බෙහෙත් වර්ග 500ක මිල සියයට 69කින් උස්සලා – ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති

332

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉකුත් මාස දෙක ඇතුළත බෙහෙත් වර්ග 500කට අධික සංඛ්‍යාවක මිල ගණන් සියයට 69කින් ඉහළ දමා ඇති බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් තිලකරත්න මහතා පැවසීය.

අදාළ බෙහෙත් වර්ගවල මිල ගණන් ඉකුත් මාර්තු මාසයේදී සියයට 29 කින් හා අප්‍රේල් මාසයේදී සියයට 40කින් ඉහළ දමා ඇති බව ද හෙතෙම කීවේය. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉකුත් සෙනසුරාදා (30දා) ඖෂධීය නාමයෙන් අලෙවි කෙරෙන බෙහෙත් වර්ග 60ක මිල ගැසට් නිවේදනයක් හරහා ඉහළ දැමුවද වෙළෙඳපළේ අලෙවියට තබා ඇති වෙළෙඳ නාමයන් 500කට අධික සංඛ්‍යාවක් යටතේ අලෙවි වන එම බෙහෙත් වර්ගවල මිල ගණන් ඉහළ ගොස් ඇති බව හෙතෙම අවධාරණය කළේය.

‘මේ අයුරින් මිල පාලනයට යටත් නොවන බෙහෙත්වල මිල ගණන්ද පසුගිය මාස දෙක තුළ සියයට 69කින් ඉහළ දමා ඇත. ඇමරිකානු ඩොලරයේ මිල ඉහළ යන සෑම අවස්ථාවකම බෙහෙත් මිල ඉහළ දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදුවී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව එම ආයතන ස්ථාපිත කිරීමට මුල් වූ මුඛ්‍ය අරමුණුවලින් බැහැරව දේශපාලනීකරණය කර ඇති බැවිනි. අදාළ ආයතන දෙකම මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට අනුව ප්‍රතිපත්ති ගරුකව පාලනය කරන්නේ නම් සෞඛ්‍ය අමාත්‍යාංශයට හෝ ජාතික ඖෂධ නියාමන අධිකාරියට බෙහෙත් සමාගම් මතම යැපීමට අවශ්‍ය නැත. තවද ඩොලරයේ මිල ඉහළ යන සෑම අවස්ථාවකදීම එයට සාපේක්ෂව බෙහෙත් මිල ඉහළ දැමීමට නම් සෞඛ්‍ය අමාත්‍යාංශයක් හෝ ඖෂධ නියාමන අධිකාරියක් අවශ්‍ය නොවේ.

රෝගී ජනතාවගේ ආදායම් ඩොලරයට සාපේක්ෂව ඉහළ නොයන පසුබිමක් තුළ බෙහෙත් මිල ඉහළ දැමීම හේතුවෙන් රෝගීන් අන්ත අසරණ භාවයකට පත් වනවා මෙන්ම බෙහෙත් නිෂ්පාදන ගෙන්වීම, බෙදා හැරීම යන සියලු බෙහෙත් කර්මාන්ත ඉදිරියේදී ඉතා බරපතළ ලෙස කඩා වැටීමට ඉඩ ඇත. මේ පිළිබඳව කඩිනමින් අවධානය යොමුකර මෙම කරුණු සම්බන්ධයෙන් කඩිනම් වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක නොකළහොත් ඉදිරියේදී ශ්‍රී ලාංකීය ජනයාගේ සෞඛ්‍යය ගැටලු ඉතා බරපතළ අවදානමක් දක්වා ගමන් කළ හැකි’ යැයි තිලකරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment