බෙහෙතකටවත් ගන්න බෙහෙත් නැත ?

225

“ආරෝග්‍යා පරමා ලාභා” යන වචනයෙහි හැබෑම තේරුම ජනතාවට හරිහැටි දැනෙන්නෙ දැන් බවට කිසිදු සැකයක් නැත. මේ වන විට රටේ ජනතාවට ලෙඩ රෝග නොව තවත් බොහෝ දේ අමතක කරන්නට සිදුව තිබේ. රටේ ජනතාවගෙන් අඩක්ම මේ වන විට බෙහෙත් පෙත්තක් ගැන ඇහැක් ඇර බලන්නේ නැත. ලෙඩ තිබෙන අයත් ලෙඩ නැති අයත් දෙපාර්ශ්වයම ලෙඩට බෙහෙත් නොව බඩට කෑම ගැන පමණක් කල්පනා කරන ජාතියක් බවට පත්ව ඇත. වැඩිහිටි පරම්පරාව දරුවන්ගේ අවශ්‍යතාව ගැන සිතනවා විනා තමන්ට ඇති ලෙඩ රෝග ගැන සිතන්නේම නැති තරම්ය. අපි මේ ගැන දිගින් දිගටම කතා කළෙමු. එහෙත් තත්ත්වය තවමත් සමනය වී ඇති බවක් පෙනෙන්නට නැත. දවසින් දවස සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුදය වැඩි වෙනවා මිස අඩු වන්නේ නැත. අපි නැවත මේ කියන්නට යන්නේ ඒ කතාවයි,

මේ වනවිට බොහෝ රජයේ රෝහල්වල රසායනාගාර පරීක්ෂණ සිදු නොකෙරෙන තත්ත්වයක්ද උද්ගතව ඇති බව දිගින් දිගටම වාර්තා වන්නේය.

එම රසායනාගාර පරීක්ෂණ සඳහා අත්‍යවශ්‍ය රසායන ද්‍රව්‍ය සහ උපාංග නොමැති වීමෙන් මෙසේ එම පරීක්ෂණ නැවතී ඇති බව කියවේ.

ඒ අනුව, රෝගීන්ට එම පරීක්ෂණ වාර්තා පෞද්ගලික රසායනාගාරවලින් මුදල් ගෙවා ලබාගැනීමට සිදුව තිබේ.

එසේම රජයේ රෝහල්වල එම පරීක්ෂණ නැවතී ඇති තත්ත්වයක් තුළ පෞද්ගලික රසායනාගාර ඒවා සඳහා ඉතා ඉහළ මිලක් අයකරමින් සිටින බවත් වාර්තා විය.

මේ තත්ත්වය ඖෂධ හිඟයටත් වඩා බරපතළ බවයි වෛද්‍යවරුන්ගේ මතය වී ඇත්තේ. මන්දයත් රෝහලට පැමිණෙන රෝගියකුගේ රෝග විනිශ්චය සඳහා මෙම රසායනාගාර පරීක්ෂණ වාර්තා අත්‍යවශ්‍ය වන බැවිනි. පෞද්ගලික රසායනාගාරවලට ගෙවීමට මුදල් නොමැති අඩු ආදායම්ලාභී රෝගීන්ගේ රෝග තත්ත්වය හෝ හඳුනාගැනීමට නොලැබෙන ඉතා අසරණ තත්වයකට ඔවුන් පත්වෙමින් සිටින බව වෛද්‍යවරු පෙන්වා දේ.

එමෙන්ම රසායනාගාර සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟවන්නේ ඩොලර් හිඟය නිසා නම් පෞද්ගලික අංශය සතුව ඒවා පවතින්නේ කෙසේද යන්නද ප්‍රශ්නයකි. ඔවුන් පෙන්වා දෙන්නේ රටට ලැබෙන සීමිත ඩොලර් ප්‍රමාණය වුවත් ප්‍රමුඛතාව මත වියදම් නොකෙරෙන්නේද යන ගැටලුව මෙහිදී මතුවන බවයි.

● සුව සේවය ලෙඩ වෙලාද?

ශ්‍රී ලංකාවේ අද පවතින සෞඛ්‍ය සේවය ගැන අවබෝධයක් ඇති කරගත යුතුම කාලය මෙයයි. දළ ජාතික නිෂ්පාදනයෙන් 3.4% පමණ සෞඛ්‍ය සඳහා වියදම් කරන ශ්‍රී ලංකාව, අඩු හෝ මධ්‍යම ආදායම් ඇති රටවලට සාපේක්ෂව දැනටත් වියදම් කරන්නේ අඩු මුදලකි. ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල සෞඛ්‍ය වියදම වසරකට ඇමෙරිකානු ඩොලර් 168ක් පමණ වේ. මෙයද සංසන්දනාත්මකව ඉතා අඩු මුදලකි. ඇමෙරිකානු එක්සත් ජනපදයේ මෙය ඩොලර් 10,921 ක්ද, රුසියාවේ මෙය ඩොලර් 653 ක්ද, චීනයේ මෙය 535 ක්ද වන අතර අප හා සමාන සෞඛ්‍ය දර්ශක තිබෙන සමාජවාදී කියුබාවේ පවා මෙය ඩොලර් 1031 කි. මෙසේ ඉතා අඩු වියදමක් දැරුවත් අපගේ ළදරු මරණ අනුපාතිකය, මාතෘ මරණ අනුපාතිකය, ආයු අපේක්ෂාව, රෝග මරණ අනුපාතිකය මේ කිසිම රටකට නොදෙවෙනි වේ. එසේම අඩු ආදායම්ලාභීන්ට සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමට ඇති හැකියාව, රෝහල්වලට හා සායනවලට ඇති දුර ප්‍රමාණය, සෞඛ්‍ය ප්‍රශ්න නිසා දුගී බවට පත්වීමට ඇති සම්භාවිතාව, විවිධ රෝගයන් නිසා මරණයට පත්වන ප්‍රතිශතය වැනි සෞඛ්‍ය දර්ශක අතිනුත් අප රට සිටින්නේ ඉතා ඉහළ මට්ටමකිනි. ලංකාව තවත් හොඳ යැයි සලකන රටවල් දහයක් සමඟ සංසන්දනය කරමින් ලෝක බැංකුව විසින් 2018 දී පලකරන ලද වාර්තාවක අඩු වියදමකින් ඉහළ සෞඛ්‍ය මට්ටමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාව “සෞඛ්‍ය සේවා ආශ්චර්යය” ක් (Health Miracle) ලෙස හඳුන්වා දී ඇත්තේ මේ නිසාය. මෙලෙස සීමාව ඉක්මවා සැබෑ කරගත නොහැකි ආශ්චර්යයන් පසුපස හඹා ගොස් දණ බිම ඇනගෙන මුළු ලොකයෙන්ම හිඟමන් යදින තත්ත්වයට අපි පත්ව හමාරය. අප ළඟා කරගන්නට හින දුටු ආශ්චර්යයන් නොදකින්නට තරම් අප අවසානාවන්තයන් බවට පත්ව ඇත්තෙමු. ආශ්චර්ය කරා රැගෙන යන බව කියමින් වංචාවෙන් දූෂණයෙන් අප පාරට ඇද දැමූ පාලකයන් දැන් කොහෙද?

මෙතරම් අර්බුදයක් මධ්‍යයේ වුව ආණ්ඩුවේ වගකිව යුත්තෝ තවමත් කියන්නේ, තමන් ආර්ථික සහ සෞඛ්‍ය අර්බුදය යන දෙකටම අවධානය යොමු කර ඇති බවය. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් අවශ්‍ය අරමුදල් හෝ ඖෂධ ලබා ගැනීමට සාකච්ඡා කරමින් සිටින බව ආණ්ඩුව පසුගිය දිනවල පවසා තිබිණි. එසේත් නැතිනම් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් පරිත්‍යාග ලබා ගැනීමට කටයුතු කරන බවද ආණ්ඩුව සඳහන් කර තිබිණි. කෙසේ නමුත්, සෞඛ්‍ය අර්බුදයක් සෘජුවම ගනුදෙනු කරන්නේ කාලය සමඟයි. බැරෑරුම්ම කාරණය වන්නේත් එයයි. කාලයත් සමඟ මිනිස් ජීවිත දැඩිව බැඳී පවතින හෙයින්, ඉක්මන් සහ ඍජු තීරණ ගැනීම ඉතා වැදගත්.

පසුගිය නොවැම්බර් පළවෙනිදා දිනපතා දිවයින පුවත්පතේ මුල් පිටුවේ ද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතිව තිබෙන බරපතළ තත්ත්වයේ තවත් කථිකාවතක් ගැන සඳහන් කර තිබිණි, ඒ මෙසේය.

මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන්ට අවශ්‍ය ඖෂධ සියයට පනහක් පමණ හිඟ බව එම රෝහලේ ප්‍රකාශකයෙක් පවසා තිබිණි. මෙම තත්ත්වය වැඩිහිටියන්ට මෙන්ම දරුවන්ට ද බලපාන බවත් හිඟවන ඖෂධ යම් ප්‍රමාණයක් ලැබෙන තත්ත්වයක් සහ දින ගණනක් නොලැබෙන තත්ත්වය හමුවේ නිශ්චිතවම මෙපමණ ඖෂධ ප්‍රමාණයක් නොමැති බව කිව නොහැකි බවත් ඔහු කීය. හිඟවන ඖෂධ හිතවතුන් සහ විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් කර ලබා ගන්නා බවත් ඖෂධ ලබා දී උපකාර කළ හැකි අය සිටීනම් රෝහලට ඖෂධ පරිත්‍යාග කළ හැකි බවත්, එම ප්‍රකාශකයා කියා තිබිණි. අපේක්ෂා රෝහලේ රෝගීන් සඳහා නිර්දේශ කරන ඇතැම් ඖෂධ මිල අධික බවත් එවැනි ඖෂධ සහ හිඟ ඖෂධ පරිත්‍යාග කළ හැකි පිරිස අමතා තොරතුරු ලබාගත හැකි බවත් එම ප්‍රකාශකයා කියා පවසා තිබිණි. ඖෂධ හිඟවීමට ප්‍රධානම හේතුවක් වී ඇත්තේ ඖෂධ සැපයුම්කරුවන් සඳහා ගෙවිය යුතු මුදල් මාස ගානණක් තිස්සේ නොගෙවීම නිසා එම සැපයුම්කරුවන් නිසි ලෙස සැපයීම සිදු නොකිරීම බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

පිළිකා රෝගියකු යනු සිය ජීවිත කාලය පුරාම ඖෂධ මත ජීවිතයේ තීරණය කරන අය කරන අයකු බව අමුතුවෙන් සඳහන් කළයුතු නැත. කලකට ඉහත දී ඖෂධ මිල ගණන් අඩු කර තිබියදී පවා පිලිකා රෝගීන් සඳහා වන බෙහෙත් ඖෂධ මිල තිබුනෙත් ඉතා ඉහළ මිල ගණන් වලමය. එසේ වී නම් මේ මොහොතේ එම මිල කොතරම් ඉහළ ගොස් ඇත්දැයි යන්න රටේ ජනතාවට අමුතුවෙන් කිව යුතු නැත. අර්බුදය වන්නේ ඉහළ මිල ගණන්වලට හෝ ඖෂධ මිලට ගැනීමට හැකියාවක් නොමැති වීමය. වහාම අදාළ සැපයුම්කරුවන්ට ගෙවිය යුතු මුදල් ගෙවා හෝ අදාළ ඖෂධ ගෙන්වා දීම බලධාරීන්ගේගේ වගකීමකි.

එමෙන්ම ඇතැම් ආනයනික ඖෂධ මිල සීයයට 300 -400 කින් ඉහළ ගොස් තිබීම ද ගැටලුවකි.

ආනයනික ඇතැම් ඖෂධවල මිල සියයට 300-400 වැනි ඉහළ මිල ගණනකින් වැඩි වී ඇති නිසා, ඖෂධ සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන්නයි පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දන ගන්කන්ද මහතා ඉල්ලා සිටී. මිල සූත්‍රයක් පැනවීම ඖෂධ අධිකාරිය විසින් කළ යුතු බවත් මේ සඳහා සෞඛ්‍ය ඇමැති සහ ඖෂධ අධිකාරිය ඇතුළු බලධාරීන් හමුවී දැනුවත් කළත් මේ වන තෙක් ඉටුකර ගැනීමට නොහැකි වී ඇති බවත් ගන්කන්ද මහතා පැවසීය. දැනට ඖෂධ නාමයන් හැඳින්වෙන්නේ ඖෂධ වර්ග 1200ක් පමණ ඇතත් මිල පාලනයක් සිදු කර ඇත්තේ ඖෂධ සීයයක පමණක් බවත් ඔහු කීය. රජය විසින් සියයට 29 කින් සහ සියයට 40කින් අවස්ථා දෙකකදී ඖෂධ මිල වැඩි කිරීමට අවසර දීමෙන් පසුව ඖෂධ මිල 81% කින් ඉහළ ගිය බවත් ඇතැම් ආනයනික ඖෂධ මිල සූත්‍රයක් නැති නිසා සියයට 300කින් 400 කින් ඉහළ ගොස් ඇති බවත් ඔහු පැවසීය. ඖෂධ මිල තීරණය ආනයනකරු, තොග වෙළෙන්දා සහ සිල්ලර වෙළෙන්දා යන පාර්ශ්ව තුනේම එකඟතාවය මත කළ යුතු බව ඖෂධ පනතේ සඳහන්ව ඇත්තේ එය නොසලකා ආනයනකරුවන් අධික මිලකින් ඖෂධ මිල වැඩි කරන බවත් එය තොග සහ සිල්ලර වෙළෙන්දාට ද ක්‍රියාත්මක කිරීමට සිදුවන බවත් ගන්කන්ද මහතා වැඩිදුරටත් කියා සිටියේය.

අපට මේ මොහොතේ කියන්නට සිදුව ඇත්තේ සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ගැන සිහිපත් කරන ලෙස පමණය. එතැනදීද අර්බුදය විසඳීමේ වගකීම ඇත්තේ ආණ්ඩුවටය.

● ලේ බැංකුවත් අනතුරේ

ක්වොඩ්ඩි්‍රපල් ශල්‍ය ඇසරුම් (Quadruple Bood Bag) රැගෙන යෑමට ප්‍රධාන රුධිර පාරවිලන මධ්‍යස්ථානය වෙත පැමිණෙන ප්‍රාදේශීය රුධිර බැංකු සාමාජිකයන්ට හිස් අතින් හැරී යෑමට සිදුව ඇති බව ජාතික රුධිර පාරවිලනය මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් පවසා තිබිණි. රුධිරය එකතු කරන ලද ත්‍රිපල් ඇසුරුම් සති දෙකකට පමණක් ප්‍රමාණවත් වුවද කොන්ට්‍රබල් ඇසුරුම් නොමැති වීමෙන් ත්‍රිපල් ඇසුරුම් ද තව දින දහයක පමණ කාලයක් තුළදී අවසන් වනු ඇති බව එම ප්‍රකාශකයා පවසා තිබිණි. ක්වොඩ්ඩ්‍රිපල් ශල්‍ය ඇසරුම් (Quadruple Bood Bag) සැපයුම්කරුවන්ගෙන් මීට පෙර අවස්ථා දෙකකදී ගෙන්වාගත් තොගයක් සඳහා රුපියල් මිලියන ගණනක් විය යුතුව තිබුණද මේ වන තෙක් එය ගෙවා නොමැති පසුබිමක රුධිර බැංකුවේ අධ්‍යක්ෂවරයා පෞද්ගලික මැදිහත්වීම මත Quadruple ඇසුරුම් තොගයක් ගෙන්වාගෙන ඇති අතර නොවැම්බර්

1 වෙනිදා පැමිණ ඇත.

එහෙත් එය නිදහස් කරගැනීමට දින කිහිපයක් ගතවන බවද එය නිදහස් කර ගන්නා තෙක් රුධිරය එකතු කිරීමට ශල්‍ය ඇසුරුම් නොමැති බවද සඳහන් වේ. ත්‍රිපල් ඇසුරුම් මිලදී ගැනීමට අවශ්‍ය කරන ණයවර ලිපිය මේ වන තෙක් විවෘත කර නොමැති බවත් ණයවර ලිපි විවෘත කර ඇසුරුම් ඇණවුම් කළද එය ලැබීමට මාස තුනක පමණ කාලයක් ගතවනු ඇති බවත් ඔහු පැවසීය. මේ අනුව ඉදිරියේ දී රුධිරය ඇසුරුම්වල ද උග්‍ර හිඟයක් ඇතිවීමේ අවදානමක් තිබේ. ඒ තත්ත්වය තුළ හිඟයක් ඇතිවීමේ අවධානම ඉතා තදින්ම තිබෙන බවත් ආරංචිමාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකාව දැන් සිටින්නේ ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයකට මැදිව ය. වෛද්‍ය සැපයුම්වලින් 85% ක් පමණ ආනයනය කරන රටක් ලෙස විදේශ මුදල් සංචිත සිඳී යෑමෙන් සෞඛ්‍ය සේවය දරුණු අර්බුදයකට අප රට මුහුණපාන බව අමුතුවෙන් කිව යුතු නැත. ආණ්ඩුවේ තත්ත්වය සිංගප්පූරුවේ රතුකුරුස සංවිධානය විස්තර කර ඇත්තේ “පෙර නොවූ විරූ මානුෂීය අර්බුදයක්” ලෙසට ය.

සිංගප්පූරුවේ රතු කුරුස සංවිධානය මෙසේ සඳහන් කොට ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථික සහ මානුෂීය අර්බුදයට ප්‍රතිචාර වශයෙන් කැප කළ සිංගප්පූරු ඩොලර් 100,000 ට සමගාමී ව ය. එය ශ්‍රී ලංකාවේ අවදානමට ලක් විය හැකි ප්‍රජාවන්ට ආධාර කිරීම උදෙසා හදිසි වෛද්‍ය සැපයුම් සහ අනෙකුත් මූලික අවශ්‍යතා වෙනුවෙන් වෙන් කළ බව සඳහන් වේ. මීට අමතරව, එම ප්‍රජාවන්ට ඖෂධ සහ උපකරණවලින් ආධාර කිරීම සඳහා පරිත්‍යාග රැස් කිරීමේ ක්‍රියාවලියක්ද ඔවුන් ආරම්භ කර තිබේ.

● මැලේසියාවෙන් ශ්‍රී ලංකාවට රු. මිලියන 22ක් වටිනා වෛද්‍ය ආධාර!

ඔක්තෝබර් (31) දින මැලේසියානු රජය විසින් ශ්‍රී ලංකාවට රිංගිත් 288,610.00 (රු. මිලියන 22.3) ක් වටිනා ඖෂධ තොගයක් පරිත්‍යාග කර ඇත. ක්වාලාලම්පූර් හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා කොළඹ වෙත එම ඖෂධ තොගය භාර දෙන ලදී.

මෙම ඖෂධ තොගය අතර, ජීවිතයට තර්ජනයක් විය හැකි දිලීර ආසාදනවලට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගැනෙන ඇම්ෆොටෙරිසින් බී එන්නත් 50 පට කුප්පි 1,000ක්, රුධිර කැටි ගැසීමේ හැකියාව අඩු කිරීමට සහ රුධිර නාලවල හානිකර කැටි ගැසීම් වළක්වා ගැනීමට යොදා ගැනෙන 25,000 I.U/5 ml පක ප්‍රමාණයේ Heparin එන්නත් 20,000ක්, සහ ශ්වසන ආබාධවලට යොදා ගැනෙන 10ml එන්නත් ලෙස ලබා දෙන Aminophylline 25ml ඇම්පියුලර් 10,000 ක් අතර ඇත.

මෙම ඖෂධ තොගය මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් මහතා වෙත එරට සෞඛ්‍ය අමාත්‍ය ඛයිරි ජමාලුදීන් මහතා විසින් පිළිගන්වන ලදී. මැලේසියාවේ පුත්‍රජයහි සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මෙම ප්‍රදානය කිරීමේ උත්සවය පැවැත්වුණු අතර එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ඊට සහභාගි වූහ.

මෙම දායකත්වය මැලේසියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සමීප සබඳතා සහ මිත්‍රත්වය සහ වත්මන් සමාජ-ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සහාය වීම සංකේතවත් කරන අතර, මෙම කාලය තුළ මැලේසියාව ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ සෞඛ්‍ය සේවා සැපයීම සඳහා සහාය වනු ඇතැයි බලාපොරොත්තු වේ.

● පෞද්ගලික අංශයත් අවුලට,

වර්තමානයේ රට තුළ ඇතිවී තිබෙන ඖෂධ හිඟය හේතුවෙන් පෞද්ගලික රෝහල් ක්ෂේත්‍රය දැඩි අසීරුතාවයකට මුහුණදී සිටින බව පෞද්ගලික රෝහල් ක්ෂේත්‍රය පවසයි.

මේ වනවිට පෞද්ගලික රෝහල් සඳහා ඖෂධ සැපයීමේ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය පහළ ගොස් ඇති බවත්, මේ හේතුවෙන් රෝගීන්ට අවශ්‍ය ඖෂධ ලබාගැනීමේදී ඇතැම් විට දින ගණනාවක් බලා සිටීමට සිදුව ඇත. රට තුළ මතුවී තිබෙන ඩොලර් අර්බුදය නිසා ඖෂධ සහ වෛද්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය ද්‍රව්‍යවල මිල දිනෙන් දින ඉහළ යෑම පෞද්ගලික රෝහල් පද්ධතියට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවත්, සෞඛ්‍ය පරීක්ෂණ සහ සේවාවන්හි මිල ඉහළ දැමීමට සංගමයක් ලෙස මේ වන විටත් කිසිදු තීරණයක් ගෙන නොමැති වුවද, අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ගණන් දිනෙන් දින ඉහළ යෑම හේතුවෙන් එම සේවාවන් සඳහා මිල පාලනයක් සිදුකිරීමද කළ නොහැකි තත්ත්වයක් මතුවී ඇතැයි පෞද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් කියන්නාහ. මෙම අසීරු වාතාවරණය යටතේ වුවද රෝගීන්ට හැකි උපරිම ආකාරයෙන් සහන ලබාදෙන ලෙස පෞද්ගලික රෝහල් සංගමය සිය සාමාජිකයන්ගෙන් ඉල්ලීමක් කර තිබිණි.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ඖෂධ හිඟය සඳහා කියා තිබුණේ මෙවැනි කතාවකි.

ඖෂධ හිඟය හේතුවෙන් ශල්‍යකර්ම, වෛද්‍ය පරීක්ෂණ ආදිය සීමා කිරීමට සිදුව ඇති අතර සෞඛ්‍ය සේවය මුළුමනින්ම අඩපන වී ඇත. මෙම තත්ත්වය අලුත උපන් බිළිඳුන්ගේ පටන් වයස්ගත පුද්ගලයන් දක්වා බලපා ඇත. කොරෝනා වසංගතය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ පවා විදේශ විනිමය අර්බුදය විසින් අඩාල කොට ඇත.

එමෙන්ම රට තුළ පවතින ඖෂධ හිඟය ලබන වසර මුල වනවිට බොහෝ දුරට මගහැරී යනු ඇති යැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා විශ්වාසය පළකර තිබිණි. පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ ඖෂධ විශාල ප්‍රමාණයක් එකවර ආනයනය කිරීමේ නොහැකි තත්ත්වයක් පවතී. වරින් වර ඇතැම් ඖෂධවල හිඟයක් ඇතිවීමට හේතුව එයයි. කෙසේ වෙතත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ කිසිදු ප්‍රතිකාරයක් ඖෂධ හිඟය හේතුවෙන් අඩපන වී නැතැයි අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කර තිබිණි. ඖෂධ හිඟයෙන් සිදු වූ කිසිදු මරණයක් බලධාරීන් මේ දක්වා තහවුරු කර නොතිබුණත්, පවතින ඖෂධ සහ අනෙකුත් උපකරණ හිඟය දිගින් දිගටම පැවතීම හමුවේ කොවිඩ් වසංගතයටත් වඩා දරුණු තත්ත්වයක් අපගේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඇති විය හැකි බවනම් කිව යුතුමය.

වෛද්‍ය විජේසූරිය කියන ආකාරයට ලබන වසරේ මුල වන විට නොව අද හෙටම මේ රටට නිරෝගී සම්පත්තිය උදා වේවා! යන්න අපේ පැතුමය. එය යථාර්ථයක් බවට පත් කිරීමේ වගකීම ඇත්තේ තම මුදල තර කර ගැනීමට සැලසුම් කරන දේශපාලනඥයන්ට නොව රටේ ජනතාව ගැන සිතන දේශපාලනඥයන්ට පමණක් බවද සිහිපත් කළ යුතුය.

මල්මි රාජපක්ෂ

advertistmentadvertistment
advertistmentadvertistment