බූරුමූණා ඇතුළු හතරක් රිමාන්ඩ්

73

කෝරලේ කංකානමලාගේ රවිඳු වර්ණ රංගන නොහොත් බූරුමූණා නමැත්තා නීත්‍යනුකූල අත්අඩංගුවේ රඳවාගෙන සිටියදී ඔහුට පලා යෑමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම්, රැකවරණය සලසා සඟවා තබාගැනීම ඇතුළු චෝදනා ලැබ අධිකරණය හමුවට පැමිණවූ සැකකරුවන් හතරදෙනකු මෙම මස 24 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් චම්පික රාජපක්‍ෂ මහතා 14 දින නියෝග කළේය.

කටුවැල්ලේගම පදිංචිකරුවකු වන සුරේෂ් පුෂ්පකුමාර, කදිරාන දෙමන්හන්දියේ පදිංචි සඳරුවන් සංජීව, මන්සිල්ගොඩ මිනුවන්ගොඩ පදිංචි මංජුල ජයවර්ධන සහ කට්ටුව පල්ලන්සේන පදිංචි ඇන්ටන් ජයසංක ප්‍රනාන්දු යන සැකකරුවන් මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

පොලිසියෙන් පැනයන අවස්ථාවේ බූරුමූණා ඇඳ සිටි අත්දිග කමිසය සහ සැකකරුවන්ගේ ජංගම දුරකථන සහ හෙරොයින් ග්‍රෑම් 6 ක් සහ මිලිග්‍රෑම් 900 ක්ද පොලිසිය භාරයට ගෙන ඇති බවත් මෙම සැකකරුවන්ට සංවිධානාත්මක අපරාධකරුවන් සමග ඍජු සම්බන්ධකම් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බැවින් 24 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලීමක් කළේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි දන්ත නිරංජන හා යසස් ප්‍රවීන් සෝවිස් යන ජ්‍යෙෂ්ඨ නීතිඥ, තමන්ගේ සේවාදායකයන් සංවිධානාත්මක අපරාධකරුවන් නොවන බවත් ඔවුන් ගුවන් තොටුපළ අසල සිට කුලී ගමනක් යෑමට සිටි අයකු කරන ලද ඉල්ලීමකට අනුව ප්‍රවාහන පහසුකම් ලබාදුන් බවත් එම ප්‍රවාහන පහසුකම් ලබාගත් පුද්ගලයා කටුනායක පොලිසිය භාරයේ සිට පලා එන ලද අයකු බව ඔවුන් නොදැන සිටි බවත් අධිකරණය හමුවේ සඳහන් කළේය.

මීගමුව – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment