බූරු මුණාට පලා යෑමට ආධාර කළ චීවරධාරීන් දෙදෙනා ඇතුළු 7 ක් යළි රිමාන්ඩ්

142

මිනිස් ඝාතන ඇතුළු අපරාධ රැසක් සිදු කර නීතියෙන් බේරීමට විදේශයකට පලා යෑමට තැත් කළ බූරු මූණා නමැති පාතාල අපරාධකරුට ඒ සඳහා ආධාර අනුබල දීමේ චෝදනා ලැබූ භික්ෂූන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 7 දෙනා මේ මස 31 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා නියෝග කළේය.

විදේශයකට පලා යෑම සඳහා කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි පාතාල අපරාධකරු වන රවිඳු වර්ණරංග නොහොත් බූරු මුණාට ඒ සඳහා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් ආගමන – විගමන ආඥා පනත යටතේ චෝදනා ලැබූ සැකකරුවන් වූයේ පොත්තේවෙල ඉන්ද්‍රසාර (48) දිවුල්වැව දීපානන්ද (52) යන හිමිවරුන් සහ රියැදුරු දිලාන් පැතුම් ප්‍රභාත්, කඹුරුපිටිය කටුවැල්ලේගම, කදිරාන, මිනුවන්ගොඩ සහ කට්ටුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන සුරේෂ් පුෂ්ප කුමාර, සඳරුවන් සංජීව, මංජුල ජයවර්ධන සහ ඇන්ටන් ජයසංඛ නමැත්තන්ය.

බූරු මූණා නමැත්තා ආගමන – විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන්තොටුපොළ පොලිසියට භාරදී සිටියදී ඔහු පොලිසියේත් මිදී පලා ගොස් තිබිණි.

දන්ත නිරංජන, ටීනි ජයවීර, යසස් ප්‍රවීන් සොවිස් යන ජ්‍යෙෂ්ඨ නීතිඥවරු සැකකරුවන් කළ වරද ආගමන – විගමන ආඥා පනතට පටහැනිව සිදුකළ වැරදි නොවන බවට කරුණු ඉදිරිපත් කරමින් සැකකරුවන්ට ඇප අයැද සිටියහ.

ඉදිරිපත් වූ නීතිමය කරුණු පිළිබඳව අවධානය යොමු කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සිය තීන්දුව මාර්තු මස 31 වැනිදා ප්‍රකාශයට පත් කරන බවට පවසමින් එතෙක් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

විත්තිය වෙනුවෙන් ප්‍රධාන නීතිඥවරුන්ට අමතරව නීතිඥ සංඛ ප්‍රබුද්ධ, අචිනි නිරෝෂියා යන මහත්ම මහත්මීන් ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිටියහ. කටුනායක පොලිසියේ උප පොලිස් පරීක්ෂක මුදන්නායක මහතා පැමිණිල්ල මෙහෙය විය.
මීගමුව සමූහ – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment