බොනට්ටුව උඩට වැටුණු පුද්ගලයාත් රැගෙන මෝටර් රථය කිලෝ මීටර් එකහමාරක් ගිහින්

989

චිත්‍රපටයක් – පොලිසිය කියයි

නිවසින් බැහැරලන කසළ තොගයක් මහමග දමා යද්දී ඊට විරෝධය පළ කිරීමට ඉදිරියට පැමිණි පුද්ගලයකු අනතුරකට පත් කොට පළා යමින් තිබූ මෝටර් රථයක් යතුරුපැදියක ගැටී තිබේ. මෙම අනතුර කළ පුද්ගලයා (3 දා) උදෑසන අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.

කසළ තොගය මහ මග දමා පලා යමින් තිබූ මෝටර් රථයට විරෝධය පළ කිරීමට ඉදිරියට පැමිණි පුද්ගලයා හප්පා පලායෑමට සැරසෙද්දී එම පුද්ගලයා මෝටර් රථයේ බොනට් එක මතට පැන තිබේ. එහිදී බොනට් එක මත රැඳී සිටි පුද්ගලයා ද සමඟ මෝටර් රථය කිලෝ මීටර් එකහමාරක් පමණ දුරට ධාවනය කරද්දී යතුරුපැදියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.

බොනට්ටුව උඩට වැටුණු පුද්ගලයාත් රැගෙන මෝටර් රථය කිලෝ මීටර් එකහමාරක් ගිහින්

මෙම සිදුවීම චිත්‍රපටයක ස්වරූපයක් ගෙන තිබූ බව පොලිසිය කියයි.

මෝටර් රථයකින් පැමිණි සැකකරු නිවසින් බැහැරලූ කසළ තොගයක් සහිත බෑග් පහක් 03 දා උදෑසන අතුරුගිරිය, හබරකඩ හන්දිය ආසන්නයේ මහමග දමා පලායෑමට උත්සාහ දරා තිබුණි.

පසුව මේ බව දුටු අසල රැඳී සිටි පිරිසක් ඊට විරෝධය පළ කරමින් කසළ තොගය මෝටර් රථයට දැමීමට යෑමේදී සැකකරු ක්ෂණයකින් ක්‍රියාත්මක වී මෝටර් රථය පණගන්වා පළා යෑමට උත්සාහ දරා තිබේ.

එම අවස්ථාවේදී එහි සිටි පුද්ගලයන් දෙදෙනෙකු මෝටර් රථය ඉදිරිපිටට පැමිණ විරෝධය පළ කර ඇති අතර එය නොතැකූ රියැදුරු නොනවත්වා මෝටර් රථය ඉදිරියට ධාවනය කර තිබේ.

එහිදී මෝටර් රථය ඉදිරිපිට රැඳී සිටි දෙදෙනාගෙන් එක් පුද්ගලයකු පසෙකට පැන ඇති අතර අනිත් පුද්ගලයා අනතුරින් වැළකීම සඳහා මෝටර් රථයේ බොනට් එක මතට පැන තිබේ. බොනට් එක මත සිටි පුද්ගලයා ද සමග මෝටර් රථය කිලෝමීටර් එකහමාරක් පමණ දුරට ධාවනය කර තිබේ.

හබරකඩ හංදියේ සිට පනාගොඩ හන්දිය දක්වා අධික වේගයෙන් මෝටර් රථය මෙසේ ධාවනය කරද්දී යතුරුපැදියකින් රාජකාරිය සඳහා යමින් සිටි පුද්ගලයකු ගැටී තිබේ.

එම අවස්ථාවේ දී මෝටර් රථය නවතා සැකකරු පලා යෑමට සැරසෙද්දී අසල්වාසීන් එක්ව අල්ලා මෙසේ පොලිසියට භාර දී, බොනට් එක මත රැදී සිටි හබරකඩ ජනකපුර ප්‍රදේශයේ පදිංචි බමුණු බමුණු ආරච්චිගේ අජිත් සිරිවර්ධන නමැති (55) හැවිරිදි පුද්ගලයා බේරාගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගත් හබරකඩ මුල්ලේගම පාරේ පදිංචි (67) හැවිරිදි කුලී රථ රියැදුරා හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරද ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ක්‍රිස්ටෝපර් ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

ඇන්ටන් ප්‍රනාන්දු සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment