බෙල්ලේ ගෙඩියක් ‘කෙල්ල’ මියයයි

467

දෙහිවල ජාතික සත්වෝද්‍යනයේ ‘කෙල්ල’ නමැති ව්‍යාඝ්‍ර ධේනුව පෙරේදා (6දා) මියගොස් ඇත.

බෙල්ල ප්‍රදේශයේ ඇතිව තිබූ ගෙඩියක් හේතුවෙන් සති කීපයක් පීඩා විඳිමින් සිටි ඇය මියගොස් ඇත. පසුව අනාවරණය වී ඇත්තේ ඇය පිළිකාවකින් පෙළෙමින් සිට ඇති බවයි.

දෙහිවල ජාතික සත්වෝද්‍යනයේදී ඉකුත් දිනවල නරඹන්නන්ගේ දැඩි අවධානයක් දිනාගත්, අකිරා, ඩුමා සහ ලියෝ සහ ව්‍යාඝ්‍ර පැටවුන්ගේ මව වූ ‘කෙල්ල’ ධේනුව ජාතික සත්වෝද්‍යනයේ පශු වෛiවරුන් සහ සත්ත්ව අංශයේ කාර්ය මණ්ඩලයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

අවුරුදු 15ක් පමණ වයසැති ‘කෙල්ල’ ධේනුව චීනයේ ෂියැංජින් සෆාරි උද්‍යනයේ සිට සත්ත්ව හුවමාරු වැඩසටහනක් යටතේ 2008 වසරේදී දෙහිවල ජාතික සත්වෝද්‍යනයට රැගෙනවිත් තිබූ බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලක් ප්‍රේමකාන්ත මහතා ‘දිවයිනට’ පැවසීය.

‘කෙල්ල’ ව්‍යාඝ්‍ර ධේනුවගේ මරණය සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ සහභාගිත්වයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණයක් සිදු කරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සුජීව තත්සර සහ  ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment