බෙල්ලන්විල ඇසළ පෙරහැර මංගල්‍යය අගෝ. 3 සිට

25

බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ 74 වැනි ඇසළ පෙරහැර අගෝස්තු 03 වැනිදා සිට 24 වැනිදා දක්වා කාලයේ පැවැත්වීමට බෙල්ලන්විල ඇසළ පෙරහැර කමිටුව තීරණය කළ බව බෙල්ලන්විල රාජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමිපාණෝ පැවැසූහ.

උන්වහන්සේ එසේ පැවැසුවේ බෙල්ලන්විල ඇසළ පෙරහැර පැවැත්වීම පිළිබඳව රාජ්‍ය අංශ දැනුවත් කිරීම සඳහා එම විහාරස්ථානයේදී පැවැති රැස්වීමේදීය.

ඒ අනුව අපවත් වී වදාළ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන හිමිපාණන් හා මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක හිමි ගුණානුස්මරණය වෙනුවෙන් වාද්දුව බොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙනේදී අගෝස්තු 03 වැනිදා සහ 04 වැනිදා පිරිනමන දානයෙන් ඇසළ පෙරහැර කටයුතු ඇරඹේ.

අගෝස්තු 7, 8, 9 යන දිනවල ගුණානුස්මරණ ධර්ම දේශනා මාලාව පැවැත්වේ. 11 වැනිදා සිට 15 වැනිදා දක්වා සති පිරිත් දේශනාව ආරම්භ කරන අතර, දොරකඩ අස්න අනුශාසනාව, දේවදූත පෙරහැර සහ කුඹල් පෙරහැර 17 වැනිදා දක්වා පැවැත්වේ.

19, 20, 21 යන දිනවල මල් පෙරහැර හා 22 වැනිදා පාවාඩ පෙරහැර පැවැත්වේ. 23 වැනිදා රන්සිවිලි පෙරහැර හා 24 වැනිදා රන්දෝලි මහා පෙරහැර පැවැත්වේ. 25 වැනිදා දිය කපන පෙරහැර හා දේව දානය පැවැත්වීමෙන් අනතුරුව ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත්වේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඥානතිස්ස ජයවර්ධන – බොරලැස්ගමුව

advertistmentadvertistment
advertistmentadvertistment