බූස්සේ එකම පවුලේ 4 ක් යකඩ යකාට බිලි : රේල් ගේට්ටුවක් නෑ ත‍්‍රිරෝදය සංඥා නොතකා ධාවනය වෙලා

593

බූස්ස වැල්ලබඩ දුම්රිය හරස් මාර්ගයේදී ඊයේ (1 දා) පෙරවරුවේ බෙලිඅත්ත සිට අනුරාධපුරය දක්වා ධාවනය වූ ශීඝ‍්‍රගාමී දුම්රියේ ති‍්‍රරෝද රථයක් ගැටී ති‍්‍රරෝද රථයේ සිටි එකම පවුලේ සිවුදෙනකු මියගොස් ඇතැයි රත්ගම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ බුස්ස පරණවත්ත පදිංචි කාලිංග ජිනදාස – පියා (85), කාලිංග සුනිමල් – පුතා (46) පුතාගේ බිරිඳ – මෙරෙඤ්ඤ ලසිකා කුමාරි මෙන්ඩිස් (48) සහ ලසිකා කුමාරිගෙ මව වන මනිමෙල්දුර ඒමිස්හාමි (83) යන සිවුදෙනා වෙති.

බූස්සේ එකම පවුලේ 4 ක් යකඩ යකාට බිලි : රේල්  ගේට්ටුවක් නෑ ත‍්‍රිරෝදය සංඥා නොතකා ධාවනය වෙලා
අනතුරට මොහොතකට පෙර

මියගිය සිවුදෙනා කොට්ඨාසයේ ග‍්‍රාම නිලධාරි හමුවීමට පැමිණ ආපසු යමින් සිටියදී අනතුර සිදුව ඇති බව ද පොලිසිය පවසයි. මෙම දුම්රිය හරස් මාර්ගයට ගේට්ටුවක් නොමැති අතර සංඥා ආලෝක මත කි‍්‍රයාත්මක වෙයි.

ති‍්‍රරෝද රථය පුතා විසින් පදවාගෙන පැමිණ ඇති අතර ඔහු අනතුරු සංඥා නොතකා දුම්රිය අනාරක්ෂිත මාර්ගය හරහා ධාවනය කිරීමත් සමග දුම්රියේ හැපී ඇත. ඒ සමගම ති‍්‍රරෝද රථය විසිවී ගොස් පාර අයිනේ ඇති දුම්රිය සංඥා පද්ධති පෙට්ටියේ ද හැපී ඇත. ති‍්‍රරෝද රථයේ සිටි සිවු දෙනාගෙන් එක් අයකු අසල ඇති නිවසක පඩිය මතට විසිවී ඇති බවත් එක් අයකු රේල් පාරේ වැටී සිටි බවත් දෙදෙනකු ති‍්‍රරෝද රථය තුළ සිරවී සිටි බවත් පොලිසිය පවසයි. දුම්රිය ගේට්ටුවක් තිබුණා නම් මෙම අනතුර වළක්වා ගත හැකිව තිබුණ බව සිද්ධිය දුටු ප‍්‍රදේශවාසීහු පැවසූහ.

මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද (2 දා) කරාපිටිය රෝහලේදී පැවැත්වීමට නියමිතය.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ මියගිය සුනිමල් සහ ඔහුගේ බිරිඳය.

අහංගම – සුගතපාල දීයගහගේ, වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment