බොරතෙල් නොගෙනාවොත් සපුගස්කන්ද යළි වැසෙයි

142

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි ආරම්භ කළ පසු එමගින් දැවිතෙල්, තාර, ඩීසල් හා නැප්තා ආදී ඉන්ධන වර්ග නිපදවීම ආරම්භ වූ බව එම පිරිපහදුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඊයේ (06 දා) “දිවයින”ට පැවසීය.

මෙම පිරිපහදුව මගින් නිපදවන පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් ප්‍රමාණය රටේ දෛනික අවශ්‍යතාවට කිසිසේත් ප්‍රමාණවත් නොවන බවද හෙතෙම කීය.

රුසියාවෙන් මෙරටට ගෙන්වාගත් මෙටි්‍රක් ටොන් 90,000ක් වූ බොරතෙල් භාවිතා කර දින 70කට පසු පිරිපහදුව යළි ආරම්භ කෙරිණි.

මෙම බොරතෙල් ප්‍රමාණය දින 20කින් 25කින් අවසන්වන බවත් ඊට පෙර යළි බොරතෙල් ගෙන ඒමට අසමත් වුවහොත් පිරිපහදුව නැවත වසා දැමීමට සිදුවන බවත් එම නිලධාරියා කීය.

සම්පූර්ණ ධාරිතාවයෙන් පිරිපහදුව ක්‍රියාත්මක කළත් එමගින් දිනකට නිපදවාගත හැක්කේ ඉන්ධන මෙටි්‍රක් ටොන් 5500කි. නමුත් රට තුළ මතුව තිබෙන ඉන්ධන හිඟය සහ පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් යළි මිලදී ගැනීමට මේ දක්වා කිසිදු පියවරක් ගෙන නොමැති නිසා පිරිපහදුව ක්‍රියාත්මක කර ඇත්තේ අර්ධ වශයෙනි.

ඒ අනුව දිනකට නිපදවන්නේ ඉන්ධන මෙටි්‍රක් ටොන් 3200ක් පමණ යැයිද එම නිලධාරියා කියා සිටියේය. මෙතෙක් කලක් ඉරානියන් ලයිට් වර්ගයේ බොරතෙල් යොදා පිරිපහදුව ක්‍රියාත්මක කළත් ප්‍රථම වරට රුසියාවෙන් ගෙනා මෙම බොරතෙල් මගින් වැඩිපුරම නිපදවාගත හැක්කේ දැවිතෙල් යැයිද හෙතෙම විශ්වාසය පළ කළේය. ඒ අනුව දැවිතෙල් නිෂ්පාදනය සියයට 51ක් ද පෙට්‍රල් හා ඩීසල් සියයට 17 බැගින්ද තාර නැප්තා හා ගෑස් භූමිතෙල් අතුරු නිෂ්පාදන ලෙස ලැබෙන බවද හෙතම කීය.

දිනකට පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 4500ක්, ඩීසල් මෙටි්‍රක් ටොන් 5200ක් හා භූමිතෙල් මෙටි්‍රක් ටොන් 600ක් අවශ්‍ය වන බවද මේ දිනවල එම අවශ්‍යතාව වැඩිවී ඇතැයි ද හෙතෙම කීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment