බෙදීම් බොරු ඡන්දය තිතට – මැතිවරණ කොමිසම

305

ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ සියලු කටයුතු මේ වනතෙක් නීත්‍යානුකූලව සිදුකර ඇති බවත් ඒ අනුව මැතිවරණය පවත්වා අවසන් වන තෙක් කොමිසම එම ආකාරයටම අඛණ්ඩව කටයුතු කරන බවත් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී.පුංචිහේවා මහතා “ඉරිදා දිවයින සංග්‍රහය”ට පැවසීය.
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අතර බෙදීමක් නොමැති බවත් එහෙත් ඇතැම් පාර්ශ්ව සාමාජිකයන් අතර බෙදීම් ඇති කිරීමට උත්සහ දරන බවට පෙනී යන බවත් හෙතෙම කීය.

මේ වනවිට මැතිවරණයට ඇප භාරගැනීම ආරම්භ කර ඇති බවත් එය අවසන් වූ වහාම මැතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත්කරන බවත් ඒ මහතා කීය. මැතිවරණය ප්‍රකාශයට පත්කර ඇති නිසා රාජ්‍ය දේපළ භාවිත නොකරන ලෙසට ඉල්ලමින් කොමිසම මේ සතිය ඇතුළත ගැසට් පත්‍රයක් නිකුත්කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා පැවසීය.

ඒ සමගම රාජ්‍ය නිලධාරීන්ට මැතිවරණය අවසන් වනතෙක් ස්ථාන මාරුවීම් ලබාදීම අත්හිටුවන බවත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුවේ ආරවුල් නිරාකරණය අංශය මගින් සෑම දිස්ත්‍රික්කයකම නියෝජිතයන් පත්කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා කීය.

නාමයෝජනා භාරගැනීම ආරම්භ කළ දින සිට ස්ථාන කිහිපයකදී දේශපාලන පක්‍ෂ සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයක් නාමයෝජනා භාරදී තිබෙන බවත් එම යෝජනා භාරගැනීම නීත්‍යානුකූලව සිදුව ඇති බවත් පුංචිහේවා මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment