බෙල්ලට වැටුණු මල් වඩමක් නිසා ඉදිවූ බොරැල්ල කනත්ත යකඩ වැට

1381

වසර 156ක ඉතිහාසයක් සහිත කොළඹ කනත්ත සුසාන භූමිය යනු මෘතදේහ මිහිදන් කරන හෝ ආදාහනය කරන සුසාන භූමියක් පමණක් නොවේ. මෙය ලෝක සුසාන භූමි උප සංස්කෘතියට ද එක්ව ඇති සුවිශේෂී බිමකි. වර්ෂ 1866 දී සුසාන භූමියක් ලෙස වෙන්කළ මෙම භූමිය අක්කර 48 කින් යුක්තය.

මෙහි ආදාහන කටයුතු සඳහා ආදාහනාගාර 04 ක් ඇත. මේ වනවිට මෙම බිමෙහි මිහිදන් කර ඇති මෘතශරීර ගණන ලක්‍ෂයකට අධිකය.

බෞද්ධ, හින්දු, රෝමානු කතෝලික, ඇග්ලිකන්, සහ නිකායන් නොමැති ආගම්හි පුද්ගලයන් ආදී සර්ව ආගමික පුද්ගලයන්ගේ මෘතදේහය මිහිදන් කිරීමට මෙහි ඉඩකඩ වෙන්කර ඇත.

එසේම දෙවන ලෝක යුද්ධයෙන් මියගිය පුද්ගලයන්ගේ සිරුරු මිහිදන් කළ භූමි ප්‍රදේශයක්ද පවතී.

මෙරට කීර්තිමත් දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන්, කලාකරුවෝ රැසක් මියගිය පසු භූමිදානය හෝ ආදාහනය කර ඇත්තේ කොළඹ කනත්තේය. එබැවින් ඔවුන්ගේ සොහොන් කොත්ද මෙහි ඉදිකර ඇත. ඒ අතර හිටපු ජනාධිපතිවරයෙක්වූ ආර්. ප්‍රේමදාස, ඔසී අබේගුණසේකර, වීරසිංහ මල්ලවාරච්චි, රොනී ද මෙල්, මංගල සමරවීර ආදීහු ද වෙති. ජනප්‍රිය කලාකරුවන්වූ විජය කුමාරතුංග, එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලීන් ගුණතිලක, සිසිර සේනාරත්න, ඉන්ද්‍රාණි සේනාරත්න, අජන්තා රණසිංහ වැනි අයගේ අවසන් කටයුතු සිදුකර ඇත්තේ ද මෙහිය. ඔවුන් බොහෝ පිරිසකගේ සොහොන් කොත්ද මෙහි ඉදිකර ඇත. ඒවා ඔවුන්ගේ ඡායාරූප සහිතව කලාත්මකව ඉදිකර ඇත. ඒ සඳහා වෙන්වූ භූමි ප්‍රදේශ ද තිබේ. එනිසා කොළඹ කනත්ත වෙත ජීවමානව පිවිසෙන අයෙකුට මෙහි ඇති සොහොන් කොත් දැකබලාගැනීමෙන් එහි ඇති උප සංස්කෘතිය හඳුනාගත හැකිය. පොදුවේ අප සුසාන භූමිවලට කනත්ත ලෙස පැවසුවත් කනත්ත යන නම ඇති ලංකාවේ එකම සුසාන භූමිය ද වන්නේ කොළඹ කනත්ත සුසාන භූමියයි. එනිසා මෙහි නම කොළඹ කනත්තය.

මෙම දිගු ඉතිහාසයක් සහිත කොළඹ කනත්ත සුසාන භූමිය අපූරු සිද්ධීන්වලින් ගහනය.

බෙල්ලට වැටුණු මල් වඩමක් නිසා ඉදිවූ බොරැල්ල කනත්ත යකඩ වැට
පැල්පොල විපස්සී නාහිමි

සුසාන භූමිවල හොල්මන් ඇතැයි පවසන බැවින් මෙහිදී ද විවිධ හොල්මන් ඇතැයි ඇතැම්හු පවසති. ඒවා කෙතරම් සත්‍ය දැයි කිව නොහැකිමුත් එම හොල්මන් කතා නිසාම මෙහි එක් මායිමකට යකඩ වැටක් ඉදිකිරීම හේතුවූ අපූරු සිදුවීමක් ද ඇත. දේවි බාලිකා විද්‍යාලය ඉදිරිපසින් ඇති කනත්ත මායිමේ දැනට පවතින යකඩ වැට ඉදිකිරීමට මූල්‍ය දායකත්වය සපයා ඇත්තේ පැල්පොල විපස්සී පදනමේ නිර්මාතෘ සහ අග්නිදිග ආසියාවේ සංඝනායක පැල්පොල විපස්සී හිමියන්ය. ඒ සදහා මීට වසර තිහකට පමණ පෙර උන්වහන්සේ ලක්‍ෂ 60 ක් කොළඹ නගර සභාවට පරිත්‍යාග කර ඇත. එම අතීතය පැල්පොල විපස්සී නාහිමියෝ මෙලෙස සිහිපත් කළහ.

බොරැල්ල මොඩල් ෆාම් හි පිහිටි විහාරස්ථානයට මම වැඩම කළේ 1979 වසරේ දී. එසේ එනවිට මෙහි තිබුණේ පර්චස් 07 ක ඉඩමක කුඩා ආවාස ගෙයක් පමණි. මෙම ඉඩම මිල්ලෑවේ සුගතසාර හිමියෝ එවකට රුපියල් දහසකට මිලදී ගෙන තිබුණා. මා මෙහි එනවිට බොරැල්ල කනත්ත සුසාන භූමියේ දේවි බාලිකා විද්‍යාලය ඉදිරිපිට මායිමට තිබුණේ කබොක්වලින් ඉදිකළ තාප්පයකි. අවට ප්‍රදේශයේ පැල්පත් විශාල ප්‍රමාණයක් තිබුණා. ගෝල්ෆ් ක්‍රීඩාපිටිය ආසන්නව තිබුණ ද මේ අවට විවිධ ජාවාරම් කටයුතු සිදුවෙමින් පැවැතියා. කසිප්පු පෙරනවා. ඒවා කනත්ත තාප්පය ළඟ සඟවා තබනවා. මල්වඩම් සොරකම් කරනවා. මිනී වළවල් හාරා මිනී පෙට්ටි සොරකම් කරනවා. එවැනි ජාවාරම් සිදුවන ප්‍රදේශයක මමත් වැඩසිටිනවා. රාත්‍රියට කනත්ත අසල සිට අපගේ ආවාසගෙය පිහිටි භූමියට ඇති මාර්ගයේ කවුරුත් යන්න බයයි. හොල්මන් තිබෙනවා කියා පවසනවා. කනත්තක් තියෙනවානම් හොල්මනුත් සිටිනවා කියා මතයකුත් තියෙනවානෙ. එනිසා රෑට කවුරුත් ගමන් බිමන් යන්නේ නැහැ. ඔය අතරේ මම එවකට ප්‍රකාශයට පත්වූ දවස පුවත්පතේ මාධ්‍ය අනුග්‍රහයෙන් සමස්ත ලංකා භක්ති ගීත වැඩසටහනක් සංවිධානය කළා. එහි අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව තිබුණේ සුගතදාස ක්‍රීඩාංගණයේ.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණීමට ආරාධනා කර තිබුණෙ එවකට ඉඩම් ඇමැතිධුරය දැරූ ගාමිණී දිසානායක මහතාටය.

බෙල්ලට වැටුණු මල් වඩමක් නිසා ඉදිවූ බොරැල්ල කනත්ත යකඩ වැට
බොරැල්ල මොඩල් ෆාම් හි පිහිටි විහාරස්ථානය 1964 පෙර

දවස පුවත්පතේ මාධ්‍ය අනුග්‍රහයෙන් භක්ති ගීත ප්‍රසංගය පැවැත්වෙන නිසා එහි මාධ්‍යවේදීන් දෙදෙනෙක් වන එච්. ඩබ්ලිව්. අබේපාල සහ විජේනායක යන මහත්වරු දෙදෙනා දිනපතාම වාගේ මා හමුවීමට සවසට පැමිණ භක්ති ගීත වැඩසටහනට අදාළ පත්‍රිකා, දැන්වීම් එහි අවසන් නිර්මාණ ආදිය සම්බන්ධව කටයුතුවල නිරත වෙනවා. ඔවුන් දෙදෙනා බොහෝ දිනවල යන්නේ පාන්දර දෙක තුන පමණ වෙලා. දවසක් මේ දෙදෙනා වැඩකටයුතු අවසන්වී පාන්දර දෙකට පමණ මගේ ආවාස ගෙයින් පිටව නිවෙස් බලා යන්න පිටත්වූවා.

එසේ ගොස් විනාඩි කිහිපයකින් දෙදෙනා හතිදාගෙන දුවගෙන ආවා. ඇවිත් කිව්වා හාමුදුරුවනේ අබේපාල මහත්තයාගේ බෙල්ලට මල්වඩමක් වැටුණා. මේක නම් හොල්මනක වැඩක් කියා ඔවුන් පැවසුවා. මම කිව්වා ඔය හොල්මනක වැඩක් නෙමෙයි කුඩුකාරයින්ගේ හෝ මල්වඩම් සොරුන්ගේ වැඩක් කියා. නමුත් ඒ අයට එය පිළිගෙන යන්න හිතට හයියක් තිබුණේ නැහැ. ඔවුන් හොදට ම බියවී සිටියා. එනිසා මම ඒ දෙදෙනාම බොරැල්ල බෝධිය ආසන්නයට දක්වා ගෙන ගොස් ඇරලුවා.

බෙල්ලට වැටුණු මල් වඩමක් නිසා ඉදිවූ බොරැල්ල කනත්ත යකඩ වැට
සිංහල, ඉංග්‍රීසි සහ ජපන් භාෂාවෙන් සඳහන් ලංකාවේ ඇති එකම මාවත් නාම පුවරුව

මෙහිදී මට අදහසක් ඇතිවුණා කවදා හෝ මෙම තාප්පය වෙනුවට දෙපැත්ත පෙනෙන වැටක් ඉදිකරනවා කියා. ඒ අනුව මම පසු කාලයේදී කොළඹ නගරාධිපතිවූ සිරිසේන කුරේ මහතාට මේ ගැන පැවසුවා. එහිදී සිරිසේන කුරේ මහතා පැවසුවේ හාමුදුරුවනේ අදහසනම් හොඳයි ඒත් නගර සභාවට ඒ සඳහා මුදල් ප්‍රතිපාදන නැහැනෙ කියා. එවිට මම කිව්වා මම රුපියල් ලක්‍ෂ 60 ක් දෙන්නම් නගර සභාවෙන් වැට ඉදිකරන්න කියලා. ඒ අනුව 1986 මම සිරිසේන කුරේ මහතාට අදාළ මුදල පරිත්‍යාග කළා. ඊට පස්සෙ තමයි ඔය වැට ඉදිවුණේ. ඊට පස්සේ පසුකාලයේදී මගේ නමින් මෙම මාවත නම් කළයුතු බවට මෙම ප්‍රදේශයේ පදිංචිව සිටි සංඝදාස නැමැති මහත්මයෙක් නාගරික මන්ත්‍රී වික්ටර් දාබරේ මහතාට යෝජනා කර තිබුණා. ඒ මහතා එය කොළඹ නගර සභාවට ඉදිරිපත් කළ පසු පක්‍ෂ විපක්‍ෂ දෙපාර්ශ්වයම එම යෝජනාව ඒකමතිකව සම්මත කර තිබුණා. නමුත් එම නාමපුවරුව ඉදිකිරීමටත් ගැටලු කිහිපයක් මතුවී තිබුණා. ඉන් එක් ගැටලුවක් වූයේ හිටපු ජනාධිපතිවරයෙක්වූ ආර්. ප්‍රේමදාස මහතා නිකුත් කර තිබූ ගැසට් නිවේදනයකි. එම ගැසට් නිවේදනයට අනුව ජීවතුන් අතර සිටින අයගේ නමින් මාවත් නම් කිරීම තහනම්. නමුත් එම ගැසට් නිවේදනයට පෙර මෙම යෝජනාව නගර සභාවට ඉදිරිපත් කර තිබූ බව වත්මන් අධ්‍යාපන ඇමැති සහ බස්නාහිර පළාතේ එවකට හිටපු මහ ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අනාවරණය කර ගෙන තිබුණා. ඒ අනුව ඒ මහතා විසින් එවකට කොළඹ නගරාධිපතිව සිටි කරු ජයසූරිය මහතාට මේ බව දැනුන් දී මෙම මාර්ගය මගේ නමින් නම් කළා. එසේම සිංහල, ඉංග්‍රීසි සහ ජපන් භාෂාවෙන් සඳහන් පුවරුවක් සහිත ලංකාවේ ඇති එකම මාවතත් මෙයයි.

එනිසා මෙම මාවත නම් කිරීමට මා කිසිම ආකාරයකින් සම්බන්ධවුණේ නැහැ. මට එවැනි අවශ්‍යතාවයක් ද තිබුණේ නැහැ. මට අවශ්‍ය වුණේ මා පදිංචිව සිටින ප්‍රදේශයේ පිහිටි සුසාන භූමිය නිසා ජනතාව විදින හිරිහැරයක් නැති කරදීමයි.

මෙම යකඩ වැට නිසා කිසිවකුට සැඟවී කිසිවක් කළ නොහැකියි. එනිසා දැන් මෙම මාර්ගයේ රෑට හොල්මන් නැහැ. පැල්පොල විපස්සි නාහිමියෝ සිය අතීතාවර්ජනය එසේ අවසන් කළහ.

උපාලි ද සේරම්
පිංතූර – නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment