බෙහෙත් මිල පා කිරීම සහ මළ මිනී පා කිරීම

716

ඖෂධ මිල පාකිරීමට ආණ්ඩුව උත්සාහ කරන්නේ යැයි කියන කතාවක් රජයේ ඖෂධවේදීන්ගේ සංගමය කියයි. මෙහිදී වැදගත් දෙයක් මතක් කරදෙමු. ආණ්ඩුව කරන්නට හදනවා යැයි කියන්නේ ඖෂධ මිල පාලනය කිරීමට නොව පාකිරීමට ය. මෙසේ මිල පාකිරීමක් සිදුවුවහොත් එක ෆාමසියක රුපියලට විකුණන පැරසිටමෝල් පෙත්ත ඊළඟ ෆාමසියේ රුපියල් පහක් විය හැකිය. ඒ ගැන පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරන්නටවත් අවස්ථාවක් ජනතාවට නොලැබේ. ඖෂධ මිල පාලනයක් නැති බැවින් එක එක ෆාමසිවල එක එක ගණන්වලට පැරසිටමෝල් වික්කාට තමන්ට කරන්නට දෙයක් නැති බව අසරණ පාරිභෝගික අධිකාරිය කීමට ඉඩ තිබේ. අප සියලූ දෙනාම දන්නා පරිදි මේවන විට පාරිභෝගික අධිකාරිය යනු නිකම්ම නිකං බිල්ඩිමක් පමණි. එහි වැඩකරන කාර්ය මණ්ඩලයට වැස්සෙන් නොතෙමී සිටීමට පමණක් එම අධිකාරිය මේ මොහොතේදී ප‍්‍රයෝජනවත්ය. පාරිභෝගික අධිකාරියට වඩා හඬක් මේ මොහොතේදී මහජන උපයෝගිතා කොමිසමට තිබේ. අඩුගානේ විදුලි බල මණ්ඩලය විදුලිය කැපුවත් එසේ නොකපා ඉන්නැයි නිකමට හෝ කියන්නට හැකියාවක් මහජන උපයෝගිතා කොමිසමට තිබේ. විදුලි බල මණ්ඩලය එම ඉල්ලීම හෝ නියෝගය තඹ තුට්ටුවකට ගණන් නොගෙන ඒලෙවල් විභාගය අස්සේම ලයිට් කපන්නට පටන්ගෙන තිබේ. තමන්ගේ නියෝගය නොසලකා ලයිට් කැපුවොත් ඊට විරුද්ධව උසාවි යන බව මහජන උපයෝගිතා කොමිසම කියයි. එහෙත් විදුලිබල මණ්ඩලය කටයුතු කරන්නේ එම නඩුවේ තීන්දුව පැමිණීමට පළමු ලෝක විනාශයක් සිදුවීමට ඉඩ තිබෙන ලෙස සලකාය. ලෝක විනාශයක් ආවොත් නඩුත් නැත. විදුලි බල මණ්ඩලයත් නැත. මහජන උපයෝගිතා කොමිසමත් නැත. සප්ත සූර්යෝද්ගමන සූත‍්‍රයේ එන පරිදි ලෝකය යළි බිහිවන තුරුත් අග්ගඥ්ඥ සූත‍්‍රයේ එන පරිදි මනුෂ්‍ය වර්ගයා බිහිවන තුරුත් විදුලි බල මණ්ඩලය, නීතිපති දෙපාර්තමේන්තුව, මහජන උපයෝගිතා කොමිසම, උදය ගම්මන්පිල, ගාමිණි ලොකුගේ වැනි ප‍්‍රශ්න හටගන්නේ නැත.

 විටමින් සී පෙත්ත සතයට තිබූ කාලයක් මේ රටේ තිබිණ. ඒ ශතවර්ෂයකට පෙර නොව අවුරුදු 15 ට පෙරය. අද විටමින් සී පෙත්තක් ඇතැම් ෆාමසියක රුපියලකි. එම විටමින් සී පෙත්තම පලතුරු රසයක් සමග මිශ‍්‍රකර ටිකක් උසට මහතට හදා පැකට්ටුවක් තුළ රුවා එකක් රුපියල් 15 ගණනේ විකුණනු ලැබේ. පපුවේ මහන්සිය සහ ඇදුම සහිත රෝගීන් එම රෝග තත්ත්වය වැළඳීගෙන එනවිට ගන්නා බෙහෙත් පෙත්තක් තිබේ. මෙහි ඖෂධීය නාමය සල්බියුටමෝල් ය. මෙයට අවුරුදු පහකට පෙර මේ පෙත්තේ මිලිග‍්‍රෑම් දෙකක් අඩංගු නිෂ්පාදනය සත 10 කි. අද එම පෙත්තම එක ෆාමසියක සත 70 කි. තව ෆාමසියක රුපියලකි. සැල්බියුටමෝල් යනු පෙර කී පරිදි ඖෂධීය නාමයක් හෙවත් generic name එකකි. එය විවිධ වෙළෙඳ නාමවලින් හෙවත් බ‍්‍රෑන්ඞ්ස් වලින්ද ලබාගත හැකිය. එංගලන්තයෙන් ගෙන්වන මේ වර්ගයේ මිලිග‍්‍රෑම් දෙකේ බෙහෙත් පෙත්තක් කිසිදු පැකිලීමක් නැතිව එකක් රුපියල් 5 බැගින් විකුණනු ලැබේ. එංගලන්ත බෙහෙත් පෙත්ත ෆාමසිවල පිරී ඉතිරී යත්ම ශ‍්‍රී ලංකා ඖෂධ සංස්ථාව නිපදවන සැල්බියුටමෝල් පෙත්ත ක‍්‍රමයෙන් හිඟ වීමට පටන් ගනී. මේ කතන්දරය මීටත් එහා යයි. ඇදුම රෝගීන්ට දෙන ඇතැම් ඉන්හේලරයක මෙයට අවුරුදු දෙකකට පෙර මිල රුපියල් 500 කි. අද 1200 කි. එවැනි මිලක් දුප්පතකුට දැරිය නොහැක. රජයේ ඉස්පිරිතාලවලින් එවැනි ඉන්හේලර් නොමිලේ ලැබෙන්නේත් නැත. ඒ නිසා එවැනි මිලට බෙහෙත් බොනවාට වඩා මියයෑම ලාභදායකය. දියවැඩියාව, පිළිකාව, ස්නායු රෝග යනාදියට ප‍්‍රතිකාර පිණිස යොදාගන්නා බෙහෙත් වර්ගවල මිල බෙහෙවින් ඉහළ ගොස් තිබේ. අඩු ගානේ බැන්ඬේජ් රෝලක් හෝ ප්ලාස්ටර් කැබැල්ලක්වත් අඩුවට ලබාගැනීමට නොහැක.

 ලාභ බෙහෙත් සමහර ආසියානු රටවල තිබේ. ඒවා අඩුම මිල බෙහෙතටත් වඩා මිලෙන් අඩුය. එහෙත් මේ බෙහෙත්වලින් ලෙඩ සනීප වන්නේ නැත. උදාහරණයක් වශයෙන් අපේ රට අහල පහල තිබෙන ඇතැම් රටවල් පිටිපස්සේ කුඩා මඩුවක් හදාගෙන ඇන්ටිබයොටික් කැප්සියුල් නිෂ්පාදනය කරති. එය සිදුවන්නේ මෙසේය. බෙහෙත් කැප්සියුලවලට බෙහෙත් කුඩු පිරවීමට විශේෂ යන්ත‍්‍ර තිබේ. මේ යන්ත‍්‍ර ක‍්‍රියාත්මක වන්නේ උෂ්ණත්වය පාලනය කරන ලද ඒ සී කාමර තුළය. මේ යන්ත‍්‍රවල මිල ඉතාම අධිකය. එසේම මේ යන්ත‍්‍රවලට හිස් කැප්සියුල් යොදා යන්ත‍්‍රානුසාරයෙන්ම බෙහෙත් කුඩු පිරවීමේදී 10% හෝ 15% ක පමණ අපතේ යෑමක් සිදුවෙයි. අප මෙය දන්නේ වේස්ටේජ් එකක් යැයි කී විටය. එබැවින් ඇතැම් රටවල මසුරු ඖෂධ නිෂ්පාදකයෝ මෙවැනි මිල අධික යන්ත‍්‍ර සඳහා මුදල් ආයෝජනය නොකරති. ඒ වෙනුවට ගෘහ කර්මාන්තයක් ලෙස කැප්සියුල්වලට කන් හැඳි වලින් බෙහෙත් පුරවන ශ‍්‍රමිකයන් සිටින ගෙවල්වලට කැප්සියුල් තොග සහ ඇන්ටිබයොටික් කුඩු තොග ලබාදෙති. එම තොග ප්ලාස්ටික් බේසම්වල දමා ගේ පිටිපස්සේ ඇති අප අර මුලින් කී මඩුවට ගෙනයන ශ‍්‍රමිකයෝ කන් හැඳිවලින් කැප්සියුල්වලට බෙහෙත් පුරවා ඒවා වසති. මෙහිදී නිසි ප‍්‍රමිතියට කැප්සියුලය තුළට බෙහෙත් පිරවෙන්නේ නැත. ඒ නිසා ඒ බෙහෙත් බොන අයට ලෙඩ සනීප වන්නේ ද නැත. ආණ්ඩුව බෙහෙත් මිල පා කළොත් අඩු මිලට බෙහෙත් ලබාගැනීමට හැකි එකම ක‍්‍රමය වන්නේ කන් හැඳි ෆාමසූටිකල්ස් සමාගම් වෙතින් ඉතා අඩු මිලට බෙහෙත් ලබා ගැනීමය. ඒ අනුව අප කල්පනා කරන්නේ බෙහෙත් මිල පාකිරීම රෝගීන්ගේ මළ මිනී ගෙඟ් පා කිරීම හා සමානවය. ආණ්ඩුව ඖෂධ මිල පා නොකරන බවට අපට විශ්වාසය. අප ඉහතින් ලිව්වේ ඖෂධ මිල පාකළොත් සිදුවිය හැකි දේය.

advertistmentadvertistment
advertistmentadvertistment