බේකරි හිමියෝ පාන් හැදීම නවත්වති

377

රු. 4,400 ට තිබූ පිටි මිටිය 13,600 යි 5000 ට තිබූ මාජරින් 20,000 යි
පාන් ගෙඩි 6 ක් ඉතිරි වුණොත් ලාභයක් නෑ – බේකරි හිමි චන්දික

බේකරි නිෂ්පාදන සඳහා උපයෝගී කරගන්නා පිටි ඇතුළු අමුද්‍රව්‍යවල මිල අධික ලෙස ඉහළ යෑම නිසා තම කර්මාන්තය බොහෝ දුරට අසීරු වී ඇතැයි බදුල්ල ප්‍රදේශයේ බේකරි හිමියෝ ප්‍රකාශ කරති.

මේ තත්ත්වය මත බොහෝ දෙනා පාන් නිෂ්පාදනය අතහැර දමා විස්කෝත්තු වැනි දෑ පමණක් නිෂ්පාදනය කිරීමට පෙළඹී සිටිති.

මේ සම්බන්ධව ‘දිවයින‘ ට කරුණු පැවැසූ බදුල්ල, දුණුවංගිය ප්‍රදේශයේ කලක සිට බේකරියක් පවත්වා ගෙන යමින් සිටින ව්‍යාපාරික ආර්. ඇම්. චන්දික රුවන් (අවු. 38) මහතා මෙසේ පැවැසීය.

“පිටිමිල මිල අධිකයි. රු. 4,400 ක් වූ කි.ග්‍රෑම් 50 ක පිටි ගෝනිය දැන් මිල 13,600 යි. රු. 5,000 ක් වූ කි.ග්‍රෑම් 15 ක මාජරින් මිල 20,000 යි. රු. 500 ක් වූ ඊස්ට් ග්‍රෑම් 500 ක මිල රුපියල් 900 – 1000 යි. එලෙසම දියලුණු, සීනි, පොල්තෙල් මිලත් කිහිප ගුණයකින් වැඩි වුණා.

රු. 300 – 400 ක් වුණු පොලිතින් කි.ග්‍රෑම් එකක මිල 2,000 යි. දර පෝරණු නිසා සේවක වැටුප් ඉහළයි. ප්‍රවාහන වියදම් එකට හතරක් වැඩි වුණා.

නොවිකිණුනු පාන් ගෙඩි හයක් හතක් ආපසු ආවොත් එදාට ලාභයක් නෑ. වෙනදා වාගේ රෝල්ස් වැනි දේවල් හදන්න ගන්නා බිස්කට් කුඩු අලෙවි වෙන්නේ නෑ. මේ නිසා අපි දැනට පාන්, බනිස්, රෝස් පාන් වැනි දේ නිෂ්පාදනය මුළුමනින්ම නවතා දමා තිබෙනවා.

විදුලි ගාස්තු සහ ජල ගාස්තු වැඩි වීමත් සමග පවතින අසීරු තත්ත්වය තවත් නරක අතට හැරෙනවා.

ජනයා ප්‍රධාන ආහාරවේලක් පිරිමසා ගැනීමට මෙන්ම අතුරු ආහාර වේලක් ලෙස පාන් අනුභව කළත් අධික මිල නිසා ජනයා අතර පාන් පරිභෝජනය බොහෝ සෙයින් අඩුවී තිබේ. එහෙත් හාල් මිලදී ගැනීමේ වැඩිවීමක් නොවී ඇතැයිද කඩ හිමියෝ පවසා සිටිති.

බදුල්ල – එච්. එම්. සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment