බෙල්ලේ වේදනාවෙන් මිදීමට කළ යුතු දේ

882

බෙල්ලේ කැක්කුම වයස් බේදයකින් තොරව බොහෝ දෙනා පීඩා විඳින රෝගී තත්ත්වයකි. බොහෝ විට බෙල්ලේ කැක්කුම ඇතිවන්නෙ වැරදි ඉරියව් නිසාය. අනෙක් සුලභ හේතුව වනුයේ වයස්ගත වීමත් සමඟ බෙල්ලේ කශේරුකාවල සන්ධි ගෙවීමෙන් ඇතිවන තත්ත්වයයි. මෙය cervical spondylosis ලෙස හඳුන්වයි.

අනෙකුත් හේතු වනුයේ,

බෙල්ලට සිදුවන අනතුරු නිසා බෙල්ලේ කශේරුකා, සම්බන්ධක පටක සහ කශේරුකා අතර ඇති discවලට හානි සිදුවිය හැක.

සුෂුම්නාවේ සිට එන ස්නායු තද වීම බෙල්ලේ කශේරුකාවල ඇතිවන ආතරයිටිස් තත්ත්වයන් බෙල්ල ආශ්‍රිත පිළිකා සහ පිළිකා නොවන වර්ධනයන් (growths and tumours)

● වැරදි ඉරියව් නිසා හටගන්නා බෙල්ලේ කැක්කුම

බෙල්ල වැරදි ඉරියව්වල පවත්වාගැනීම නිසා බෙල්ලේ මාංශ පේශි සහ සම්බන්ධක පටක ආතතියට ලක්වේ. දිගු කලක් මෙසේ ආතතියට ලක්වීමෙන් මාංශ පේශි සහ සම්බන්ධක තන්තු තද වී (spasm) අධික වේදනාවක් ඇතිවේ. මේ නිසා බෙල්ලේ චලනයන් වේදනාකාරී වේ.

● බෙල්ලේ කැක්කුමට බලපාන වැරදි ඉරියව්

දීර්ඝ වේලාවක් හිස ඉදිරියට යොමුකර ඉදිරිය බලා සිටීම

උදා: පරිගණක තිරය භාවිතය, රිය පැදවීම

උරහිස් හකුළාගෙන දිගු වේලාවක් වාඩිවී සිටීම

මානසික ආතතිය නිසා උරහිස මාංශ පේශි තද කරගෙන (rigid) සිටීම

ගෙල නවාගෙන ජංගම දුරකථන හෝ ටැබ් තිරය දෙස දීර්ඝ වේලාවක් බලා සිටීම

● බෙල්ලේ කැක්කුම වැළැක්වීමට කළ යුතු දේ

සිටගෙන සහ හිඳගෙන සිටින විට උරහිස සහ උකුල් ඇට සන්ධි එක රේඛාවක තිබෙන පරිදි ඉරියව් පවත්වා ගත යුතුය. ඔබගේ කන් දෙක උරහිසට කෙලින්ම ඉහළින් සිටින සේ තබා ගතයුතුය.

ජංගම දුරකථන හෝ ටැබ් වැවැනි කුඩා තිර භාවිතයේදී හිස කෙලින් තබා ජංගම දුරකථනය/ ටැබ් තිරය මුහුණ ඉදිරියේ තබා ගැනීම, මෙවිට බෙල්ල නවා ගෙන සිටීමෙන් වැළකේ.

ඔබට දීර්ඝ වේලාවක් පරිගණක තිරය භාවිතය සිදුවේ නම් එය ඔබගේ ඇස් මට්ටමේ තිබෙන පරිදි පරිගණකය, පුටුව හා මේසය සකසා ගැනීම.

එක දිගට දීර්ඝ පැය ගණනක් ඔබ පරිගණකයේ හෝ ලිපි ගොනුවල වැඩ කරන්නේ නම් විනාඩි 30කට වරක් නැගිට උරහිස් හා ගෙලෙහි සුළු චලනයන් සිදු කිරීම.

බරැති බෑග් පටියක් මඟින් එක උරහිසක පමණක් එල්ලා රැගෙන යෑම නොකළ යුතුය

දුම්පානය නැවැත්වීම – දුම්පානය දීර්ඝකාලීන බෙල්ලේ වේදනාව සඳහා අවදානම් තත්ත්වයකි.

● නිතිපතා ව්‍යායාම සිදුකිරීම

ඔබගේ බෙල්ලේ වේදනාව සතියකට වඩා පවතීනම් සන්ධි සහ සන්ධි ආශ්‍රිත රෝග පිළිබඳව වෛද්‍යවරයකු හමු වී උපදෙස් ලබාගැනීම වැදගත්ය. මුල් අවස්ථාවේ නොසලකා සිටීමෙන් එය නිධන්ගත තත්ත්වයට පත්විය හැක. බෙල්ලේ වේදනාව ඇතිවීමට බලපාන හේතුව හඳුනා ගැනීමෙන් පමනක් වේදනාව අඩුවීමට ප්‍රතිකාර ලබාගත හැක. තවද බෙල්ලේ වේදනාව ආතරයිටිස් වැනි රෝගී තත්ත්වයක් නිසා ඇතිවූ විටක ඒ සඳහා වැඩිදුර පරීක්ෂණ කිරීමද අවශ්‍ය වේ.

බෙල්ලේ වේදනාවෙන් මිදීමට කළ යුතු දේ

සන්ධි සහ සන්ධි ආශ්‍රිත රෝග පිළිබඳව (රක්තවාතවේදී)
විශේෂඥ වෛද්‍ය – සඳිනි විජේවීර

advertistmentadvertistment
advertistmentadvertistment