. කේ. කළුආරච්ච් – ගාල්ල

 වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment