බෙහෙත් කළමනාකරණයට හදිසි ප්‍රතිචාර කමිටුවක්

145

ඉදිරි මාස තුනක කාලයේදී මතුවිය හැකි ඖෂධ සහ ශල්‍ය උපකරණ ගැටලු විසඳීම සඳහා හදිසි ප්‍රතිචාර කමිටුවක් පත්කර ඇතැයි සෞඛ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මෙම කමිටුව මගින් මධ්‍යම ඖෂධ ගබඩාව සහ රජයේ රෝහල් හි දැනට පවතින ඖෂධ, කළමනාකරණය කර හදිසි ප්‍රතිකාර සඳහා සහ අත්‍යවශ්‍ය ප්‍රතිකාර සඳහා භාවිතා කිරීමට පියවර ගන්නා බවත් ඔහු පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය, ආසියානු සංවර්ධන බැංකුව, ඉන්දීය ණය යෝජනා ක්‍රමය මගින් ලබාදෙන ණය ආධාර මගින් ඖෂධ වර්ග 369 ක් මිලදී ගැනීමට අදාළ ණයවර ලිපි විවෘත කර ඇති බවත් එම ඖෂධ අගෝස්තු මස පළමුවැනිදා වන විට ලැබීමත් සමඟ 2023 අගෝස්තු මාසය දක්වා කිසිදු හිඟයකින් තොරව රජයේ රෝහල් වෙත ඖෂධ සැපයීමට හැකි බවත් සෞඛ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

අත්‍යවශ්‍ය ඖෂධ 646 න් මධ්‍යම ඖෂධ ගබඩාවේ දැනට නොමැතිව පවතින්නේ ඖෂධ වර්ග 171 ක් පමණක් බවත් රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ මේ අයුරින් හෝ ඖෂධ පාලනය කර ගැනීමට හැකිවීම සතුටු විය යුතු කරුණක් බවත් හෙතෙම කීවේය.

එනිසා සෞඛ්‍ය සේවය කඩාවැටීමකට ලක්ව නැති බව පැවසූ සෞඛ්‍ය ඇමැතිවරයා රෝහල් හි ශල්‍යකර්ම සිදුකිරීම යම් ප්‍රමාද කිරීමක් සිදු කරනවා නම් ඒ සඳහා තීරණය කරන්නේ අදාළ රෝහලේ විශේෂඥ වෛද්‍ය කමිටුව බවත් එහිදී රෝහලේ පවතින ඖෂධ සහ ශල්‍ය උපකරණ පහසුකම් සහ හදිසි නොවන ශල්‍යකර්ම අනුව එය සිදුකරන බවත් කීවේය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment