බූස්සේ හිරේ ඉඳන් අම්මාගේ උපන්දිනේට සුපිරි පාටියක් දැමූ පොඩි ලැසී

1268

තෑග්ග පවුම් පහළොවක මාලයක්…
හෝටල් බිල විතරක් ලක්ෂ 25යි….

ජනිත් මධුසංක ද සිල්වා යන නම දන්නවාදැයි විමසුවහොත් බොහෝ දෙනා පවසනු ඇත්තේ එහෙම නමක් ඇති පුද්ගලයකු ගැන නොදන්නා බවය. එහෙත් දකුණු පාතාලයේ පොඩි ලැසී දන්නවාද යන්න විමසුවහොත් බහුතරයක් පවසනුයේ “ඔව් දන්නවා” යනුවෙනි. මෙරට පාතාලය තුළ අඩුම වයසින් වැඩිම අපරාධ රුසක් සිදුකළ මේ පොඩි ලැසී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම
අලුගෝසුවෙකි, නැතහොත් දරුණු ගණයේ අපරාධකාරයෙකි.

කුලියට මිනීමැරීම, කප්පම් ගැනීම්, කුඩු විකිණීම, මිනිසුන් කපාකොටා දැමීම ආදී දරුණු ගණයේ අපරාධ සිදුකරමින් පාතාල ලෝකයේ අපතයකු වීමේ මූලික සුදුසුකම් සපුරා සිටින ලැසී මේ වනවිට රැඳීසිටින්නේ මෙරට දරුණු ගණයේ අපරාධකරුවන් රඳවා සිටින බූස්ස බන්ධනාගාරය තුළයි.

දකුණු පළාතේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ හැදී වැඩුණු ජනිත් මධුසංක නොහොත් පොඩි ලැසීගේ පියා පාතාලයට සම්බන්ධ අයෙකි. තෙල්වත්තේ වසන්ත යනු පොඩි ලැසී ගේ පියාය. ඔහු එවකට දකුණු පාතාලයේ කෙරුමෙකුවූ එස්. ටී. එෆ්. නඳුන්ගේ විශ්වාසවන්තම ගෝලයකු විය. ඒ අනුව නඳුන්ගේ අපරාධ රැසකට ඔහු සම්බන්ධවී තිබුණි. එම වකවානුව වන විට පොඩි ලැසී පාසල් ශිෂ්‍යයෙකි.

එවකට දකුණේ නඳුන්ගේ කල්ලිය සහ මනෝජ් මෙන්ඩිස්ගේ කල්ලිය අතර නිරතුරුවම ගැටුම් ඇතිවිය. ඒ පාතාලයේ කිරුළ බෙදා ගැනීම සඳහාය. මනෝජ් මෙන්ඩිස් යනු එවකට රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාය. ඔහු එලෙස ජනතා නියෝජිතයකු වුවත් ජනතාවට සිදු කළ සේවයක් නම් නොමැත. තම දේශපාලන බලය උපයෝගි කරගනිමින් ඔහු රත්ගම සිට දකුණු පළාත තුළ පාතාල අධිරාජ්‍යයක් ගොඩනඟා ගැනීමට උත්සාහ කළේය. එම ප්‍රදේශයේ ඔහුටම උරුම වූ පාතාල නීති යටතේ පාලනයක් ද පවත්වාගෙන ගියේය.

මනෝජ්ගේ ප්‍රධාන සතුරා බවට පත්වූයේ නඳුන්ය. එම නිසා ඔහු නඳුන්ගේ ගෝලබාලයන්ගෙන් පවා පලි ගැනීමට පටන් ගත්තේය.

දිනක් තෙල්වත්තේ වසන්ත තම බිරිඳ සමඟ යතුරුපැදියෙන් ගමන් කරන විට නාඳුනන වෙඩික්කරුවකුගේ වෙඩි ප්‍රහාරයට ලක්වන්නේ තෙල්වත්ත සුනාමි ස්මාරකය ඉදිරිපිටදීය. මේ වෙඩි ප්‍රහාරයෙන් වසන්ත එතැනම මියයන අතර වසන්තගේ බිරිඳ වන තනුජා දිල්ෂානි වෙඩි වැදී ජීවිතය බේරගන්නේ අනූනවයෙනි. පසුව මෙම ඝාතනය මනෝජ්ගේ අනුදැනුම ඇතුව ඔහුගේ ගෝලයෙක් වූ අතකොට රවී විසින් සිදුකළ බවට අනාවරණය විය.

බූස්සේ හිරේ ඉඳන් අම්මාගේ උපන්දිනේට සුපිරි පාටියක් දැමූ පොඩි ලැසී

තම පියාගේ ඝාතනය සහ මවට වෙඩි තැබීම පාසල් යන වයසේ සිටි පොඩි ලැසීට වැදුන මරු පහරක් බඳු විය. ඒ අනුව ඔහු පාසල් ගමන නවතා දමා තම පියාගේ ඝාතකයන්ගෙන් පළිගැනීම සඳහා පාතාල ලෝකයට එක් විය. ඔහුගේ එකම අරමුණ වූයේ පියා මැරූ පළිය ගැනීම සඳහා එවකට එම ප්‍රදේශයේ කෙරුම්කාරයා බවට පත්වී සිටි මනෝජ් මෙන්ඩිස් ඝාතනය කිරීමයි.

මනොජ් ඝාතනය කිරීම පොඩි ලැසීට සිතන තරම් ලෙහෙසි පහසු කාර්යයක් වූයේ නැත. ඒ මන්ද යත් එවකට දකුණු පාතාලයේ දරුණුම කල්ලිය වූයේ මනෝජ් මෙන්ඩිස්ගේ කල්ලිය වීම නිසාය. එයට ප්‍රධාන හේතු දෙකක් විය. ඒ ඔහුගේ ප්‍රධාන සතුරා වූ නඳුන් සියලු පාතාල ක්‍රියාකාරකම් අතැහැර යුරෝපයට යෑම සහ දකුණු පාතාලයේ තවත් කල්ලියක් වූ කොස්ගොඩ සුජිත්ගේ කල්ලිය ද සුජිත් අතැහැර දමා ඩුබායි රාජ්‍යයට පැන ගැනීම නිසාය. එවකට මාකඳුරේ මධූෂ් සිටියත් ඔහු ඒ කාලයේ මහ ලොකු පාතාලයෙක් නොවීය. එම නිසා දකුණේ පාතාලයේ එකම කෙරුමා බවට පත් වූයේ රත්ගම ප්‍රාදේශීය සභාපති මනෝජ් මෙන්ඩිස්ය.

මනෝජ් පාතාලයේ කොතරම් කෙරුමෙකු වුවත් පොඩි ලැසී තම පියා ඝාතනය කිරීමේ පලිය ඔහුගෙන් ගැනීම සඳහා මාන බලමින් සිටියේය. නිරතුරුව ඔහු යන එන තැන් පිළිබඳ අවධානයෙන් සිටි පොඩි ලැසීට දිනක් එනම් 2015 මාර්තු 23 වැනිදා රාත්‍රියේ මනෝජ්ගේ තවත් සගයකු වූ සංකුත් සමඟ හික්කඩුව හෝටලයක මදුවිත පානය කරමින් සිටින බව දැනගන්නට ලැබුණි. මනොජ් ඝාතනයට මෙය හොඳම අවස්ථාව බව ඔහු දැන ගත්තේය.

ඒ අනුව එම ස්ථානයට පැමිණි පොඩි ලැසී එක දිගට මනෝජ්ටත් සංකුටත් වෙඩි තැබුවේය. දකුණේ පාතාලයේ මහ කෙරුමකු වූ මනෝජ් එතනම මැරී වැටුණේය. සංකු බරපතළ ලෙස තුවාල ලැබුවේ ඇසක් ද අහිමි කරගනිමිනි. ලෙයට ලෙයින් පලිගැනීමේ පාතාලේ න්‍යායට අනුව පොඩි ලැසී තම පියාගේ ඝාතනයේ වාඩුව මනෝජ්ගෙන් ගත්තේ ඒ ආකාරයටය. එකල මෙම ඝාතනය රට පුරා ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්විය. එයට ප්‍රධානම හේතුව වූයේ මනෝජ්ගේ පාතාලය මෙන්ම දේශපාලන හයියයි. එය කෙසේ වෙතත් මනෝජ්ගේ මෙම ඝාතනයත් සමඟ දකුණු පාතාලයේ තවත් කෙරුමෙකු බවට පොඩි ලැසී පත්විය.

එලෙස පාතාල ලෝකයට පිවිසි පොඩි ලැසී කලක් යද්දී රටම භීතියට පත් කළ මැරයකු බවට පත්විය. බූස්ස බන්ධනාගාරයේ රැඳී සිටියත් සිය අපරාධ අත් නොහළ ලැසී කප්පම් ගැනීම්, කුඩු විකිණීම්, මනුෂ්‍ය ඝාතන තවමත් ඔහුගේ ගෝලබාලයන් යොදවා ජයටම සිදු කරගෙන යයි. එයට හොඳම උදාහරණය වන්නේ දැනට වසර දෙකකට පමණ ඉහතදී බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මගින් පොඩි ලැසීගේ මව අත්අඩංගුවට ගැනීමය. තනූජා දිල්ෂානි නැමැති ඇයව අත්අඩංගුවට ගන්නේ හෙරොයින් ජාවාරමේ මුදල් පරිශීලනය කිරීමේ චෝදනාව යටතේය. එහිදී ඇය සන්තකයේ තිබී ලක්ෂ ගණන් මුදල් සහ හොරොයින් විකුණා උපයාගත් මුදල්වලින් මිලදී ගත් දෙමහල් නිවසක් සහ සුඛෝපභෝගී මෝටර් රථ දෙකක්ද සොයා ගන්නා ලදී. ඒ අනුව පොඩි ලැසීගේ මව ද රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. කලක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඇයට පසුව ඇප ලැබුණි.

දරුණු ගණයේ අපරාධ රැසකට සම්බන්ධව සැකපිට බූස්ස බන්ධනාගාරයේ රැඳී සිටින පොඩි ලැසීටද දැනට මාස කිහිපයකට ඉහතදී ඇප ලැබුණි. එහෙත් ඔහු ඇප කොන්දේසි සපුරා නොතිබීම හේතුවෙන් තවමත් බන්ධනාගාරගතව සිටී. ඇප ලැබුණත් ඇප කොන්දේසි සපුරා ඔහු එළියට නොපැමිණෙන්නේ ඔහුගේ ආරක්ෂාව සඳහාය. එයට ප්‍රධාන හේතු කිහිපයක් තිබේ. එ අතරිනුත් ප්‍රධානම හේතු ලෙස දැක්විය හැක්කේ ඔහු මෙරට නමගිය අංක එකේ අපරාධකාරයකු නිසා වෙනත් පාතාල කල්ලිවලින් ඔහුට එල්ල වී ඇති මරණ තර්ජන සහ පසුගිය දිනවල ආරක්ෂක අංශ විසින් ආයුධ පෙන්වීමට ගොස් එක දිගට මැරුම් කෑ පාතාල නායකයන් ගණනද සුළුපටු නොවන නිසාය.

කෙසේ වෙතත් පොඩි ලැසී බන්ධනාගාරය තුළ තම අපරාධ සිදුකරමින් සැපවත් ජීවිතයක් ගත කරමින් සිටී. එයට හොඳම උදාහරණය ලෙස දැක්විය හැක්කේ පසුගිය දිනක මවගේ උපන්දිනය සහ ඔහුට ඇප ලැබීම නිමිති කරගෙන අම්බලන්ගොඩ ප්‍රදේශයේ හෝටලයක පැවැත්වූ සුපිරි සාදයයි. එම කතාව සැකැවින් මෙසේය.

පොඩි ලැසීගේ මවගේ උපන්දිනය යෙදී තිබුණේ පසුගිය සතියේ දිනකයි. එම උපන්දිනය ඉතා උත්කර්ෂවත් අන්දමින් සැමරීමට ඔහු තීරණය කළේය. ඒ සමගම තමන්ට ඇප ලැබීමේ සතුටද එම සාදයට නිමිත්තක් කර ගත්තේය. පොඩි ලැසී මේ සියල්ල සැලසුම් කළේ බූස්ස බන්ධනාගාරය තුළ සිටයි. බූස්ස බන්ධනාගාරය යනු පොඩි ලැසීට සුරපුරයකි. ඔහුට එහි සිට කළ නොහැකි දෙයක් නොමැත.

පොඩි ලැසී බන්ධනාගාරය තුළ සිට ඔහුගේ ගෝලයකුට ඇමතුමක් ලබාගෙන මෙලෙස පැවසුවේය.

“අපේ අම්මගේ උපන්දිනය තියෙනවා. ඒකට මට හොඳ පාටියක් ගන්න ඕනා.”

“අවුලක් නෑ බොසා. අපි දාමු සුපිරි පාටියක්.”

“ඒක තමයි. අනිත් එක මට ඇපත් හම්බවුණානේ.”

“ඒක තමයි අපි දෙකම අල්ලලා දාමු හොඳ පාටියක්.”

“ඒක තමයි මමත් කල්පනා කළේ. හැබැයි මේක හොර රහසේ කරන්න ඕනා.”

“හරි හරි ඒ වැඩ ටික අපි බලාගන්නම්. දැන් මේක අපි කොහෙද දාන්නෙ.”

“මම හිතන්නේ අම්බලන්ගොඩ හොඳයි.”

“ඔව් ඒ ඒරියා එක හොඳයි.”

“සල්ලි ගැන හිතන්න එපා හොඳ හොටෙල් එකක් බුක් කරන්න. මට ඕනේ මේක සුපිරියටම ගන්න.”

“ඒ ගැන බය වෙන්න එපා.”

“හරි මට උඹලව විශ්වාසයි. හැබැයි මේක වෙන කවුරුත් ගත්තෙ නැති විදිහට තියෙන්න ඕනා.”

“ඉතින් අපි ගැන දන්නවනේ බොසා. දෙන්නම් ඒරියා එකේ කවුරුවත් ගත්තේ නැති පාටියක්.”

“හරි හරි අනිත් කොල්ලො ටිකටත් මම කිව්වා කියලා ඔය පණිවුඩය කියපන්. ඒක නොවෙයි පාටියට එන්න ඕන කට්ටියගේ නම් ටිකක් මං කියන්නම්.”

“හරි බොස් ඒ ගැන බය වෙන්න එපා. බොස් කියන විදිහට අපි වැඩේ කරන්නම්”

ඒ අනුව පොඩි ලැසීගේ උපදෙස් පරිදි ඔහුගේ ගෝලබාලයෝ අම්බලන්ගොඩ ප්‍රදේශයේ හෝටලයක සුපිරි උපන්දින සාදයක් පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කළහ.

නියමිත දිනය උදා විය. පොඩි ලැසීගේ මවගේ උපන් දින සාදය ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි. ඒ සඳහා පාතාලයේ නම් දැරූ පිරිසක් ද සහභාගි වූහ. එම පිරිස නැටුම් ගැයුම් මැද කා බී විනෝද වූහ. ඒ අතරතුර පොඩි ලැසී එවූ පණිවුඩයක් ද ඔහුගේ මව විසින් කියවන ලදී.

පොඩි ලැසී තම මවට උපන්දින ත්‍යාගය ලෙස පවුම් පහළොවක මාලයක් ලබා දුන්නේය. එයට අමතරව පැමිණි පිරිසගෙන්ද ඉස්තරම් වර්ගයේ ත්‍යාග ඇයට ලැබුණි. එම උපන් දින සාදය සඳහා රුපියල් ලක්ෂ 25ක පමණ මුදලක් වැය වී තිබුණි.

දැඩි ආරක්ෂාව යටතේ බූස්ස බන්ධනාගාරයේ සිටින පොඩි ලැසී තම මව වෙනුවෙන් ලක්ෂ ගණන් මුදල් වියදම් කරමින් කිසිම බාධාවකින් තොරව මෙවැනි සුපිරි උපන්දින සාදයක් පැවැත්වීම තුළින්ම ඔහුගේ තරම හිතාගත හැකිය. අපිට ගැටලුව වන්නේ ඔහුට

බන්ධනාගාරය තුළ මෙතරම් නිදහසක් ලැබෙන්නේ කාගේ අනුදැනුම යටතේ ද යන්න පිළිබඳවයි. වගකිවයුතු නිලධාරීන් වහාම මේ පිළිබඳව සොයා බලා කඩිනම් පරීක්ෂණයක් සිදුකළ යුතුය. එසේ නොවුණහොත් රාජ්‍ය ආරක්ෂාව යටතේ සිටින පොඩි ලැසී මෙවැනි සාද පමණක් නොව තව තවත් දරුණු ගණයේ අපරාධ කිසිදු බියක් සැකක් නොමැතිව සිදුකරන්නට ඉඩ ඇත.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment