බූරුමූණා දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර

53

රැකවල් දුන් නීතිඥයකු අල්ලන්නත් විමර්ශන

මිනීමැරුම් ඇතුළු දරුණු අපරාධ රැසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ‘බූරුමූණා’ නමැති පාතාල ප්‍රබලයා දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් පොලිසියට අවසර ලබා දී ඇත.

මෙම පාතාල ප්‍රබලයා ත්‍රස්තවාදී ක්‍රියාවන්ට මෙන්ම අපරාධ රැසකට ද සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බැවින් ඔහුගෙන් ප්‍රශ්න කිරීම සඳහා දින 90 ක රැඳවුම් නියෝග ලබා දෙන ලෙස බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබිණි.

ඒ අනුව ඊයේ සිට දින 90 ක කාලයක් බූරුමූණා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී ඇත.

මේ අතර බූරු මූණාට සැඟවී සිටීමට ආධාර අනුබල ලබාදුන් බව කියන නීතිඥවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

බූරු මූණාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පොලිසියට පවසා ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ නීතිඥවරයකු තමාට සැඟවී සිටීමට උපකාර කළ බවයි. මෙම නීතිඥවරයා පිළිබඳව පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර ඔහු වරදක් කර ඇත්නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

මිනිස් ඝාතන රැසකට සම්බන්ධ බූරු මූණා ඩුබායි රාජ්‍යයට පළා යෑමට උත්සාහ කරද්දී කටුනායක ගුවන් තොටුපළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

එහිදී සැකකරු පොලිසියෙන් බේරී පළා ගිය අතර ඔහු නැවත අත්අඩංගුවට ගනු ලැබුවේ අවිස්සාවේල්ල පොලිසිය මගිනි.

බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ලලිත් අබේසේකර මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment