බෙහෙත් නැද්ද? පරණ කතාවක්ද? වෙනස්ම හෙළිදරව්වක්

179

අපේක්‍ෂා රෝහලේ බෙහෙත් හිඟයට වගකියන්න ඕන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව…

රජයේ රෝහල් විශේෂඥ වෛද්‍යවරු නැති තැනට පත් වෙලා…

රට තුළ පවතින ඖෂධ හිඟය උත්සන්නය. මහරගම පිළිකා රෝහලේ බරපතළ ඖෂධ හිඟයක් පවතින බව ද වාර්තා වේ. රෝගීන්ට අවශ්‍ය ඖෂධ 60% ක් පමණ හිඟ බව ලැබෙන ආරංචි මාර්ගය. නියම මාත්‍රාවට ලබාගත යුතු ඖෂධ නොමැතිව පිළිකා රෝගීන් අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින බව ද වාර්තා වේ. එමෙන්ම පවතින බෙහෙත් හිඟය නිසා සායනවලට පැමිණෙන බොහෝ පිළිකා රෝගීන්ට කළු කඩ වැනි ෆාමසිවලින් බෙහෙත් මිලදී ගැනීමට සිදුවීම හද රිදවන ගැටලුවක් බව ද සැබෑය. පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධ අධික මිලක් පවතින බැවින් වෛද්‍ය නිර්දේශයන් මත ඖෂධ ලබාගැනීමට මුදල් නොමැති පිළිකා තත්ත්වයන් උත්සන්න වී අසරණ රෝගීන් මරණ මංචකයට තල්ලුවන තත්ත්වයට පත්ව ඇති බව ද වාර්තා වේ. එහෙත් වැඩිහිටියන්ට මෙන්ම දරුවන්ට ද බලපාන මේ ඖෂධ හිඟය කඩිනමින් විසඳීමට සාර්ථක වැඩපිළිවෙළක් නොමැති බව මහරගම අපේක්‍ෂා රෝහල් ප්‍රකාශකයෙක් අප සමඟ පැවසුවේය.

“අපේක්‍ෂා රෝහලේ ඖෂධ හිඟයට ප්‍රධාන හේතුව ඖෂධ සැපයුම්කරුවන් සඳහා ගෙවිය යුතු මුදල් මාස කිහිපයකින් නොගෙවීම. පොඩි ගනුදෙනු නෙමෙයි, බිලියන ගණන් ගනුදෙනු. එවැනි ගනුදෙනුවල මුදල් මාස ගණන් හිර වුණාම ඒ සැපයුම්කරුවන්ට නැවත ඖෂධ තොග ඇනවුම් කරගැනීමට අපහසු වෙනවා. ඒ වගේම ඇනවුම් කරන බෙහෙත් තොග නියම වෙලාවට ගන්නෙ නැතිව මාස ගණන් පරක්කු වෙනකොට ඩොලරයේ අගය ඉහළ ගිහින් බෙහෙත්වලට ගෙවිය යුතු මුදල තව වැඩි වෙනවා. එම වැඩිවන මුදල රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් සැපයුම්කරුවන්ට ගෙවන්නෙ නෑ. මේ ගැටලු නිසා පිළිකා රෝහලේ පවතින ඖෂධ හිඟය කොච්චර කාලයක් පවතී ද කියන්නත් බෑ. මේ වන විට පිළිකා රෝගීන්ට අත්‍යවශ්‍යම බෙහෙත් කිහිපයක බරපතළ හිඟයක් තියෙනවා. සල්ලි තියෙන රෝගීන්ටවත් මිලට ගන්න බෙහෙත් නෑ. අපේක්‍ෂා රෝහලේ බෙහෙත් හිඟයට සම්පූර්ණයෙන් වගකියන්න ඕන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. අසරණ රෝගීන් පව්… මේ අසරණයන්ට බෙහෙත් ටික අරගෙන දෙන්න පුළුවන් පින්වතුන් ඉන්නවා නම් අපේක්‍ෂා රෝහලට කතා කරලා ඒ දේ කරන්න. එක මනුස්සයෙක්ව හරි මරණයෙන් ගලවගන්න පුළුවන් වුණොත් ඒක අපිටත් පිනක්…” අසරණ මිනිසුන්ට පිහිටවීමට කැමැති පින්වතුන් මේ රටේ බොහෝය. ලෝකය පුරා විසිරී සිටින බව ද සැබෑය. ඖෂධ නොමැතිව අපේක්‍ෂා රෝහලේ අසරණව සිටින පිළිකා රෝගීන් වෙනුවෙන් එම පින්වතුන් සරණක් වන බව අපට විශ්වාසය.

බෙහෙත් නැද්ද? පරණ කතාවක්ද? වෙනස්ම හෙළිදරව්වක්

එහෙත් අපේක්‍ෂා රෝහලේ මෙන්ම මෙරට තුළ පවතින ඖෂධ හිඟයට එය පිළියමක් නොවේ. මේ වනවිට පවතින ඖෂධ මිල රටේ ජනතාවට දරාගැනීමට නොහැකි තරම්ය. පසුගිය දිනක බෙහෙත් මල්ලක් රැගෙන රාජ්‍ය ඔසුහලකින් පිටමංවන මවක් දෑස්වල කඳුළු පුරවාගෙන කියපු කතාවක් මගේ මතකයට නැඟණි.

“දියවැඩියාව, කොලෙස්ටරෝල්, ප්‍රෂර් ලෙඩ තුනම තියෙනවා. දැන් අවුරුදු තිහකට ආසන්න කාලයක ඉඳලා බෙහෙත් බොනවා. කොරෝනා කාලෙත් මාසෙක බෙහෙත්වලට වියදම් වුණේ රුපියල් තුන්දාහස් ගානයි. දැන් මාසයකට බෙහෙත් ගන්න රුපියල් දහදාහස් ගානක් ඕන. පුතාලා තුන්දෙනා මාරුවෙන්, මරුවට බෙහෙත් ගන්න සල්ලි දෙනවා. ඒත් මෙච්චර මුදලක් කොහොම වියදම් කරන්නද. දරුවන්ටත් ප්‍රශ්න තියෙනවා…” ඇය ලතාය. වයස අවුරුදු හැටඅටකි. දරුවන් සිව්දෙනකුගේ මවක් වන ඇයට හව්හරණක් තිබෙන බව හැඟේ. එහෙත් මේ පවතින ඖෂධ මිල හමුවේ මියැදෙන තෙක් ඖෂධ පාවිච්චි කිරීමට සිදුවන බෝ නොවන රෝගාබාධවලින් පීඩා විඳින නැති බැරි මිනිසුන්ට අත්වන ඉරණම කෙබඳු වේද? එමෙන්ම මේ වනවිට ඇතැම් ඖෂධ වර්ග නොමැතිව රෝගීන් මියැදෙන තත්ත්වයට පත්ව ඇති බව විශේෂඥ වෛද්‍යවරයෙක්ම අප සමඟ පැවසුවේය. නම්, තනතුරු හෙළිදරව් නොකර වෛද්‍යවරයාගේ කතාව පමණක් අපි මෙසේ වචන කිරීම අදහස් කළෙමු.

මේ වනවිට රජයේ රෝහල්වල වෛද්‍යවරු නැති තත්ත්වයට පත් වෙලා. අධ්‍යයන කටයුතු සඳහා පිටරටවලට යන වෛද්‍යවරුත් නැවත මෙරටට එන්නෙ නෑ. වෛද්‍යවරු රට හැර යෑමට හේතු කිහිපයක් තියෙනවා. ප්‍රධානම හේතුව දරාගැනීමට නොහැකි ජීවන වියදම සහ මුදල් තිබුණත් භාණ්ඩ මිලදී ගැනීමේදී ඇතිවන දුෂ්කරතාව. වෛද්‍යවරුන්ගේ වාහනවලට ලබාදී තියෙන ඉන්ධන කෝටා එක කිසිසේත්ම ප්‍රමාණවත් නෑ. වාහනය නඩත්තු කරන්න විතරක් මාසයකට රුපියල් ලක්‍ෂයකට වැඩි මුදලක් වියදම් වෙනවා. එවැනි මුදලක් වියදම් කර වාහන නඩත්තු කරගෙන රාජකාරි කරලා ගන්න පඩිය පවුල නඩත්තු කරන්න මදි. ඒ වගේම වෛද්‍යවරයකුගේ ළමයෙක්ව ජනප්‍රිය පාසලකට ඇතුළත් කරගැනීමට තුට්ටු දෙකේ දේශපාලනඥයන් පස්සෙ යන්න වෙලා. වෛiවරුන්ට තියෙන ගැටලු කියන්න ගියොත් ඉවරයක් නෑ. ඒ ගැටලුවලින් හෙම්බත් වෙච්ච වෛද්‍යවරු බහුතරයක් පිටරටවලට යන්නෙ දරුවන්ගේ අනාගතය ගැන හිතලා…” එම වෛද්‍යවරයා පළ කළ අදහස් මෙන්ම අපට ලැබෙන තොරතුරු මත මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයම ලෙඩ ගොඩකි. දැඩි සේ ඔත්පලව තිබෙන ඇතැම් රජයේ රෝහල්වල විදුලියත් විසන්ධි කරති. කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ මෘත ශරීර තැන්පත් කරනු ලබන අධි ශීතකරණ දෙකක් ක්‍රියාවිරහිත වී ඇති බව ද වාර්තා වේ.

කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ අධි ශීතකරණ දොළහකි. ඒ සියලුම ශීතකරණ පරණය. කාලයක සිට ක්‍රියා විරහිතව පැවැති අධි ශීතකරණ දෙක පිළිසකර කරදෙන මෙන් කිහිපවිටක්ම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිය ද මේ වන තෙක් එම ඉල්ලීම ඉටු වී නැත. මෘත ශරීර සය බැගින් තැන්පත් කර තැබිය හැකි එම අධි ශීතකරණ දෙක කඩිනමින් පිළිසකර නොකිරීම මිනී කාමරය ගඳ ගැස්සීමක් බව ලැබෙන ආරංචි මාර්ගය. එම ගැටලුව ගැන මෙන්ම මෙරට රාජ්‍ය සෞඛ්‍ය සේවයේ කඩා වැටීම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගෙන් අපි කරුණු විමසා සිටියෙමු. පහතින් පෙළගැසෙනුයේ වෛද්‍ය රුක්ෂාන් මහතාගේ අදහස් දැක්වීමය.

“පවතින ඖෂධ හිඟය හිටි හැටියේ මතු වෙච්ච දෙයක් නෙමෙයි. මෙරට සෞඛ්‍ය සේවය ආරම්භයේ සිට පැවත එන ගැටලුවක්. ඒ වගේම මේ රටේ ඖෂධ වර්ග අටදාහස් ගානක් රජයේ ලියාපදිංචි වෙලා තියෙනවා. මේ වෙනකොට බෙහෙත් වර්ග එකසිය අනූවක් හිඟයි. ඒත් පවතින ඖෂධ හිඟය නිසා රෝගීන්ට ප්‍රතිකාර නොලැබෙන, මියැදෙන තත්ත්වයක් අපට වාර්තා වෙලා නෑ. මෙරට රජයේ සෞඛ්‍ය සේවය ලෙඩ ගොඩක් වෙලා තියෙන්නෙ සුදු අලියෙක් වෙච්ච නිසා. මේ සුදු අලියව තවදුරටත් නඩත්තු කරන්න බෑ. ඖෂධ හිඟයි. රෝහල්වල විදුලිය නෑ. මිනී කාමරවල ශීතකරණ කැඩිලා කියාගෙන මැසිවිලි නඟලා ඵලක් නෑ. මෙරට සෞඛ්‍ය සේවය නඩත්තු කරගෙන ඉදිරියට පවත්වාගෙන යෑමට යම් සාර්ථක වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඒකට හොඳම යෝජනාව දෙමුහුන් ක්‍රමයට ක්‍රියාත්මක වන ශ්‍රී ජයවර්ධනපුර රෝහල වගේ මෙරට රජයේ ප්‍රධාන රෝහල් වෙනස් කරන්න ඕන. ජයවර්ධනපුර රෝහල ආරම්භ කළේ 1980 වර්ෂයේදී. මෙරට සෙසු රජයේ රෝහල් ඒ තත්ත්යට පත් කරගැනීමට අද වෙනකම් බැරි වෙලා තියෙනවා. එහෙම වුණා නම් තමන්ගේ ආදායම මත කැමැති අයට මුදල් ගෙවා ප්‍රතිකාර ලබාගැනීමට පුළුවන් වෙනවා. නැති බැරි මිනිසුන්ට ගෞරවාන්විත ආකාරයට නොමිලේ ප්‍රතිකාර ලබාගැනීමට පුළුවන් වෙනවා. ඒ වගේම රජයේ රෝහල්වල නඩත්තු කටයුතු, ඖෂධ පරිපාලනය රාජ්‍ය අංශයෙන් සිදු කරන තාක් මේ ගැටලුවට විසඳුම් සොයන්නත් අපහසුයි. මේ ගැටලුව මෙපමණ උඩු දුවලා තියෙන්නෙ බලධාරී වාදය සහ නිලධාරීන්ගේ ආකාර්යක්‍ෂමතාව නිසා. අදාළ බලධාරීන් කලට වේලාවට ඖෂධ ආනයනයට ඇනවුම් ඉදිරිපත් නොකිරීම නිසා තමයි බෙහෙත් අර්බුදය මෙපමණ උත්සන්න වෙලා තියෙන්නේ. රාජ්‍ය සෞඛ්‍ය අංශයේ වංචාව, දූෂණය ඉහ වහා ගිහින් තියෙන්නෙත් අකාර්යක්‍ෂමතාව සහ බලධාරිවාදය නිසා. නිසි කළමනාකාරිත්වයකින් යුක්තව රාජ්‍ය සෞඛ්‍ය සේවය පවත්වාගෙන යෑමට නම් පෞද්ගලික අංශයට භාරදිය යුතුමයි…”

“ලෝකයේ කිසිම රටක නොමිලේ සෞඛ්‍ය සේවා ලබාදෙන්නෙ නෑ. අපේ රටෙත් නෑ. ඒත් අපේ මිනිස්සු හිතාගෙන ඉන්නෙ අපිට නොමිලේ සෞඛ්‍ය සේවය ලැබෙනවා කියලා. ඒ දුර්වල මානසිකත්වය හැදුවේ ඔවුන්ගේ පැවැත්මට තරගකාරී දේශපාලනඥයන්. එහෙම නොවෙන්න රජයේ සෞඛ්‍ය සේවය නඩත්තු වෙන්නේ ජනාධිපති අගමැතිගේ බූදලයේ සල්ලි ගෙනත් නෙමෙයි, ජනතාවගෙන් අය කරන බදු මුදලෙන්. මේ වනවිට සියලු භාණ්ඩ මත අසීමිතව බදු බර පැටවිලා තියෙනවා. ආසාවට පාන් කෑල්ලක් කන්න බැරි තරමට බදු බර වැඩි වෙලා. දැන් අපට ලැබෙන වැටුපටත් බදු ගහන්න යනවා. පවතින බදු ක්‍රමය තියෙන මිනිහටත්, නැති බැරි කෙනාටත් පොදුයි. ඒ ක්‍රමය අසාධාරණයි. තියෙන කෙනාගෙන් වැඩිපුර මුදලක් අය කරගෙන නැති කෙනාට වැඩි සහන ලබාදීමේ ක්‍රමවේදයන් සකස් වෙන්න ඕනෑ. රජයේ සෞඛ්‍ය සේවයේ එවැනි පරිවර්තනයන් සිදුකර, රටේ ආර්ථිකය ශක්තිමත් වෙනකොට ජනතාව මත පැටවී තිබෙන බදු බර අඩු කරන්න පුළුවන්. එතකොට ඒ වාසිය යන්නෙ පාන් කියාගන්න බැරිව ඉන්න නැති බැරි මිනිසුන්ට…”

“ඒ වගේම මෙරට පෞද්ගලික රෝහල් කළු කඩ වගෙයි. පෞද්ගලික රෝහල්වල අසාධාරණ අය කිරීමක් කරන බව රටේ ජනාතව දන්නවා. ඇතැම් පුද්ගලික රෝහල්වල නොමිලේ ලබාදෙන ලේ ටිකටත් මුදල් අය කරන බවට කතා පැතිරෙනවා. පෞද්ගලික රෝහල්වල ගසාකෑම දැන, දැනම මිනිස්සු යන්නෙ, පැය ගණන් පෝලිම්වල ඉඳලා වෛද්‍යවරු මුණුගැහෙන්නෙ රාජ්‍ය සෞඛ්‍ය සේවයේ තියෙන දුර්වලතා නිසයි. ගෞරවාන්විත, කාර්යක්‍ෂම සේවයක් නොලැබෙන නිසයි. රජයේ ප්‍රධාන රෝහල් දෙමුහුන් ක්‍රමයට ක්‍රියාත්මක වෙනවා නම් පෞද්ගලික රෝහල්වලට විශාල තරගයක් ඇති වෙනවා. ඒ තුළ එම රෝහල්වල අසාධාරණ මුදල් අය කිරීම නතර වෙනවා. රජයේ සෞඛ්‍ය සේවයත් කීර්තිමත් ආකාරයට දියුණු වෙනවා. රටේ ආර්ථිකයටත් ශක්තියක් වෙනවා. මේ එළැඹ ඇත්තේ ඒ සුබවාදී පරිවර්තනයට කාලයයි. මේ අවස්ථාවත් නැති කරගත්තොත් මේ රටේ සෞඛ්‍යය ඉවරෙටම ඉවරයි…” වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ කතාව සරලය. එහෙත් ක්‍රියාත්මක කිරීම ගැන අපට ඇත්තේ ගැටලුවකි.

ආනයනික ඖෂධ මිල 300% ක් 400% ක් අතර ගණනකින් ඉහළ ගොස්, රට තුළ විශාල ඖෂධ හිඟයක් ඇති වී රෝගීන් මියැදෙන පසුබිමක මෙරට ආර්ථිකය ශක්තිමත් කර බදු බර අඩු කර ඖෂධ මිල අඩු කිරීමට යම් ක්‍රමවේදයන් ඇති නම් අසරණ ජනතාව කබලෙන් ළිපට තල්ලු නොවෙන අයුරින් එය ක්‍රියාත්මක කිරීමේ වරදක් නැත. මෙරට ජීවත්වන බහුතරය විවිධාකාර රෝගාබාධවලින් පීඩාවිඳින බව සැබෑය. කෑම, බීම මෙන්ම බෙහෙත් හේත් ඔවුන්ගේ මූලික අවශ්‍යතාවකි. ඕනෑම කෙනෙකුගේ ප්‍රාර්ථනාව ඉන්න ටිකේ දුකක් නැතිව ජීවත්වීමය. මෙතෙක් කාලයක් මෙරට දේශපාලනඥයන් ජනතාව දුකට පත්කොට ඔවුන් සතුටු වුණා විනා ජනතා සුබසිද්ධිය වෙනුවෙන් කිසිවක් සිදු කර නැත. එහෙයින් රජයේ සෞඛ්‍ය සේවය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා ඉස්මතු කරනවිට ‘නොමිලේ ලබාදෙන සෞඛ්‍ය සේවයත් නැති කිරීමේ’ වැඩක් ද මේ වෙන්නෙ යන්නෙ කියා රටේ ජනතාවට හිතෙන එක සාධාරණය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment